අලුත් මිණිපිරී

සමදරා කණ්නාඩියෙන් පේන රූපේ දිහාවේ ආයේ වතාවක් බැලුවා. මේ ගමන යන්න හිතක් නැති වෙද්දී ඔසරිය ගලවලා විසි කරලා දාලා ආපහු ගෙදරට අඳින ගවුමක් ඇඟට දාගන්න නොහිතෙනවා නෙවෙයි. මීට කලින් මෙහෙම හැඩ බල බල ගිය ගමන් කීපයක් සමදරාට මතක් වුණේ ඒ අතර.

“කැම්පස් එකේ ගෑනු ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් තියනවා අම්මේ.”

චේතන එහෙම කියනකොට කැම්පස් එකෙන් අයින් වෙන්න මාස කිහිපයයි. අවුරුදු හතරක් තිස්සේ එහෙම දෙයක් නොදැනුණා නෙවෙයි. එයාලට හොඳ දේවල්නෙ කියලා සමදරා වචනයක්වත් කියන්න ගියේ නෑ.

“අපි ඒ ළමයා බලන්න යං.”

මාතර ගියේ එහෙමයි. මහනුවරින් මාතරට නෑගමනක්. පබසරා මලක් වගේ කෙලි පොඩ්ඩක් කියලා සමදරා හිතුවා. ඒ හිතිවිල්ලෙන් පබසරාට කැමති වෙන්න වසන්තයි සමදරායි තීරණයකට ආවා.

එයාලගේ කැමැත්තනෙ!!

එහෙම හිතන එක ලේසියි, පහසුයි. ඊටපස්සේ ආවේ මංගල උත්සවේ වැඩකටයුතු. දැන් ඉස්සර තරමට ඒ දේවල් සාම්ප්‍රදායික නෑ.  ළමයි හිතන හැටි වෙනස්. ඒ හැම දෙයක්ම පබසරාටත් චේතනාටත් ඕනෑ හැටියට කරගන්න සමදරා ඉඩ තිබ්බා. පරණ දේවල් අලුත් විවාහ මංගල්ල අස්සට ඔබන්න ගිහින් ළමයින්ගේ හිත් නරක් කරන්න ඕනෑ නෑ.

මේ එයාලගේ කැමැත්තනෙ!!

විවාහ උත්සවෙන් පස්සේ එකම පුතා වෙච්ච චේතනව ගෙදර නවත්ත ගන්න තමයි සමදරාට ඕනෑ වුණේ. අලුත් ලේලිට ආදරේ කරන්නත් සමදරා ආසාවෙන් බලාගෙන හිටියා. ඒත් ටික කාලයක් වෙනම ඉන්න ඕනෑ බව අලුත් ජෝඩුව තීරණය කරලා තිබ්බා. යාන්තමට හිත රිදුණට සමදරා ඒ ගැන කිසිම දෙයක් කියන්න ගියේ නෑ.

දරුවන්ගේ කැමැත්තනෙ!!

අලුත් ලේලිට කිසිම වෙනසක් නැද්ද කියලා සමදරාගෙන් එක එක අය අහන්න ගත්තේ පබසරා ලේලි වෙලා අවුරුද්දක් පිරෙනකොට. සමදරාට චේතන ලැබෙන්න ආවේ බැඳලා මාස තුනකට පස්සේ. ඊට අවුරුදු තුනකට පස්සේ උපදින්න ආව චේතනගෙ නංගි යන්න ගියේ ආයේ අම්මා කෙනෙක් වීමේ අයිතිය පවා සමදරාගෙන් උදුරාගෙන. ඒ නිසා පබසරාගේ අම්මා කෙනෙක් වෙන නොවෙන කාල අහන්න සමදරාට උවමනාවක් නෑ.

“එයාලට ඕන කාලෙක හදා ගනියි. දරුවන්ගේ කැමැත්තනෙ”

සමදරා එහෙම කිව්වේ සැහැල්ලුවෙන්.

ඒ සැහැල්ලුව ටික ටික නැති වෙන්න පටන් ගත්තේ පබසරාගෙත් චේතනගෙත් දෙමාපිය හීනය ඈතටම තල්ලු වෙන බව දැනෙනකොට. ඇත්තටම ගැටළුවක් තියන බව පබසරා හැංගුවෙත් නෑ. වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්න හැංගුවෙත් නෑ. කාලෙට ඉඩ දෙන්න හැමෝම තීරණය කළා.

“පුතේ, අපි අර දේවාලෙට යං ද?”

සමදරා එහෙම අහනකොට චේතන මුහුණ නරක් කරගත්තට පබසරා ඒකට අකමැති වුණේ නැහැ.

“අම්මගෙ කැමැත්තනෙ. අපි ඇයි ඒකට විරුද්ධ වෙන්නේ.”

පබසරා එහෙම කියමින් නැන්දම්මා යන හැම දේවාලෙකටම පන්සලකටම ආවා. තමන්ගේ තෝරා ගැනීම සහ සමදරාගේ තෝරා ගැනීම දෙකම පිළිගත යුතු මට්ටමේ දේවල්. මොකක්ම හරි ඵල දරන්නට ඇති ඉඩ වැඩියි. පබසරා එහෙම හිතුවා.

ඒත් සමහර වෙලාවල් තියනවා යථාර්ථය පිළිගන්නම සිද්ධ වෙන!!

පබසරාට දරුවෙක් ලැබීමේ හැකියාව නැති බව පිළි ගන්නට අමාරු වග ඇත්ත. එහෙත් සමහර සත්‍යය නොපිළිගෙන හිඳීම අසීරුයි. ඒ හන්දාම ඒ ඇත්ත පිළිගන්න සමදරා තීරණය කළා. ඒත් වේදනාව තියෙන්නේ සියල්ලටම ඉහළින්. චේතන එකම දරුවා. ඒ දරුවාට දරුවන් නැතිනම් කවදාවත්ම මුණුබුරෙක් දකින්න වෙන්නේ නෑ. පපුව පැලෙන වේදනාව දරා ගන්න සමදරා දැරුවේ පුදුම උත්සාහයක්.

ඒත් ආයේ වතාවක් දරුවන්ගේ කැමැත්තක් එළියට ආවා.

“අපි ළමා නිවාසෙකින් බබෙක් ගන්නවා අම්මේ. මාස තුනක දූ පොඩ්ඩක්”

චේතනගේ ඒ කතාවට නම් එයාලගේ කැමැත්තනෙ කියන්න සමදරාට අමාරු වුණා.

“කාගෙද නොදන්න ලෙයක් එහෙම අරන් අපේ කියන්නෙ කොහොමද පුතේ?”

සමදරා කෙලින්ම ඇහුවේ ඒ නිසා.

“දරුවෙක් කියන්නේ දරුවෙක්ට අම්මේ.දැන් මම වුණත් ඉස්පිරිතාලෙදි මාරු වෙලාද අම්මා දන්නවද? ඒත් අවුරුදු තිස් තුනක් තිස්සෙ මම අම්මගෙ පුතා.”

වසන්තගෙ ෆොටෝ කොපියක් වගේ ඉන්න චේතන එහෙම කියද්දී සමදරාට ආවේ පුදුම කේන්තියක්. ඒත් ඉවසාගෙන ඉන්න තීරණය කළා. දරුවෙක් අරගෙන හදාගන්නවට අකමැති බව නොකියා කියන කිසිම දෙයක් අහන්න පබසරාගේ ලෑස්තියක් තිබුණෙත් නෑ. දරුවා දැන් මාතර පබසරාගේ මහ ගෙදර. වසන්තගේ කටේ බලේට සමදරා දරුවා බලන්න යන්න ලෑස්ති වුණේ අද.

“එහෙම නොගිහිල්ල ඉන්න පුලුවන්ද සමදරා?ඒ අපේ එකම මිණිපිරී.”

එහෙම කියනකොට සමදරා වසන්තත් එක්කත් කේන්ති ගත්තා. ඊටත් පස්සෙ හිත හදාගෙන ටවුමේ බබාලගේ සාප්පුවෙන් අතක් බරට බඩු අරගෙන ආවා.

“කමක් නෑ. වසන්තගෙ කැමැත්තනෙ”

ඊළඟට එහෙම හිතමින් සමදරා ගමනට ලෑස්ති වුණා. එකපාරක් ගිහින් දරුවා බලලා එන්න තදබල තීරණයක්. ඒක අමාරු වුණත් නොකර ඉන්න බෑ කියලා සමදරාට තේරෙනවා. අවුරුදු ගානකට පස්සේ නපුරු නැන්දම්මා කියන ලේබලේ අලවා ගන්න තියන අකමැත්තට සමදරා ලේලිගේ මහ ගෙදරට ආවා.

ගේ පුරාම කිරි සුවඳ දැනෙන්නේ පිටි කිරි ජාතියක් හන්දා කියලා හිතෙනකොට සමදරාට ලෝබයි. ඒත් දෙයියන්ගේ කැමැත්ත කියලා දේකුත් තියනවනෙ. ළදරු සබන් සුවඳ කොලොන් සුවඳ මිශ්‍ර වෙලා සුවඳක් එනකොට ඉක්මනින් දරුවා බලන ආසාවක් සමදරාට ආවා.

“ඔන්න අම්මගෙ මුණුබුරු පොඩ්ඩි”

පබසරා දෝණිව ගෙනත් සමදරාගේ අතින් තියද්දී සමදරාට සිහියට ආවේ අවුරුදු තිහකට කලින් යන්න ගිය චේතනගේ නංගි.

පොඩි කෙල්ලක්! කෙලි පොඩ්ඩක්!!

සමදරා එහෙම හිතමින් දියණියගේ හිස සිප ගත්තා. පබසරා වගේම සුදුම සුදු කෙලි පොඩ්ඩක්.

“පුතාලගෙ නංගි හිටියානම් මෙහෙම ඉඳීනෙ හිතුණා අප්පේ.”

අනුන්ගේ ලේ ගැන කියවපු කතා දැන් සමදරාට අමතකයි. ඇය දියණියව තුරුලට ගත්තේ බිම තියන්න ලෝබකමින්.

“මගේ චූටි වස්තුව, පුතාගෙ මහ ගෙදර එන්නේ කවද්ද මැණිකේ?”

එහෙම අහන ගමන් සමදරා පබසරාගේ අම්මා එක්ක කිරි දානයක් දෙන විස්තර කතා කතා කරන්න පටන් ගත්තා. චේතන පබසරා දිහා බැලුවේ මන්දස්මිතයක් දරාගෙන.

“අම්මලා මොනවා වුණත් අන්තිමට අපේ කැමැත්තට ඉඩ දෙනවා.”

නොකීවට චේතන හිතුණේ එච්චරයි!

More Stories

Don't Miss


Latest Articles