මල්වර මල් සර – 24

ඒ වෙලාවේ මංජරී දුල්නෙත් ව දුටුවේ විදුර ගේ ඇස් වලට තත්පරයෙන් සීයෙන් කොටසකට පමණ පස්සේ ය. ඒත් එක්ක ම දුටු අයානා ගේ සිනහ වෙන සැහැල්ලු සුන්දර මුහුණ, මංජරී ගේ සිරුරේ රුධිර ධාතුව රත් කරන්නට සමත් විය. ඊර්ෂ්‍යාවේ ගිනියම් කිරණයක් ඇසිල්ලකින් ඇගේ සිරුර පුරා ම විහිද ගියේ ය. විදුර ගේ රියෙහි රෝද වලට හසු වීම නිසා හුම්මානය සේ ඉහළ විසිර ගිය පාරේ වූ වැහි දිය, දුල්නෙත්වත් අයානාවත් තෙත බරිත කරත්දී මංජරී වම් පසට හැරී ඔවුන් දෙදෙනා දෙස බැලුවේ ද්වේශ සහගත සිනහවකිනි. රිය ඉදිරියට ඇදෙත්දී ඇය පසු පස ද හැරී බැලුවා ය.

“හොඳ වැඩේ”

මංජරී ට එහෙම කියවිණ. ඒ වෙලාවේ විදුර ගේ මුහුණ මත වූ වෛරයේ මඳහස කුමන අරුතක් මත හට ගත්තක් ද කියා ඔහු දෙස බැලුවත් මංජරීට නම් වටහා ගත නො හැකි වනු ඇත. ඒ තරමට ම ඇය ද්වේශයෙන් ගිනිගනිමින් සිටියා ය. 

රිය ඉදිරියට ඇදෙත්දී මංජරී පිටුපස ද හැරී බැලුවා ය. දැන් අයානා හා දුල්නෙත් ප්‍රසිද්ධියේ මහ මග සිට ද සිනහ වෙමින් කතා බහ කරති. ඔවුන් ගේ ඇසුර දැන් ඒ තරම් දුර දිග ගොස් තිබේ!

එදා විශ්ව විද්‍යාලයේ දී දුල්නෙත් ගේ මිතුරන් ට කටගැස්ම වූයේ ඒ සිදුවීම ය. දවල් කැන්ටිමේ මේසයකට ගසා තාල තබමින් ඔවුන් ගීයක කොටසක් ගයමින් සිටියදී විදුර භෝජනාගාරය දෙසට එමින් සිටියේ ය.

“රිය ඇතුළේ උණුහුම ඔබට දිදී…නහවයි මා රිය සක මඩ වතුරේ…නෑ හිත රිදුණේ අදත් එදා සිහි වී…අපේ සබඳකම් නෑ රිය සක දන්නේ…”

දුල්නෙත් ගේ ඇස් විදුර වෙත යොමු ව තිබිණ. ඔහු ට උස් දේහධාරී සිරුරක් තිබේ. බරට අඩි තබා ඉක්මනින් ඇවිදින ඔහු ගේ ගමන ප්‍රතාපවත් ය. තරමක් වවා මැනවින් කප්පාදු කරන ලද කොණ්ඩය ඔහු ගේ පෞරුෂය තීව්‍ර කරවා තිබේ.

විදුර ආවේත් සියලු සිසුන් අතරින් කෙලින් ම දුල්නෙත් දෙස බලා ගෙන ය. ඉවත බලා ගන්නවා ද නැත් ද කියා ඔහු කිහිප විටක් සිතුවේ ය. නමුත් ඉවත නො බැලුවේ බැල්මකින් හෝ විදුරට පරදින්නට තිබූ උවමනාවක් නැතිකම නිසා ය.

එක තැනක දී ගමන් වේගය බාල කළ විදුර දුල්නෙත් දෙස එක එල්ලේ බලා ගෙන ම ඔහු ට හිසින් ද අතින් ද ඉඟි කොට කතා කළේ ය. විදුර බලා සිටියේ තමන් දෙස බව දැනුණත් ඔහු කතා කළේ තමන්ට ම දැයි ඔහු ට නිශ්චිත කර ගත හැකි වූයේ නැත. දුල්නෙත් වට පිට බලා යළිත් ඔහු දෙස බලත්දී විදුර නැවත ද මුල් ලෙසට ම සංඥා භාෂාවෙන් කතා කළේ ය.

“මටද…”

දුල්නෙත් එසේ ඇසූයේ වමත ඔහු ගේ පපුවට තබමිනි.

“ඔව් ඔව් අයිසෙ”

එවර විදුර හයියෙන් කීවේ ය.

“මොකාටද ඌ එන්න හදන්නෙ..”

සුමීර මේසයට තට්ටු කරමින් තාල අල්ලන එක නවතා විමසී ය.

“හිටහං අපිත් එන්න”

තවකෙකු කීවේ ය.

“ඕන්නෑ උඹල හිටහල්ලකො”

කියමින් දුල්නෙත් අසුනෙන් නැගිට ගත්තේ කිසිදු කලබලයකින් තොරව ය. ඔවුන් දෙදෙනා ම එකිනෙකා වෙතට කල්පනාකාරී මඳ වේගී අඩි තබමින් ලං වූහ. විදුර දුල්නෙත් ගේ උරහිස වටා අතක් දමා ගනු මිතුරන් රෑනට පෙනිණ.

“මූ මොකාට හරි අඳින්න හදනව වගේ. ඇහැ ගහං ඉන්න වෙයි”

කෙනෙකු කීහ. 

විදුර දුල්නෙත් කැටුව ගියේ භෝජනාගාරයෙන් පිටතට ය. දුල්නෙත් ට සම්මුඛ ව සිට ගත් ඔහු කලිසම් සාක්කු දෙකේ අත් දෙක ඔබා ගත්තේ ය. දුල්නෙත් සිය දෑත් පපුව මත බැඳ ගනිමින් කෙළින් ම විදුර දෙස බලා ගත්තේ ය.

“අයානත් එක්ක තියන ආස්සරේ මොකද්ද…”

විදුර ගේ මුහුණ මත ඊර්ෂ්‍යාව ද කෝපය ද රළ නගමින් තිබිණ. දුල්නෙත් ඉතා සන්සුන් මඳහසක් නගා ගත්තේ ය.

“ඇයි අහන්නෙ…”

“මට දැනගන්න ඕන නිසා මනුස්සයො”

“ඇයි මං ඒක ඔයාට කියන්නෙ…”

විදුර ගේ ඇස් වලින් කෝප ගිනි පිට වන්නට විය. මේ කොල්ලා මේ තරමට තමන්ව හෑල්ලුවට ගනු ඇතැයි ඔහු කිසි සේත් සිතුවේ නැත. ඔහු ඉදිරියේ සිය පෞරුෂය හිරු දුටු පිනි සේ වියැකී යනු දැනෙත්දී විදුර තව තවත් නො සන්සුන් වූයේ ය. 

“අයිසෙ මේ…තමුන් දන්නවද අයානා කවුද කියල…”

ඒ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දුල්නෙත් කළේ කට කොනකට සිනහවක් නගා ගන්නා එක ය. ඒ සිනහව විදුර ගේ කෝපය තවත් දල්වා ලන්නට සමත් විය. 

“මං අයානාගෙ කවුද කියල දන්නවද…”

“අයානාව ඔයා බඳින්න ලෑස්ති වෙලා හිටිය කියල මට කිව්ව. ඔයා කවුද කියල දැන ගත්තට පස්සෙ අන්තිම මොහොතෙදි එයා ඒ වෙඩින් එක කෑන්සල් කළාලු නේද…”

“වෙඩින් එක කෑන්සල් වුණාට එයාට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි”

එය කෙතරම් දැඩි බෝම්බ ප්‍රහාරයක් වී ද යත් පොළොව හෑරී ගෙන ඔහු ව අගාධයකට ගිලා බසින්නා සේ දුල්නෙත් ට දැනෙන්නට ගති. විදුර විසින් දුෂ්ට ලෙස පහර දෙනු ලැබුවේ දුල්නෙත් ගේ ආත්ම අභිමානයට ය.

ඒ වචන ටික පිට වීමෙන් පස්සේ ද්වේශ සහගත සතුටක් විදුරට දැනෙන්නට ගති. ඒ හා සමග ම තමන් මහා අමන තිරිසන් ගණයේ මිනිසෙකු බව ඔහු ගේ ම හිත කෑ ගසා කියන්නට විය. නමුත් සිය ආත්මය විසින් කෑ ගසා කියූ කතාව නෑසුණා සේ එය අමතක කරන්නට ඔහු ට ඕනෑ වූයේ ය. විෂ නසන්නට විෂ ම යොදා ගන්නා සේ ඔහු සිය අමානුෂික කතාව සාධාරණීකරණය කරනු වස් තවත් අමන කතාවක් ම කීවේ ය.

“කුණු ගොඩවල් ළඟින් හමන්නෙ ගඳමයි. දුල්නෙත් එතනිං අයින් වෙලා ගියොත් හොඳයි”

ශ්වසනය පවා අවහිර වන තරම් දරුණු ප්‍රහාරයකට ලක් ව උන් දුල්නෙත් අසීරුවෙන් වුව යළි නැගී සිටීමේ උත්සාහයක් ගත්තේ ය.

“බොහෝම ස්තූතියි ඒ ආදරේටයි අනුකම්පාවටයි. හැබැයි මං කරන්නෙ මට හොඳයි කියල හිතෙන දේ. මංඊ මිස්ට විදුරට ඇවිත් කිව්වෙ නෑනෙ මංජරී කියන්නෙ කලින් මං පාවිච්චි කරපු ගෑනු ළමයෙක් කියල…නේද…මිස්ට විදුරට කලින් තව පිරිමි කීප දෙනෙක් හරි…ඊටත් පස්සෙ තවත් පිරිමි කීප දෙනෙක් හරි වුණත් අයානා ආශ්‍රය කරල තියෙන්න පුළුවන්. හැබැයි මට ඒව වැඩක් නෑ. මට අදාල වෙන්නෙ වර්තමානය විතරයි. අයානා ඒ පිරිමි අත්ඇරියෙ ගැලපෙන්නෙ නැති නිසානෙ. මාත් මංජරීව අත්ඇරියෙ මට ගැලපෙන්නෙ නැති නිසා. මේ මොහොතෙ අර පිරිමි ඔක්කොම අමතක කරල අයානා මට ආදරේ කරනවනං…අපිට එකට සතුටෙන් ඉන්න පුළුවන් තාක් කල් අපි ආදරෙන් ඉන්නව. එහෙම ඉන්න බැරි දවසක් ආවොත් අපි වෙන් වෙලා යනව. මිස්ට විදුරට තව මොනා හරි කියන්න තියනවද…”

විදුර දුල්නෙත් දෙස බලා හිටියේ තමන් විසින් අවුළුවා ගනු ලැබූ ගින්නක් තුළ දැවෙමිනි. 

මිතුරන් කෙතෙක් විමසී ද විදුර විසින් අයානා සම්බන්ධ ව පැවසූ කාරණා දුල්නෙත් සිය හදවතට සීමා කර ගත්තේ ය. නමුත් ඔහු ගේ වෙනසක් ඒ හැන්දෑවේ අයානා ට දැනිණ. 

“මොකක් හරි ප්‍රශ්නයක්ද දුල්නෙත්…”

අයානා බෝ වෙලාවක් ඔහු ගේ වෙනස ඉව කරමින් හිඳ පුස්තකාල කොටසේ මේසය ළඟ පුටුව ඇද හිඳ ගත්තා ය. ඔහු කෙළින් ඒ මුහුණ දෙස බලා සිටියේ ය. එහි සිනහ බින්දුවක් හෝ නො මැත. 

“ඇයි දුල්නෙත්…”

ඔහු දිගු සුසුමක් හෙළුවේ ය. 

“මගෙන් මුකුත් වරදක්…”

“අයානා”

එය උගුර යටින් කළ ඇමතීමකි.

“සමහර විට ඉස්සරහට හුඟක් දේවල් වලට මූණ දෙන්න වෙයි. හුඟක් හිත් රිද්දගන්නත් වෙයි. ඒත් අපිට අපි විශ්වාසනං…මේ ගමන යන්න පුළුවන් වෙයි”

“දුල්නෙත්”

එය මෘදු මිමිණීමකි. 

“මං අහන්නෑ කවුද ඔයාගෙ හිත රිද්දුවෙ කියල. ඒ කොතනක හරි විදුර ඇති කියල මට හිතෙන නිසා. ඒත් හිත රිද්දගන්න එපා කියල කියන්න මට පුළුවන්. ඒ දෙයක් මං ඔයාට කිව්වනං…සිද්ද වුණේ ඒ දේ විතරයි නිසා. මං දන්නව විදුර ඉන්නෙත් ඔයා ඉන්න තැනම නිසා…එයා කොයි වගේ මනුස්සයෙක්ද කියල මටත් හිතා ගන්න බැරි තරං නිසා …ඔයාට උහුලගන්න බැරි තරං දේවල් එයාටගන් සිද්ද වෙන්න පුළුවන්. අද උදේ මඩ වතුරෙන් අපිව නාවන්න තරං එයා පහත් මනුස්සයෙක් වෙද්දි…මට හිතුණ ඒ මනුස්සයට කරන්න බැරි ජරා වැඩක් නැතුව ඇති කියල. මං හිත රිද්දගන්නෙ නෑ දුල්නෙත්. ඒත් ඔයාට රිදිල කියල දැනුණොත් මට දරා ගන්නත් බෑ”

“විදුර මාව හොයං ඇවිත් කියපු දේවල් වලට රිදුණෙ නෑ කියන්න බෑ. ඒත් මං ඔයාගෙ ආදරේ විශ්වාස කරන්න කැමතියි”

“මං ඒ විශ්වාසෙ කවදාවත් කඩන එකක් නෑ”

“මට ආයෙත් ඔයාව නැති කර ගන්න ඕන නෑ අයානා”

නිර්වාණ ද්වාර ය විවර වී විදුර ගේ රුව එයින් ඇතුළට එත්දී අයානා අභ්‍යන්තරයෙන් තිගැස්සී ගියා ය. නමුත් එතකොට ම පිය ගැට පෙළ බැස ගෙන රෝහණ පහළට ආවෙන් අයානා ගේ ගැස්ම මඳක් තුනී විය. 

“එළියට යමු විදුර”

රෝහණ තරමක් තදින් කීවේ ය. 

“ඇතුළට ගිහිං කතා කරමු අංකල්”

විදුර ඇතුළට යන්නට පියවරක් ඉදිරියට තැබුවේ ය. සිදු වෙන්නට යන්නේ කුමක් දැයි අයානා ට වැටහුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles