මල්වර මල් සර – 22

බටහිර අහස ලා නිල් හා තද නිල් බතික් රෙද්දක මෝස්තරයක් ඇඳ තිබිණ. සූර්යයා බැස ගිය ගමන් වූවත් රතු තැඹිලි සළු හඳින්නට එදා අහසට ඕන වී තිබුණේ නැත. කහ අරලියා ගස චිත්‍රයක් වාගේ නො සෙලවී සිටියේ ය. නමුත් මෘදු මොළොක් සැන්දෑ පවනට අරලියා සුවඳ පොද පොද මුදා හැරිණි. සෝරත මාවත දිග සරසවි සිසුහු එකා දෙන්නා බැගින් ද රංචු වශයෙන් ද විජේරාම දෙසට ඇවිද යමින් සිටියහ. දුරාශා නික්ම යත්දී ඇයට සමු දෙන්නට වීදුරු දොර ළඟට ආ අයානා එහි මුහුණ තියා ගෙන ඔහේ බලා සිටින්නට වූවා ය.

ඇයට නිර්වාණයට ළඟ සුවයක් දැනේ! නිවන හෙවත් නිවීම!

දුල්නෙත් පාර පැන නිර්වාණ ද්වාර යට ගොඩ වෙත්දී අයානා දොර ළඟින් මෑත් වූවා ය. සුළං සීනුව දුල්නෙත් ගේ හිසේ වැදීම නිසා මෘදු සංගීතයක් ඇති කරනා ලදී. අයානා දෙතොල් තද කර ගෙන ද ඇස් දෙක සිහින් කර ගෙන ද තරුණයා දෙස බලා සිනහ වූවා ය. මඳහසක් හෝ නැති මුහුණකින් ඔහු ඇගේ වත මත නෙතු නතර කර ගත්තේ ය.

“සොරි”

දුල්නෙත් ඒ අකුරු දෙක කීවේ ඉතා පහළ ස්වරයකිනි.

“ඇයි…”

“අරුං නටපු පිස්සුවට ඔයාට තරහ ගියාද කියලත් මට හිතුණ”

අයානා ඇස් පහළට හරවා ගත්තා ය. ඔහු ගෙන් අහන්නට හෝ ඔහු ට කියන්නට කිසිවක් ම නොමැතිව ඇය අවට අවකාශය හා ඇය ඇතුළත අභ්‍යන්තරය එහෙම පිටින් ම හිස් ව ගියා සේ දැනී නො දැනී ගියේ ය. නමුත් කියන්නටත් අහන්නටත් කෝටි ගණනක් දේවල් හැන්දෑවේ මතකයට ආවා නොවේ ද? 

“කොෆී එකක් බොනවද…”

අන්තිමට ඇය ඇස් ඔසවා අසා ගත්තා ය. ඒ වෙත්දීත් දුල්නෙත් ගේ යුග නෙත් අරුණෝදය සේ ඇය වට කොට පායා තිබිණ.

“ම්හු. හෙට බොමු. අද ඉක්මන්ට ගෙදර යන්නෝනෙ. හොඳ නින්දක් දාන්නත් ඕනෙ. ඊයෙ නින්දක් තිබුණෙම නෑ”

“එහෙනං පරිස්සමට යන්න”

කියන්නට ඕන වුණේ ‘යන්න එපා දුල්නෙත්’ කියා වී ද ඇය එසේ කීවා ය. දෙතොල් තද කොට ගත් සිනහවකින් දුල්නෙත් ඇගේ මුහුණ දෙස ම බලා සිටියේ ය 

“ඇයි…”

හුරතල් නොදැරියක සේ ඕ පිළිවිසියා ය. 

“මුකුත් නෑ. එහෙනං…මං යන්නද…”

හා කියා ගන්නට බැරුව ඇගේ පපුව හඬා වැටුණේ ය. ආදරයේ විවිධ වර්ණ හා හැඩ තල ඇය මේ දකිනවා ම ය. අඩියක් පෙරට තැබූ දුල්නෙත් එහෙමම යළි හැරී අයානා ගේ වමත සිය දකුණතින් අල්ලා ගත්තේ ය. ඊළඟ තත්පරයේ ඔහු තද කොට ඇගේ කොපුලක් සිප ගත්තේ ය. 

මොහොතකට අයානා ගේ ඇස් පියවිණ. එකෙනෙහි ඕ සිහි එළවා ගත්තා ය. ඇගේ හදවත් වේගවත් ව ගැහෙමින් තිබිණ. නමුත් යන්නට හැරුණ දුල්නෙත් ගේ අතක් දෑතින් ම අල්ලා ගන්නා  එක නතර කර ගන්නට තරම් ඇය සිතින් සවිමත් වූයේ නැත. ආපසු හැරී ඇදෙස බැලූ හෙතෙම අයානා ගේ හිස මත මහත් වූ ස්නේහයකින් අතක් තැබුවේ ය.

“පරිස්සමට ඉන්න”

ඒ හඬේ තිබුණේ ඇය කවදාවත් අත්විඳ නැති ආකාරයේ ආදරයකි.

දුල්නෙත් දොර හැර ගෙන තිරුවානා මිදුලට බැස්සේ ය. අයානා ට කකුලක් ඔසවා කකුලක් තබා ගත හැකි වූයේ නැත. ඇය වීදුරු දොරට මූණ තියා ගත්තා ය. සෝරත මාවතට වැටී දුල්නෙත් හැරී බැලුවේ ය. 

ඔහු ළඟ නිතර දැනෙනා පිරිමි සුවඳින් නිර්වාණය පිරී ඇති සෙයක් ඇයට දැනිණ.. රැවුල් කොට වැදීම නිසා ඇගේ කොපුලක ඇති වූ සංවේදනය තවත් ටික වෙලාවක් යන තුරු නොවෙනස් ව එසේ ම පැවතිණ. ඒ පාෂාණිභූත වීම තුළ ඇය අසාමාන්‍ය මිහිරක් වින්දා ය. 

ජංගම දුරකතනයට පණිවිඩක් එන කෙටි හැඬවුමෙන් පියවි ලොවට එළඹි ඕ කවුන්ටරය වෙත ගියා ය.

“ආදරෙයි”

ඒ දුල්නෙත් ය. අයානා ඇස් දෙක පියා ගෙන දුරකතනය පපුවට තුරුලු කොට ගත්තා ය. 

ආදරය කියනා හැඟීම ඒ තරම් නිදහස් ලෙස මංජරී සමග වූ සම්බන්ධයේදී දුල්නෙත් ට දැනී තිබුණේ නැත. එතැනදී ඔහුට ම නොතේරෙන හිර වීමක් තුළ ඔහු වෙහෙසට පත් වූයේ ය. දැන් දැනෙනා ආදරය නිදහසක් ව පිටාර ගලා යයි. 

කිසි දාක ඔහු ට එක කෙල්ලක සමග මිස ප්‍රේමයෙන් බැඳෙන්නට හැකි වෙතැයි දුල්නෙත් සිතා සිටියේ නැත. එක වරකදී ගැහැනු ළමයින් කිහිප දෙනෙකුට පෙම් කරනා මිතුරන් දැක ඇති ඔහු මංජරීව තෝරා ගනිත්දී අප්‍රමාණ ව සිතුවේත් ඒක ය. හොඳ ම එක ම තෝරා ගැනීමක් කරන්නට ඔහු උත්සුක විය.  අයානා නොව මංජරී විවාහයක් තෙක් ගෙන යා හැකි පෙම්වතිය යයි ඔහු තීරණය කළේ ය. නමුත් ඇය ළඟදී නොදැනුණ ප්‍රේමයක් අයානා අස දැනේ.

එදා නිර්වාණයට ඇවිත් ගියාට පස්සේ විදුර සයුරංග ඒකනායක යළි එහි නොයා සිටියේ හේතු කිහිපයක් මත ය. එකක් මංජරී සමග රණ්ඩුවක් ඇති කර ගන්නට තිබූ අකමැත්තයි. ගැහැනුන් ගේ කන්දොස්කිරියාවෙන් හැකි තාක් දුරස් වී ඉන්නට ඕනෑ වෙන යුගයක් පිරිමියෙකු පරිනතියට පත් වීමේ දී උදා වේ. ඇතැම් විට ගැහැනුන්ට බිය නැතැයි පෙන්වන්නට ප්‍රසිද්ධියේ  කළ දෙයක්, එසේ පරිනතියට පත් වීමේදී රහසිගතව කරන්නට පෙළඹෙන්නේ ඒක ය. මංජරී අවුස්සා ගෙන ගෙදර සාමය නැති කර ගන්නවා වෙනුවට ඇයට හොර රහසේ නිර්වාණයට යන්නට ඔහු තීරණය කොට ගෙන සිටියේ ය. එහි යළි නො යන ලෙස මංජරී අනතුරු අඟවා තිබිණ. ඉතින් ගිය බව ඇයට ආරංචි වුව හොත් කන්දොස්කිරියාව නැවත පටන් ගනු ඇත. ඒ නිසා එදා මංජරී ව ගෙදර බැස්වීමෙන් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට කියා නැවත පිට වූ විදුර නිර්වාණය දොරකඩ රිය නතර කළේ ය. එතකොටත් අයානා සිටියේ වීදුරු දොරට මූණ තියා ගෙන ය. විදුර තැනට පැමිණි එක ගැන හෝ ඇගේ අවධානයක් නොවූ අතර ඔහු වීදුරුවට මෙපිටින් ඇගේ කම්මුල ඇති තැන අත තබද්දී නම් ඇය ගැස්සී නැගී සිටියා ය. විදුර ගේ රුව දුටු ගමන් ම දොරෙහි ක්ලෝස්ඩ් බෝඩ් එක දැමූව ද ඔහු දොර තල්ලු කර ගෙන බලයෙන් වාගේ ඇතුළට ආවේ ය.

“දැන් ශොප් එක වහල. ප්ලීස් හෙට උදේට එන්න”

අයානා තදින් කීවා ය. දොරෙහි අගුලු ලන්නට පමා වීම පිළිබඳව ඇය ආත්ම කෝපයකට පත් ව සිටියා ය. විදුර ගේ දෙතොල් අතරේ වූ සිනහව ඇගේ කෝපය තවත් අවුලුවා ඇය වෙව්ලුවන්නට සමත් විය.

“ශොප් එක වැහුවට ඕනර් ඉන්නවනෙ…මට ඕනෙ බඩු ගන්න නෙවෙයි…ඕනර් එක්ක කතා කරන්න”

“ප්ලීස් විදුර. මට ඔයත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ.ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව මෙතනින් යන්න”

“මොනාද අනවශ්‍ය ප්‍රශ්න..ම්..”

එහෙම කියමින් කවුන්ටරය අසලට ගිය ඔහු එතැන වූ උස් ස්ටූල් එකක අසුන් ගත්තේ ය. ඔහු ගේ කඩවසම් බව ඇය දුටුවේ ම නැත. අයානා ඉවත බලා ගත්තේ පිළිකුල් හැඟීමකිනි.

“මට කාගෙවත් පෞද්ගලික දේවල් අදාල නෑ. හැබැයි මං බොහොම පාඩුවෙ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔයා මෙතනට ඇවිත් කියල දැන ගත්තහම මංජරී ඒක ප්‍රශ්නයක් කර ගන්න පුළුවන්”

“ඕ…ඔයා එහෙනං ඒවත් දන්නව..හරි හරි..අර මංජරී අත් ඇරල දාපු කොල්ල ඔයාගෙ පස්සෙං එනව කියල මංජරී කිව්වනෙ. ඒකා වෙන්නැති කියන්න ඇත්තෙ”

අයානා අත් දෙක පපුවේ බැඳ ගෙන කේන්තියෙන් ඉවත බලා ගත්තා ය. සමහර මිනිසුන් ගං වතුර වාගේ ය. නො දන්වා ම ඇවිත් ඔවුන් නික්ම යන්නේ ලොකු විනාශයක් කරමිනි. වතාවක් බැස ගිය ඒ ගං වතුර නැවත ද පැමිණ තිබේ!

“අයානා ඔයා වැදගත් ගෑනු ළමයෙක්. මේ පොඩි කැම්පස් කොල්ලොත් එක්ක නටන්න ගිහිං ඔයාගෙ තත්වෙ නැති කර ගන්න එපා”

අයානා ගේ කට කොනක් සිනහවකට ඇද විය. එය වූ කලී අවඥා සහගත සිනහවකි. විදුර වහා නැගිට ඈ අසලට ම ආවේ ය.

“ස්පෙශලි…ඔයා මැරීඩ් ලේඩි කෙනෙක් නේද…ඔයා ගැන කවුරුත් නරකක් කියනවට ඇත්තටම මං කැමති නෑ”

වේගවත් අඩි තබා දොර වෙත ගිය ඕ එය ඇද විවර කොට ගෙන මිදුලට බැස්සා ය. විදුර හෙමි හෙමිහිට ඇය පසු පස ගියේ ය. එකෙනෙහි ඇතුළට පැන ගත් අයානා දොරෙහි අගුල දැමුවා ය.

“හරි හරි එහෙනං ඔයා එහෙමයි නේ මැණිකෙ”

කියා ගෙන විදුර සෝරත මාවතට පිවිසියේ හැරී නිර්වාණය දෙස නැවත ද බලමිනි. අයානා හති දමාගෙන පඩි පෙළ දිගේ දිව ගියා ය. අම්මා හෝ තාත්තා ඇයව එසේ නො දැකීම ගැන ඇය දෙවියන්ට ස්තූති කළා ය. ඒ වුණත් විදුර ගේ මේ ආගමනය ඔවුන් කලබල නොවෙන සේ අද ම දැනුම් දෙන්නට ඇය හිතා ගත්තා ය.

නාලිනී හා රෝහණ සිටියේ අයානා සමග කතා කරන්නට ගැලපෙන වෙලාවක් හොයමිනි. රෑ කෑම ගැනීමෙන් පසු අයානා සෝරත මාවත පැත්තට මුහුණ දැමූ සඳැල්ලට වූවා ය. ජයසුන්දර යුවල ඇස් වලින් කතා කොට එකඟතාවයකට විත් ඔවුහු ද සඳැල්ලට පිවිසියහ. පන්සල දෙසින් මල් හා සුවඳ කූරු වල ද කර වූ පොල් තෙල් පහන් වැටි වල ද සුවඳක් පැතිර ආවේ ය. 

අම්මාගේත් තාත්තාගේත් මුහුණු වල අමුත්තක් අයානා ට දැනිණ. ඒ බලාපොරොත්තුවේ සහන් එළියකි.

“ඇයි අනේ…”

ඇය ආදරයේත් කෝළ බවේත් සම අනුපාත හඬ තානයක් ඇතිව ඇසුවා ය. ඔවුන් දෙදෙනා උනුන් ගේ මුහුණු ද දියණිය ගේ මුහුණ ද දෙස බලමින් මුදු සිනා පෑහ.

හැන්දෑවේ දුල්නෙත් ගේ මිතුරන් ඇවිත් නිර්වාණයෙහි ගාලගෝට්ටියක් ඇති කළ වෙලාවේ ඒ ඝෝෂාව කුමක් දැයි බලන්නට රෝහණ ජයසුන්දර  පිය ගැට පෙළ දෙස ට පිය නැගුවේ ය. තරුණයෙකු කැරට් මාලයක් අයානා ගේ ගෙල පළඳවනු ඔහු දුටුවේ පියගැට පෙළ ඉස්මත්තේ දී ය. එතකොට ම නාලිනී ද එතැනට පැමිණි අතර රෝහණ අතින් සංඥා කොට ඇය පහළට යාම වැළකුවේ ය. එතැන සිදු වූයේ කුමක් දැයි නාලිනී ට එක වර සිතා ගත නො හැකි වී ද රෝහණ ගේ මුහුණේ වූ සිහින් සිනහ රැල්ල නිසා ඇගේ හිතේ ඒ ඝෝෂාව ගැන තිබූ බිය නැත්තට නැති වී ගියේ ය. 

“පුතාගෙන් අපිට දැන ගන්න දෙයක් තියනව. ඇත්තටම කියනවනං…දැනගන්න ආස දෙයක්…”

ඒ ඉලන්දාරියා කැරට් මාලය පළඳවත්දී අයානා ගේ මුහුණ රෝහණ ට පෙනුණේ පැත්තට ය. නමුත් ඇය හිටියේ සතුටෙන් බව ඔහු ට දැනුත් සිහි කර ගන්නට පුළුවන.

“පුතා කාට හරි කැමැත්තෙන් ඉන්නවනං…ඒ හාදයට අපිත් ඔයා තරංම කැමතියි. ඔයාට තරංම ආදරෙයි”

“අනේ තාත්…ත…”

අයානා ට කියා ගත හැකි වූයේ එපමණකි. ඇය එහෙම ම රෝහණ ගේ පපුවට වාරු වූවා ය. දෑතින් ම තාත්තා ව බදා ගෙන ඇස් දෙක පියා ගත්තා ය. ඇස් තටු වලට මිරිකුණු කඳුළක් රෝහණ හැඳ උන් බැනියමට උරා ගෙන ඒ සීතල ඔහු ගේ පපුවට කාන්දු විය. නාලිනී තාත්තාවත් දූවත් දෙදෙනාව ම එක වර දෑතින් වැළඳ ගත්තා ය. මේ වගේ වෙලාවක කතා කර ගන්නට ඇය වචන දැන සිටියේ නැත. 

“පුතේ…අපි ඔයාව හැදුවෙ මලක් වගේ පරිස්සමට. ඒත් එක තැනකදි අපිට ඔයාව පරිස්සං කර ගන්න බැරුව ගියා. අපේ ඇස් පනාපිටම ඔයා කැඩිල බිඳිල ගිහිං විඳවන හැටි දකින්න තරං අපි පව්කාර වුණා. ඒත් ජීවිතේ කියන්නෙ එක තැනක නතර වෙලා තියන පොකුණක් නෙවෙයි පුතේ…ගලං යන ගඟක්. කොච්චර රිදුණත් බිඳුනත් දවසක ඒ තුවාල කැළැල් සුව වෙනව. ඒකට ගත වෙන කාලය තමයි ඉස්තීරෙට කියන්න බැරි. එක එක්කෙනාට ඒක එක එක විදිහයි. සමහර මිනිස්සු ඉන්නව පුතේ දිව්‍ය ඖෂධ වගේ. අන්න එහෙම මිනිස්සු ළඟ අපේ තුවාල ඉක්මනටම සනීප වෙනව. මං හිතන්නෙ පමා වෙලා හරි  පුතාට හම්බ වෙලා තියෙන්නෙ එහෙම බෙහෙතක් වගේ කොල්ලෙක්. ඔයාගෙ ඇස් වල තියන සතුට තමයි මටයි අම්මටයි එහෙම කියන්නෙ. ඔයයි අයියයි තමයි පුතේ අපිව මේ සසරට බැඳල තියපු බැම්ම. ඔයාව සතුටෙන් තියන්න පුළුවන් කෙනෙක් මුණගැහුණා කියන්නෙ….අපිට දැන් ඊට වඩා සැනසීමක් නෑ”

රෝහණ කතා කළේ අයානා ගේ පිට පිරිමදිමින් නැවතිල්ලේ ය. අයානා තව තවත් තාත්තා ගේ පපුව අස්සේ ගුලි වී ගත්තා ය. හැන්දෑවේ දුල්නෙත් සිය හිස මත අත තැබූ වෙලාවේත් ඇයට දැනුණේ රෝහණ ළඟ මේ දැනෙන්නා වූ ආදරයේ සුරක්ෂිත බව ම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles