‍රස්නේ කාලෙට වියළීමට ලක් වෙන දෙතොල් වලට විශේෂිත ප්‍රතිකාරයක්

බොහෝ දෙනාට තිබෙන රූපලාවන්‍ය ගැටළු අතරින් තිබෙන ප්‍රධානතම ගැටළුවක් තමයි දෙතොල් අවපැහැ ගැන්වීම. මීට අමතරව දෙතොල් සම්බන්ධව විවිධ රූපලාවන්‍ය ගැටළු ඇති වනවා. මේ සඳහා මිල අධික ප්‍රතිකාර වලට නොයා ඔබට කළ හැකි පහසුම ප්‍රතිකාරයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. 

” ග්ලිසරින් ” කියන්නේ ඔබේ දෙතොල් සම්බන්ධව  ඇති බොහෝ ගැටලු වලට විසඳුම් දෙන අමු ද්‍රව්‍යයක්.දෙතොල් අවපැහැ ගැන්වීම් වැළැක්වීමට අමතරව එමගින් ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ මොනවද කියලා සහ ඔබේ දෙතොල් සඳහා ග්ලිසරින් භාවිතා කරන්නට පුලුවන් ක්‍රම මොනවද කියලා අපි බලමු .

• අවපැහැ ගැන්වීම් නැති කරයි 

ග්ලිසරින් මඟින් ලබා ගන්න පුළුවන් හොඳම වාසියක් තමයි මේ. සමහර විට ඔබේ දෙතොල් උපතින්ම හෝ වෙනත් හේතුවක් නිසා අවපැහැ ගැන්වී තිබෙනවා නම් ග්ලිසරින් භාවිතා කිරීම මගින් ඒ අවපැහැ ගැන්වීම් ඇති කරගන්න පුළුවන්. සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබේ දෙතොල් මත ග්ලිසරින් ස්වල්පයක් ආලේප කර මෘදු ලෙස පිරිමදින්න. සති දෙකක් පහු වන විට ඔබට ප්‍රතිපල දැකගන්නට පුළුවන් 

•  දෙතොල් මෘදු කරයි 

උෂ්ණාධික කාලයන් වලදී වගේම සමහර තොල් ආලේපන වර්ග නිසාත් දෙතොල් නිතර වියලීම , පොතු ගැලවී යන ස්වභාවයක් ඇතිවීම සිදුවන්නට පුළුවන්. මේ තත්ත්වයන් සඳහා පිළියමක් ලෙස ඔබට ග්ලිසරින් භාවිතා කරන්නට පුළුවන්. ඊට අමතරව තොල් ආලේපන භාවිතා කිරීමට මද වේලාවකට පෙර දෙතොල් මත ග්ලිසරින් ස්වල්පයක් ආලේප කර තබා ඉන් පසුව එය මත තොල් ආලේපන ගැල්වීම වැනි උපක්‍රමයක් ඔබට භාවිතා කළ හැකියි

• දෙතොල් වල තෙතමනය රඳා පවත්වයි  

ඔබ දෛනිකව පානය කරන ජලය ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසාත් , උෂ්ණාධික බව නිසාත් , ප්‍රමිතියකින් තොර දෙතොල් ආලේපන භාවිතා කිරීම නිසාත් , නිසි පරිදි දෙතොල්වල මැරුණු සම ඉවත් නොකිරීම නිසාත් දෙතොල් නිතර වියළි ස්වභාවයක් ගන්නට පුළුවන්. ඔබ ඔබේ සම වියළී යන විට එහි තෙතමනය රඳා පවත්වා ගැනීමට උනන්දු වනවා සේම ඔබේ දෙතොල් වියළි ස්වභාවයක් ගන්නා විට ද  ඒ වෙනුවෙන් ප්‍රතිකාරයක් කළ යුතුයි. දෙතොල් වල තෙතමනය රඳා පවත්වා ගැනීමට ඔබට භාවිතා කළ හැකි හොඳම සත්කාරයක් සහ ප්‍රතිකර්මයක් ලෙස ග්ලිසරින් හඳුන්වන්නට පුළුවන්.

• දැවිල්ල සහ ලේ ගැලීම නවත්වයි 

වියලි දෙතොල් නිසා ඇතිවිය හැකි තවත් කරදරකාරී තත්ත්වයක් ලෙස දෙතොල් වල දැවිල්ල සහ දෙතොල් පැලී ලේ ගැලීම කිව හැකියි. මේ තත්ත්වයන් දෙකට ප්‍රතිකාරයක් ලෙස සහ මේ තත්ත්වයන් දෙක ඇතිවීම පාලනය කළ හැකි උපක්‍රමයක් ලෙස ග්ලිසරින් භාවිතා කරන්නට ඔබට පුළුවන් 

• මැරුණු සම ඉවත් කරයි 

සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබ ඔබේ දෙතොල් මත ග්ලිසරින් ආලේප කරනවා නම් ඔබේ දෙතොල් වල මැරුණු සම ඉවත්කර ගන්නට එය හේතුවක් වනවා.ඊට අමතරව ග්ලිසරින් මගින් මැරුණු සම ඉවත්කර නව සමක් මතු කිරීමට උපකාරී වනවා.

දෙතොල් සඳහා ග්ලිසරින් භාවිතා කළ හැකි ක්‍රම මොනවාද ? 

• ග්ලිසරින් සහ සීනි 

ඔබේ දෙතොල්වල මැරුණු සම ඉවත් කිරීම සඳහා ග්ලිසරින් බිංදු කිහිපයකට සීනි ස්වල්පයක් එකතු කර ස්ක්‍රබ් එකක් ලෙස සකස් කරගන්න ඔබට පුළුවන්. එම ස්ක්‍රබ් එක දෙතොල් මත තවරා  ඇඟිලි තුඩුවලින් ඉතා මෘදුව සම්බාහනය කර සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න

• ග්ලිසරින් සහ රෝස වතුර 

ග්ලිසරින් බිංදු කිහිපයකට රෝස වතුර බින්දු කිහිපයක් එකතු කර ඔබේ දෙතොල් මත ආලේප කරන්න. මෙය විනාඩි විස්සක් විසිපහක් අතර කාලයක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.ඔබේ දෙතොල් අඳුරු පැහැයක් ගන්නවා නම් මෙයට ලෙමන් යුෂ බිංදු කිහිපයක් ද එකතු කරන්න. මෙම සත්කාරය මගින් ඔබේ දෙතොල් වියලීම, අවපැහැ ගැන්වීම වැනි තත්ත්වයන් සමනය කරනවා 

• ග්ලිසරින් සහ castor oil 

ඔබේ දෙතොල් ඉරි තලා යන ස්වභාවයක් ගන්නවා නම් ග්ලිසරින් සහ කැස්ටර් ඔයිල් සත්කාරය මගින් ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ග්ලිසරින් බිංදු කිහිපයකට කැස්ටර් ඔයිල් බින්දු කිහිපයක් එකතු කර ඔබේ දෙතොල් මත ආලේප කර විනාඩි 20 – 25 තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඔබේ දෙතොල් අඳුරු ස්වභාවයක් ගන්නවා නම් එයට ලෙමන් හෝ මී පැණි එකතු කරන්න පුළුවන් 

• ග්ලිසරින් සහ බීට් රූට් 

ඔබේ දෙතොල්වල පැහැය වෙනස් කර ගැනීමට , එනම් රෝස පැහැයක් ලබා ගැනීමට කැමති නම් ඔබට මේ සත්කාරය කළ හැකි යි . මේ සඳහා ලෙස ග්ලිසරින් ස්වල්පයකට කුඩාවට කපාගත් බීට් රූට් කැබලි කිහිපයක් එකතුකර එය ඩබල් බොයිල් කරගන්න. මිශ්‍රණය හොඳින් නිවුණු පසු එය තොල් මත ආලේප කර මඳ වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න

දෙතොල් කියන්නේ කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන තවත් එක් අංගයක්. දෙතොල් සුන්දරව පවත්වාගෙන යන්න සහ දෙතොල් වලට ඇතිවිය හැකි ගැටලු අවම කර ගත හැකි පහසුම ක්‍රමයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ .

Related Articles

Don't Miss


Latest Articles