මිනෙට් ද සිල්වා

මිනෙට් ද සිල්වා!!

ඔබ ඒ නම අසා තිබෙනවාද? ඒ කතා කළ යුතු මට්ටමේ චරිතයක් වුවත් ඇය ගැන කතා කිරීම ඉතාම අල්ප නිසා අද අපි ඔබත් එක්ක ඇය ගැන බෙදාගන්නට හිතුවා. මිනෙට් ද සිල්වා මහත්මිය ලංකාවේ ප්‍රථම වාස්තු විද්‍යාඥවරිය ලෙස ඉතිහාසයට එක් වූ කාන්තාවයි. ලංකාවේ පමණක් නෙවෙයි, ඇය දකුණු ආසියාවෙන්ම වෘත්තීය වාස්තු විදයාඥවරියක ලෙස සුදුසුකම් ලැබූ පළමු කාන්තාවයි.

ඇගේ පෞද්ගලික විස්තර

මිනෙට් ද සිල්වා උපත ලබන්නේ මහනුවරදී. ඒ 1918 පෙබරවාරි පළමුවැනිදා.ඇගේ පියා උඩරට ප්‍රකට දේශපාලනඥයෙකු වූ ජෝර්ජ් ඊ ද සිල්වා. ඔහු ලංකා ජාතික කොංග්‍රසය කොංග්‍රසයේ සභාපති වූ අතර සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙසද කටයුතු කළා. ඇගේ මව ශ්‍රී ලංකාවේ සර්වජන චන්ද බලය වෙනුවෙන් ක්‍රියාකාරීව උද්ඝෝෂණය කළ කාන්තාවක්.අම්මා කලා සහ අත්කම් ව්‍යාපාරයට සම්බන්ධ නිසා මිනෙට් පසු කාලයේ ගෘහ නිර්මාණ ශිල්පයට නැඹුරුවීමට හේතු වුණු බව සඳහන් වෙනවා. ඇය පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දැරියයි. ඇගේ සියලු සහෝදර සහෝදරියන් විවිධ ක්ෂේත්‍රවලින් ඉහලටම ගිය පුද්ගලයන්.

අධ්‍යාපනය ලැබීම

මිනෙට් ද සිල්වා මහනුවර කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව කොළඹ බිෂොප් විද්‍යාලයට අධ්‍යාපනය පිණිස පැමිණියා. 1928 දී ඇගේ පවුල එංගලන්තයට සංක්‍රමණය වූ පසුව අනතුරුව ඇය එහි අධ්‍යාපනය ලැබුවා. නමුත් වසර දෙකකට පසුව ඔවුන්ට නැවත ලංකාවට පැමිණෙන්නට සිදුවූ අතර පවුලේ ආර්ථික දුෂ්කරතා සහ පියාගේ දේශපාලන ජීවිතයත් මවගේ අසනීප තත්ත්වයක් නිසා ඇයට විධිමත්ව අධ්‍යාපනය ලැබීමට නොහැකි වුණා. නමුත් ඇය කාන්තාවන්ට කිසිසේත් නොගැළපෙන බවට එකල හැඳින්වූ වාස්තු විද්‍යාව හදාරන්නට පටන් ගත්තා.ඉන්දියාවේදී සහ එංගලන්තයේදී තම අධ්‍යාපනය නිමාකරන මිනෙට්, ලෝ ප‍්‍රකට වාස්තු විද්‍යාඥ කබුසියර් :(Le Corbuiser) සමග කලක්  සේවය කළ අතර 1950 වර්ෂය ආසන්නයේ යළි දිවයිනට පැමිණ තම වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඇගේ වෘත්තිය ජීවිතය 

කබුසියර් සමඟ තිබූ ඇසුර සහ යුරෝපීය වාස්තු විද්‍යාවෙන් ලද  අත්දැකීම් ඇසුරෙන් ඇය වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නට පටන් ගත්තා. ඇගේ මහනුවර සංස්කෘතික හුරුව නිසා ඇගේ නිර්මාණවලට පාරම්පරික කලා හුරුව මුසු වන්නට වුණා. අලංකාර සාරි වලින් සැරසී හිසේ මල් ගසාගෙන කුඩයක් ද ඔසවාගෙන වැඩබිම් වල සිටින මිනෙට්ගේ ඡායාරූප එකල ප්‍රසිද්ධියට පත් වූවා. ඇය පිරිමින්ට සුදුසුයැයි සැලකුණු වෘත්තියක නිරත වීම නිසා විවිධ විවේචන වලට ලක්වූ බවද සඳහන් වෙනවා.

නමුත් ඇය උත්සාහය අත්හැරියේ නැහැ. 

ඇය තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, පියාගේ මිතුරෙකු වූ කරුණාරත්න නම් වූ නීතිඥවරයකුට මහනුවර ප‍්‍රදේශයේ නිවසක් නිර්මාණය කරමින්. එය අභියෝගයක් ලෙස භාරගන්නා ඇය බෑවුම් සහිත බිම් කඩක එම නිවස නිර්මාණය කරන්නේ පාරම්පරික සහ යුරෝපීය දැනුම එකට මිශ්‍ර කරමින්.ඇය නවීන ක්‍රම මොනතර තරම් අත්හදා බැලුවත් පාරම්පරික ක්‍රම ද ලංකාවේ සමාජීය ක්‍රම ද කිසිම අවස්ථාවක අත්හැරියේ නැහැ. ප‍්‍රථම වරට නිවසක අභ්‍යන්තරය සැරසීම සඳහා චිත‍්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් යොදාගත්තා. ඇය ජෝර්ජ් කීට් විසින් සිතුවම් කරන ලද ‘හංස ජාතකය’ නම් වූ සිතුවම ඒ සඳහා භාවිත කළා.

නුවර කලායතනය, කොළඹ ග්‍රෙගරි පාරේ නිර්මාණය කෙරුණු සේනානායක තට්ටු නිවාස සංකීර්ණය, වැනි පොදු නිර්මාණද ඇය අතින් නිර්මාණය වුණා.

1998 නොවැම්බර් 24 වැනි දින වයස අවුරුදු 80 ක් වූ මිනෙට් ද සිල්වා මහනුවර රෝහලේදී මිය ගියා.

නමුත් ඇය ඉතිහාසය මත රන් අකුරින් ඇගේ නම ලියාගෙන අවසන්.

Related Articles

Don't Miss


Latest Articles