මා හද මට නැති විට 36

ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා අසුනේ වූ යුවතිය සිටියේ සිහිනයක ඉපිලෙමිනි. සමහර දේ කියන්නට ඕනෑවට වඩා කල් ගන්නට ඕනෑ නැතැයි ඇයට සිතිණ.ආදරය ප්‍රකාශ කරන්නට සෑම මොහොතකම පිරිමියා පෙරට ආ යුතු නැති බව ලාවන්‍යා සිතුවා ය.තේජගේ සමහර හැසිරීම් දෙස බලද්දී ඔහු ද හිඳින්නේ ප්‍රේමයෙන් වග ඇයට හැඟෙයි. එසේනම් මේ ආදරය ගැන ඔහුට කියන්නට මැලි විය යුතු නොවේ. ඇය ධෛර්යය ඇත්දැයි පිරික්සා බැලුවා ය.ජීවිතයට අවශ්‍ය හොඳම දේ ලබා ගැනීමේදී පසුබැසිය යුතු නැති බව උගත්තේ පාසල් කාලයේදී ය.ඇය මේ මොහොතේ එය ක්‍රියාත්මක කරන්නට සිතුවා ය.

“තවත් කල් ගන්නේ මොකටද? අපි දෙන්නම එකම බෝට්ටුවේ මිනිස්සුනෙ”

ඇය එසේ සිතමින් මඳ වෙලාවක් ගෙවූවා ය. නමුත් නිවසට යන්නට මහ දුරක් නොවේ. මේ මොහොතේ හයිලෙවල් පාරේ වාහන හොඳටෝම අඩු ය.

“මං ඔයත් එක්ක කතාවක් කියන්නත් හිටියේ තේජ”

ඇය එසේ පැවසුවේ සිහින් සරිනි. යුවතියගේ දෙකොපුල් රත් පැහැ වී ගොස් තිබේ. ඇය කියන්නට යන්නේ අනුමාන කරන දෙයමදැයි තේජ සිතී ය.ඔහු ඇය වළක්වමින් වහා අත දිගු කළේ ය.ලාවන්‍යා බිදී ගියා ය. ඔහු එය වළකා ගත් වේගය ඇගේ සිත කැබලි දහසකට කඩා දමන්නට සමත් විය. ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නම් එය පවසන්නට ඇයට උවමනා නොවේ.

“එපා! ඒ වගේ කතාවක් කිව්වේ ඇයි කියලා ඔයා දුක හිතන්න කලින් මට ඔයාට කියන්න දෙයක් තියනවා.”

තේජ රථය ඉතා සෙමින් ධාවනය කරන අතර කෞෂි පැමිණි බව පැවසී ය. ලාවන්‍යා ගැස්සී ගියා ය.

“ලියෝන්ගේ අම්මා..අපි හිතුවේ..”

තේජට සිනාවක් නැඟිණ. ඔහු ඒ සිනාවෙන්ම ලාවන්‍යා ගිල ගත් වචන සම්පූර්ණ කළා ය.

“ඉන්ද්‍රා ආන්ටි නම් හිතන් හිටියෙ ලියෝන්ගේ අම්මා මැරිලා කියලා නේද?”

ඇය ඔහුගේ දික්කසාද බිරිඳ නොවේ.  හැරගිය පෙම්වතිය ය. විවාහයකින් අවසන් නොවූ ආදර කතාව ගැන තේජ කතා කළේ කෙටි වාක්‍ය වලිනි. ඇය ප්‍රේමයකින් පීඩා විඳි ගැහැනියකි. ඔහුට ද එම අත්දැකීමම තිබේ. ඉතින් සමහර දේ හෝද හෝදා මඩේ ලන්නට අවශ්‍ය නැත.

“එයාගෙන් පස්සෙ මං  බැඳීම් කියන දේවල් මොනතරම් බොරුවක්ද කියලා හිතන්න පටන් ගත්තා.මං ළඟ වෙනසක් නැතුව ඉදියි කියලා මට හිතෙන්නේ මගේ පුතා විතරයි. ඒත් එයාටත් එයාගෙම කියලා ලෝකයක් හදා ගන්න දවසක් එයි. ඒ වෙනකම් එයාගේ හිත තුවාල නොකරන එක මගේ වගකීමක්.”

එසේ පැවසූ තේජ ලාවන්‍යා කාර්යාලයට ඇතුළු වෙද්දී ඔහු අනුත්තරා සමඟ කතා කරමින් සිටියේ මේ සම්බන්ධයෙන් බව පැවසී ය. ලාවන්‍යාට අනුත්තරාගේ නිරුත්තර දෑස් සිහි විණ. ඇය කුමක්දෝ වේදනාවක් සඟවාගෙන සිටියා ය. නමුත් තේජ අනුත්තරා හන්දා හිත බොහෝ නිදහස් කරගෙන ඇති බවක් පැහැදිලි ය. ඇතැම්විට ආදර සම්බන්ධයක් තුළ හිඳිනවාටත් වඩා පුද්ගලයන් නිදහසේ හැසිරෙන්නේ මිතුරන් සමඟ ය.රිසි පරිදි කාරණා බෙදාගනිමින් මිත්‍රත්වය සදහට ම පවතිනු ඇති බවට විශ්වාස කරන්නට  තමන් පෙලඹී සිටි අන්දම ලාවන්‍යා සිහි කළා ය. අනුත්තරා නිසා ඒ විශ්වාසය තේජට ද ලැබී ඇති හැඩකි.

“ඔයාලගේ අනූ හරි හොඳ මනුස්සයෙක්.ලෝකෙම ඔයාගේ ළඟ නැති වෙලාවටත් ඔයාට එයා ඉතුරු වෙයි කියලා මං නම් හිතන්නේ.”

ලාවන්‍යාගේ ප්‍රේමය ගැන බොහෝ වතාවක් තමන්ට හෙළි කරන්නට උත්සාහ කළ අනුත්තරා සිහි කරමින් තේජ පැවසී ය..බැඳීම් රුධිරය මත බැඳී තිබීම ප්‍රමාණවත් නොවේ. හදවතින් අල්ලා ගන්නා තරමට බැඳීම් සුරක්ෂිත වේ.ඒ මිතුරුදම එහෙම බැඳීමකි.

“ඔව් මට එයාව එහෙම විශ්වාස කරන්න පුළුවන් තමයි.අනූ එක්ක ජීවිතේ ගොඩක් දේවල් බෙදාගත්ත එකට මගේ ජීවිතේ තියෙන ලොකුම රහස එයාට  කියපු එකට මං සතුටු වෙනවා.”

ලාවන්‍යා එසේ කියද්දී තේජගේ මුහුණේ සිනහවක් මතුව ආවේ ය.ඇය මේ පවසන්නේ තමන්ට ආදරය කිරීම ගැන ය.ඒ සිහිනයෙහි තවමත් වෙළෙමින් හිඳින්නට ඇයට ඉඩ දිය යුතු ද!

“එයාට පුතාව ගන්න බෑනෙ. ඔයා කලබල වෙන්න එපා.”

ලාවන්‍යා එසේ කියද්දී තේජ හිනැහිණ. කෞෂිට එවැනි හපන්කමක් කරන්නට නොහැකි වග ඇත්තකි. නමුත් හදවත කැබලි ගණනාවකට බිඳී තිබේ.ඇය පුතුත් ඔහුත් අතැර නික්මන් කළ දා තේජ ගැහැනුන් කෙරෙහි බිඳුණේ නැත. නමුත් කෞෂිගේ නැවත ආගමනය ජීවිතය තිබෙනතුරු ගැහැනියකට ළං නොවන්නට ඔහුව පොළඹවා තිබේ. ලාවන්‍යා හොඳ කෙල්ලක බව ඇත්තකි. නමුත් ඇගේ බිඳී ගොස් ලේ ගලන හදවත තමන්ගේ අතින් පෑරෙන්නට ඕනෑ නැති බව තේජ සිතී ය.

“මට ඔයාට කියන්න වෙනම කතාවක් තියනවා ලාවන්‍යා. ඔයාට පුලුවන්ද අහන් ඉන්න?”

ඔහු අසයි. ඇයට ඕනෑතරම් වෙලාවක් ඔහුව අසා සිටින්නට හැකි බව නොකියා ලාවන්‍යා හිස වැනුවා ය.

“මට ඕනෑ කරන්නෙත් ඔයාව අහන් ඉන්න තමයි”

ඇයට එසේ කියැවිණ. සමහර හැඟීම් බවට වචන බවට පත්වූ විට ඒවා නැවත ආපසු ගැනීම කළ නොහැක්කක් බව ලාවන්‍යාට සිතෙද්දී ඇගේ හැඟීම් වචන වී අවසන් ය.ඇය ගල් ගැසී ගියේ එනිසා ය.ඇයට තේජගේ මුහුණ බලන්නට අපහසු විය.ඔහු තමන්ගේ වචන ඕනෑවටත් වඩා තේරුම් ගන්නට ඇති බව ඇයට සහතික ය.ඉඳුරාම සහතික ය.එක් අතකට තමන්ට ඕනෑ වූයේ ද මෙය මිස අන් කවරක්වත් නොවන බව ඇය ඊළඟ ඇසිල්ලේ සිතුවා ය. ජීවිතය පුරා ඔහුව අසා සිටින්නට ඇයට ඕනෑ ය. ඒ බව පැවසීමෙන් හදවත මත පැටවී ඇති මහා බර කන්දක් බිම තැබුණු වගක් ඇයට දැනේ.

(ඉතින් ඊට පස්සේ… මොකක්ද වෙන්න ඕනෑ?)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles