තාක්ෂණයේ පිහිටෙන් මියගිය දියණියට යළි කතා කළ අම්මා

0
3591

අම්මා කෙනෙක්ට දරුවෙක් අහිමි වීම තරම් වේදනාවක් තවත් නැති තරම්. ස්වාමියා හෝ භාර්‍යාව අහිමි වූ කෙනෙක්ට එසේත් නැති නම් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට භාවිතා කරන තනි වචනයක් භාෂාව තුළින් සොයා ගත හැකියි. එහෙත් දරුවෙක් අහිමි වූ මවකට කිවහැකි තනි වචනයක් ඔබ අසා තිබේ ද? දරුවෙක් අහිමි වූ මවකට ඇති වේදනාව එතරම් සුවිශාල එකක්. එය වචනවලින් ප්‍රකාශ කළ නොහැකි තරම්. එවන් අවස්ථාවක වසර කිහිපයකට පෙර මියගිය දියණිය ව යළි දැකගැනීමට හැකියාව ලැබුණොත්? ඒ අම්මාගේ සතුටේ පරිමාණය ඔබට සිතාගත හැකි ද?

එවන් සිදුවීමක් පසුගිය දාක කොරියාවෙන් වාර්තා වුණා. ඒ අවස්ථාව තාක්ෂණයේ දියුණුව හිණි පෙත්තට ගිය අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. Virtual reality goggles (අතාත්වික යථාර්ථමය ඇස් කණ්නාඩි) පැළඳ Jang Ji-sung ඇගේ 7 හැවිරිදි දියණිය Na-yeon අසල්වැසි උද්‍යානයක ලී ගොඩවල් පිටුපසින් මතුවනවා දැක කඳුළු සලමින් හැඬුවා. ඇය වසර තුනකට පෙර රුධිරය ආශ්‍රිත රෝගයකින් මියගිය පසු මේ සිදුවීම සිදු වී තිබෙනවා.

“අම්මේ, ඔයා කොහෙද හිටියේ? ඔයා මං ගැන හිතුවද?” Na-yeon එහිදී පැවසුවේ, පුදුමයටත් දුකටත් පත්ව හුස්ම හිර වී සිටි Jang ට පිළිතුරු දීමට පොළඹවමින්. “සැමවිටම” අම්මා පිළිතුරු දුන්නා.

තම දියණියගේ ප්‍රියතම වයලට් ඇඳුමෙන් සැරසී ඩිස්නි සජීවිකරණ චිත්‍රපටයක් වන “ෆ්‍රෝසන්” හි සහෝදරියන් වන එල්සා සහ ඇනා සිටින රෝස පැහැති පසුම්බියක් රැගෙන පැමිණෙන දියණිය දුටු අම්මා තම දෑත් අතථ්‍ය රූපය විනිවිද යාමටත් ඊට ළං වීමට උත්සාහ කළ අයුරු හදවත කම්පා කරවන සුළුයි.

“ඇත්තටම මට ඔයාව එක පාරක් අල්ලන්න ඕන” ජැන්ග්, මියගිය දියණියගේ අම්මා පැවසුවේ කටහඬ සහ දෑත් වෙව්ලමින්. “ඇත්තටම මට ඔයා නැතුව පාලුයි.” අම්මා හඬමින් ම වැඩි දුරටත් ප්‍රකාශ කළා .

පසුගිය සතියේ දකුණු කොරියානු විකාශන ආයතනයක් වන MBC හි වාර්තා චිත්‍රපටියක විකාශය වූ මේ හද සසල කරවන අම්මාගේත් දූගේත් නැවත එක්වීම, වර්චුවල් රියැලිටි (VR) තාක්‍ෂණය මගින් සිදු කරන ලද අතර එය Na-yeonගේ සැබෑ රූපය, ළමා නළුවෙකුගේ රූපය හා එක් කර මවගේ ඡායාරූප සහ මතකයන් භාවිතා කරමින් digital avatar එකක් තුළ ප්‍රතිනිර්මාණය කරන ලද්දක්.

“ඔබව හමුවීම” (Meeting you) යන මාතෘකාවෙන් යුත් මෙම වාර්තා චිත්‍රපටය බොහෝ දකුණු කොරියානුවන්ගේ හද සසල කළ අතර පරිගණක ක්‍රීඩාවෙන් ඔබ්බට නව තාක්‍ෂණයේ වර්ධනය වන විෂය පථය ඉස්මතු කිරීම පිළිබඳ ව වැඩි වශයෙන් සාකච්ඡා වුණා.

“මිනිසුන් බොහෝ විට සිතන්නේ තාක්‍ෂණය යනු හැඟීම්බර නොවන දෙයක් බවයි. තාක්ෂණය මිනිසුන් සඳහා භාවිතා කරන විට හදවත සැනසීමට, උණුසුම් කිරීමට හැකි දැයි බැලීමට අපි මේ සඳහා සහභාගී වීමට තීරණය කළා”. මේ ව්‍යාපෘතියට නායකත්වය දුන් Seoul හි VIVE Studios හි අධ්‍යක්ෂ Lee Hyun-suk පැවසුවා.

වාර්තා චිත්‍රපටිය නිෂ්පාදනය කළ Kim Jong-woo, Na-yeonව ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට “මතක තබා ගැනීම” කෙරෙහි තමා අවධානය යොමු කළ බවත්, එබැවින් Jang සහ ඇගේ පවුලේ අයට දැනෙන්නේ තම දියණිය ජීවත් වූවාක් මෙන් බවත් ඔහු පැවසුවා.

ජැන්ග්ගේ අවසාන ආශාව වූයේ ඇය තමාට ආදරය කරන බවත් ඇයව කිසිදා අමතක නොකළ බවත් නා-යොන්ට පැවසීමයි.

“ඇයගේ ජීවිතය වයස අවුරුදු 7 දී නතර වීම හද කම්පා කරවන සුළුයි,” ජැන්ග් සිහින් සිනහවකින් පැවසුවා.”ඒත් එයාව ඒ විදියට දැක්කම මට ගොඩක් සතුටුයි.” ඒ ඇගේ අදහසයි.

කෙසේ වෙතත් සමහරු මේ සිදුවීම විවේචනය කරන්නට වුණා. මියගිය දියණිය මියගොස් අවසන් නිසාත්, සමහර විටක මව හිත හදාගෙන සිටියත් මේ සිදුවීම නිසා ඇය නැවත පැරීමකට ලක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. එක් අවස්ථාවක මෙසේ කළ හැකි වුවත් නැවත මේ අයුරින් නිතර කළ නොහැකි වීම නිසා දියණියගේ අම්මා යථාර්ථයෙන් ඔබ්බට දේවල් පිළිබඳ හැඟීමක් ඇතිකරගෙන මානසික ව තවත් පීඩාවට පත් විය හැකි බව ඔවුන්ගේ අදහස වුණා.

ඕනෑ ම දෙයක යහපතක් ඇතිවාක් මෙන්, අම්මාට මෙලෙසින් හෝ තම දියණිය හමුවීම වාසනාවක් බව තවත් අම්මාවරුන් පිරිසක් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here