Vintage Eyes – 06

“දැං මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ…”

එකතකින් සුදු පෝසිලේන් පීරිසි කෝප්පය ද අනිත් අතින් කඩදාසි අත් පිස්නාව ද අල්ලා ගෙන, ඒ හැඩ පිරිමි අකුරු මැද්දේ මා ගල් ගැසී ගෙන සිටියදී නූරි ගේ හඬ මා ළඟින් ම ඇසිණ. අත් දෙක ඉණේ ගසා ගෙන ඇය සිටි ඉරියව්ව මගේ මුවෙහි සිනහවක් අඳිනා ලදී.

“මුකුත් නෑ ඉතිං…එයා චොක්ලට් කේක් කෑල්ලක් කාල කොෆී එකක් බීල ගියානෙ”

මම සියල්ල විහිළුවකට ගැනීමේ උත්සාහයක් ගතිමි. නමුත් නූරි ගේ ඇස් වල වූයේ, ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නට හදනා දැරියක දැක අම්මා කෙනෙකු ගේ ඇස් වලට එන විදිහේ භීතියකි.  මවෙත නම් වූයේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නට ආශාවකි. පිච්චෙන බව දැන දැනත් පළඟැටියෝ ගිනි සෙල්ලම් වලට රිසි වෙති.

නූරි ගේ ඇස් මගේ අතේ වූ අත් පිස්නාව දෙසට යොමු වනු පෙනිණ. යොවුන් දියණියකගේ පෙම් හසුනක් නෙත ගැටෙන මවක සේ ඇය එය මගෙන් උදුරා ගන්නට සූදානම් වූ මොහොතේ මම එය රැක ගැනීම වෙනුවෙන් සටනක් කරන්නට ගියෙමි. ඒ අතර වාරයේ පීරිසිය මතින් ලිස්සා ගිය කෝප්පය බිඳී ගියේ ය. 

“මං කිව්වෙ…මටනං ඕකෙ සුබ ලකුණක් පේන්නෙම නෑ”

මගේ පපුවේ පිච්චීමක් විය. පෝසිලේන් කෝප්ප කැබලි දෙක පැත්තකින් තැබූ මම කවිය වටේට අත් පිස්නාව ඉරා දමා, කවිය සහිත කොටස අපේ පත්තර කොලාජ් බිත්තියෙහි ඇලවූයෙමි. ඒ එදා වින්ටේජ් ඇස් රැඳුණු ඉංග්‍රීසි වැකිය අසලිනි.

‘She’s an old soul..with young eyes…a vintage heart..and a beautiful mind…’

‘තාලයක් නැති වුණත් හද බිත්ති කැටපතේ..ඉඳහිටක ලියවෙනව කෙටි කවී…සුසුවඳක් දරා ගෙන ඉස්සරක පර වෙච්ච..මං තාම හොයනවා මල් පෙතී..’

ඒ පද දෙ පෙළ එක වර කියවත්දී පපුවට දැනුණා වූ දැවීමේ සංවේදනය තව තවත් වැඩි විය. හෙමිහිට හුස්ම ගනිමින් මම ඒ ගින්දරට සරු සාර ව වැඩෙන්නට අඩුම කුඩුම එක් කළෙමි.

කඩදාසි අත් පිස්නාවක ලියවුණු අකුරු පෙළක ආයු කාලය ගැන මට සිතා ගත නො හැකි වූයේ ය. එය ලැමිනේට් කොට ඒ ස්වභාවික බව විනාශ කර දමන්නට මට සිත් දුන්නේ ද නැත. 

ඔහු පරණ ප්‍රේමයක් මත්තේ ජීවත් වන්නෙක් ද යන පැනය හිතට දැනවූවා වූ සන්තාපය ගැන හෙවුම් බැලුම් කරන්නට මම බිඳුවක් හෝ උත්සාහ නො කළෙමි. එය රිදුමක් බව සැබෑ ය. ඇතැම් විට එය ඊර්ෂ්‍යාවක ද හැඩ තල ගත්තේ ය.  රිදුමක් අතරින් මා ප්‍රේමයෙන් හුස්ම ගනිමින් හිඳිනා බව මට හැඳින ගත හැකි විය. නමුත් ඒ ප්‍රේමයේ හතර මායිම් හොයන්නට මගේ ම ගැහැනු හිත බිය වූයේ ය.

මා ඒ පිරිමි කවිය මගේ ජංගම දුරකතනයෙන් කාච ගත කර ගත්තේ අත් පිස්නා කැබැල්ලේ පැවැත්ම ගැන විශ්වාසයක් නොවූ හින්දා ම ය. ඒ දැක නූරි ලොකු සුසුමක් හෙළුවා ය. නමුත් ඇය කිසිවක් නො අසා, නො කියා සිටියා ය. ඇතැම් විට, යමක් පවසා පලක් නොවනු ඇතැයි ඇය සිතන්නට ඇත. අමරසිංහ නමින් වාසගම පමණක් දන්නා ඔහු යළිත් වරක් විශ් යූ වෙත එන්නට හේතුවක් හොයා ගනු වස් මම හිත දිගේ දුර ගමනක් ගොස් අතරමං වීමි. සමන් පිච්ච මල් බඳුන් වල දවටන දමමින් උන් නිසා මට හිතත් එක්ක තනිපංගලමේ හුදෙකලා වීමේ ඉඩ කඩ ලැබුණ එක ඒ වෙලාවේ හැටියට භාග්‍යයකි. 

අම්මා හිටියේ තැවීමක ද දැවීමක ද කියා නිශ්චිත ව දැන ගන්නට මට ඕන නොවුණා ම නොවේ. දවාලේ තාත්තා ගේ දෙවන බිරිඳ ඇවිත් ගියාට පසු වුණත් මම අම්මා ගේ මුහුණේ වෙනසක් නො දුටිමි. 

අප රෑට කෑවේ පාන් ටෝස්ට් සමග එළවළු සුප් ය. මා යන විට අම්මා පාන් ගෙඩියක් ගෙන තිබිණ. දුකක් නැතත් ඇගේ හිතේ නො සන්සුන් බවක් වන බවට මට ඒ ඉඟියක් දුන්නේ ය. අම්මා බත් උයන්නට නො පෙළඹෙන්නේ හිත සන්සුන් නැති වූ විට ය.

“අපි එහෙනං සුප් එකක් හදමු”

මා එළවළු කපා කොටා සූදානම් කර ගත්දීත් අම්මා කුස්සියේ පුටුවට වී ඔහේ සිටියා ය.

“මට එයාගෙ ගෙවල් දොරවල් ඕන නෑ. ඒත් අඩු ගානෙ එයාගෙ දරුව වෙනුවෙන් එයා මේකවත් ඉතුරු කරයි කියල මං හිතුව”

හද තුළ යමක් වී නම් මගේ අම්මා එය පිටතට දැම්මේ එසේ ය. මම සිනහවක් නගා ගතිමි.

“අනේ අම්මෙ මටත් කාගෙවත් ගෙවල් නැති වුණාටනං කමක් නෑ. ඒ වුණාට එයාට මොනාත් ම නොකියා ඉන්න බෑ. ඒ දේ එයාට කියලම ඕනනං මේ ගේ දෙමු. දීල පොඩි කාමරයක් කුළියට අරං අම්මත් එක්ක ඒකට ගියත් මටනං ගාණක් නෑ. ඒත් මේක අම්මගෙ ගේ. අම්ම බැඳල ආපු ගේ. වෙන කොයි ගෑනිටත් වඩා මේක අයිති අම්මට. මං තාත්ත කියන කෙනාට මොනා හරි කියනවනං…කියන්න තියෙන්නෙ අන්න ඒක…”

සමහර ගැහැනු දුකට හඬති. සමහර ගැහැනු කෝප ගෙන කෑ කෝ ගසති. සමහර ගැහැනු ඒ දුක හද තුළ තියා ගෙන නිහඬව විඳවති. මගේ අම්මා එබඳු ගැහැනියකි.

අප කෑම කෑවේ මිදුලේ පඩිය මත හිඳ ය. රාත්‍රිය තද කළු පාට විය. ගණඳුරු අහසේ පුංචි පුංචි තාරකා විසිර තිබුණේ කළු කඩදාසියක ඉහිරුණ රත්තරං පාට කුඩු වාගේ ය. එක මත එකක් යයි සිතිය හැකි තාරකා යුග්මයක් වෙන් කර ගන්නට මම සැලකිය යුතු වෙලාවක් උත්සාහ කළෙමි. 

“තාත්ත නැති වුණ එක ගැන අම්ම තාම දුකෙන්ද…මං අහන්නෙ…කාලෙත් එක්කවත් ඒ දුක තුනී වෙලා ගියෙ නැද්ද අම්මෙ…අද ඒ ගෑනු කෙනාව දකිනකොට.. එයා එයාගෙ ඉල්ලීම් ඉල්ලගෙන එනකොට අම්මට දුක හිතුණෙ නැද්ද…නැත්තං කේන්ති ගියෙ නැද්ද…”

අම්මා සුප් බඳුන මුවට ලං කොට හැන්දෙන් සුප් උගුරක් බීවා ය. ඇගේ මුහුණ මත මිදුලේ ලා කහ විදුලි බුබුලේ මන්දාලෝකය තැවරී තිබිණ. ඒ ඇස් වල කිසිදු හැඟීමක් කියවා ගන්නට මට හැකි වූයේ නැත.

“අපිට දුකක් හරි කේන්තියක් හරි දැනෙන්නෙ අපේ අය වෙනුවෙන් පුතේ. අයිතිය කියන හැඟීම තියන තැනකයි ඒ කොයි දේත් තියෙන්න ඉඩ තියෙන්නෙ. තාත්ත හිතන්නෙ අපි ගැන නෙවෙයි එයා සතුටෙන් ඉන්නෙ අපි ළඟ නෙවෙයි කියන එක තේරුණාට පස්සෙ…මං එහෙමම ගල් වෙන්න ඇති. ඒත් එක කාලෙක මං එයාට ආදරේ කළා කියන මතකය තුනීවට තාමත් හිතේ තියෙනව..අනිත් අතට ආදරේ කියන්නෙ බලෙන් ගැට ගහල තමන් ළඟ තියාගන්න එකට නෙවෙයි කියල අපි එක වයසකදි තේරුං ගන්නව”

“අම්ම කියන්නෙ අපි මේ ගේ දීලදාන්න ඕන කියලද…”

“තාත්තගෙන් මේක විතරක් හරි ඔයාට ලැබෙනවනං මං කැමැත්තෙන් හිටිය. දායාද ඉල්ලං එන්න කියල ඔයාව එයාගෙ පස්සෙන් යවන්න මට බෑ”

එය අලුත් වේදනාවකි. මා වූ කලී ආදරයේ දිග පලල කිසි සේත් නො දන්නා ගෑනු ළමයෙකි. අම්මා දරා ගෙන හිඳිනා ආදරයේ බර සේ ම නූරි මා රැක ගන්නට හදන ආදරයේ ගින්දර එක ම දෙයක් ද කියා මට සිතා ගත නො හැකි ය.

“අපි මේක අතෑරල දාමු පුතේ”

නිදන්නට එදා මා අම්මා ගේ යහනට ගියේ ඇයි කියා නො දනිමි. මටත් දුකක් දැනෙමින් තිබිණ. තනිකමක් ගැන හැඟීමක් දැනෙමින් තිබිණ. දෙතුන් වරක් ම මම ජංගම දුරකතනයේ පින්තූර ගැලරියට ගොස් ඒ පිරිමි අකුරු අතරේ වල්මත් වුණෙමි. මට ලෙමන් සුවඳ දැනුණේ ය. වින්ටේජමය දෑසක ශෝකය මා වෙලා ගත්තේ ය.

“හ්ම්. එහෙනං තාත්ත ආවොත් අම්ම කියන්න. අපි ගේ දෙනව කියල”

උදේ මා පිබිදියේ අලුත් ආත්මයක් ලෙසට ය. සමන් පිච්ච මල් පැළ ඇනවුම හා විවාහ ගිවිස ගැනීමේ කේක් එක ගෙන යන්නට උදෙන් ම පැමිණියෙන් හිතේ තිබූ ලොකු බරක් නිදහස් විය. ගේ ගැන අම්මා සමග පැමිණි අවසාන තීරණය ගැන මම නූරි එක්ක කීවෙමි.

“පිස්සුද…”

ඇය මගේ ඇඟට කඩන් පැන්නා ය. 

“මං දන්නව අපේ අයිතිය මේක කියල. ඒත් අම්මගෙ හිත පාරන්න මට බයයි. එයා හිතේ තියෙන දෙයක් එළියට දාන කෙනෙක් නෙවෙයි. ඊයෙ අම්ම එක්ක කතා කරද්දි මට තේරුණ එකම දේ තමයි එයා තාමත් තාත්තට ආදරෙයි කියන එක…”

“ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් දැං ඒ ආදරේ කිසි ප්‍රායෝගික වටිනාකමක් නෑනෙ. අනික අම්මට කොහොම වුණත් ඒ ගේ ඔයාට ඕනෙ. ඕගොල්ලංව එච්චරම අනාථ කරන්න තාත්තට පුළුවන් වෙන්න ඕනද…”

“මන්දා නූරි…මට මේව තේරෙන්නෑ. මං කවදාවත් බඳින එකක් නෑ කියල විතරයි මං දන්නෙ”

“එතකොට අර ලෙමන් අමරසිංහ…”

මගේ මුව මත ලස්සන සිනහවක් පිපෙන්නට ඇත. ඒ හා සමාන්තර ව නූරි ගේ මුහුණ ද සිනහවකට විකසිත විය. 

“ආව් මේකිගෙ හිනාව. මටනං හිතෙන්නෙම ඒක මහ ගිනි ගොඩක් කියල. ගින්දරට පිච්චෙනවද කියල අපි කවදාවත් අත පුච්චගෙන බලන්නෑ හරිද…”

ආයේ ඔහු ඒවී කියන බලාපොරොත්තුව හිතේ කොනක පුංචි බිම් මලක් වාගේ පිපී තිබිණ. නමුත් මා ඒ බලාපොරොත්තුවට එහෙම ම තිබෙන්නට හැරියා විතර ය. ඒ බලාපොරොත්තුව මාව සතුටෙන් හා ප්‍රබෝධයෙන් තැබූ බව කිව යුතු ය. 

ලෙමන් සුවඳ හාදයා ඉන් පසු දින ගණනාවක මතකයට පමණක් සීමා වී තිබිණ. මා ඇතැම් අහඹු නිමේෂයක ඇස් හරවා බැලුවේ ම ඔහු ව දකිනා බලාපොරොත්තුවෙන් වී ද ඔහු ආවේ නැත. ඔහු ආවේ නැති බවට මතකයත් මගේ දෙතොල් මත්තට ගෙනාවේ සිනහවක් ම ය. හැම උදයක ම පෙත් මගෙහි වැටකින් අලුත් මලක් කඩා ගනිත්දීත් විවිධ හැඩැති බඳුන් මත ඒ මල් වලින් සැරසිලි කරත්දීත් ඔහු හිතේ හිටියේ ය. ඔහු ඒවා ට එබී බලනවාට ආශාවක් හිතේ වූයේ ය. ඔහු එතැයි බලාපොරොත්තුවක් හිතේ වූයේ ය. නමුත් ඔහු ආවේ නැත.

මම බොරුවට ඒ වින්ටේජමය නිවස පැත්තේ ගියෙමි. මොනවා හෝ ගෙන එනු වස් හෝමාගම හෝ මහරගම හෝ කොට්ටාවේ යන්නට පැන ගෙන කැමති වීමි. එතකොට ඒ ගේ ඉදිරියෙන්වත් යා හැකි නිසා ය. එදා පළ වෙනි දවසේ වාගේ මම එතැන නො නැවතුණෙමි. නමුත් බයිසිකලයේ වේගය අඩු කොට ඒ පැත්ත බලමින් ගියෙමි. එතකොට මොකක්දෝ වචන කළ නො හැකි හැඟීමක් දවස තිස්සේ ම පපුවේ ඉතිරි වී තිබිණ. ලේ වලට කැළතී තිබිණ. ලෙමන් සුවඳ පෙනහලු වල නතර වී තිබිණ. දවස තිස්සේ ම මම ඒ අකුරු අතරේ අතරමං වුණෙමි. ඒ අතරමං වීමට රිසි ද වීමි. මට මා සොයා ගන්නට ඕනෑ වූයේ නැත.

ඔහු වගේ ම තාත්තා  ආවේ ද නැත!

කොයි මොහොතක හෝ එතැයි බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නාවාට පස්සේ, ඒ බලාපොරොත්තුව අත් හැර දමා ඇති වෙලාවක අනපේක්ෂිත සුළඟක් සේ ආවොත්….ඔබ ඒ අත්දැකීමට මුහුණ දී තිබෙන්නෙහි ද? මම ඊට මුහුණ දී ඒ ගැස්ම හොඳට ම විඳ ගතිමි.

“සිඟමන් යදින්නට ආදරේ

පොහොසත් වැඩියි නුඹෙ මන්දිරේ

බිම බලා ගන්නෙමි ජීවිතේ 

ඉරණම මෙයයි සංසාරයේ…”

ගැඹුරු ශෝකී හඬක් ඇති පැරණි ගායකයෙකු ගේ හඬින් අලුතෙන් ම ඇහෙන්නට ගත් ඒ ගීය මුමුණමින් මම විශ් යූ ඉදිරියේ වන මල් පෝච්චි වලට වෝටර් කෑන් එකෙන් වතුර දමමින් සිටියෙමි. මා ළඟ ම පතිත වූ සෙවනැල්ලක් නිසා හැරී බලත්දී මට දකිත හැකි වූයේ දෑත් කලිසම් සාක්කු වල රුවා ගත් ඔහු ය. මට මඳ කරකැවිල්ල ගතියක් දැනුණා සේ ය. මම තවත් හිස හරවා බැලුවෙමි. ඔස්ටින් රිය නොව නැවතී තිබුණේ කළු පාට මොරිස් මයිනර් රිය ය. මට එය නැවතෙන හඬක් ඇසුණේ නැත. ඇහුණත් මගේ අවධානය යොමු නොවෙන්නට ඇත. මේ හන්දියේ හැම තත්පරයක ම ඇහෙන්නේ වාහන ශබ්ධ ය. ඒවා කං කරච්චලයකි. ඊටත් වඩා එතැයි බලාපොරොත්තු අත් හැර දමා සිටි මොහොතක මා ඔහු වෙනුවෙන් මග බලන්නට විදිහක් නැත.

“මං දැක්කෙම නෑ”

මම ඇට්ටේරියා මලක සිනහවක් පුබුදුවා ගතිමි. ‘සර්’ කියන ඇමතුම ලොප් වී ගියේ හිතා මතාම ද කියා ඔබ නො අසා සිටිනු මැනව! මම මොහොතකට ඒ දෑස් කවුළු වලින් එබුණෙමි. දුරක් යන්නට හිතේවියි බියෙන් ආයේ ම මේ පැත්තට පැන්නෙමි. තුනී ලෙමන් සුවඳ එදත් මට ඔහු ළඟ දැනිණ. අඩු තරමින් මගේ සිනහවටවත් පිළිතුරු සිනහවක් ඔහු අස නොවී ය.

මා වෝටර් කෑන් එක තබා එත්දී ඔහු සිටියේ කොලාජ් බිත්තිය අසල ය. ඔහු ගේ අකුරෙන් කුරුටු ගෑවුණු කවිය කඳුලක් හෙළුවා ද මන්දස්මිතයක් පෑවා ද කියා කිව නො හැකි ය.

ඒ වෙලාවේ නූරි ගෙදරට ගොස් සිටීම මත සියල්ලෙහි පාලනය තිබුණේ මගේ අතේ ය. මම ඉක්මනට සුදු තසිමකට නූරි අද උදේ සෑදූ පයිනැපල් අප් සයිඩ් ඩවුන් කේක් එකෙන් කැබැල්ලක් කපා තැබුවෙමි. වතුර වීදුරුවක් ද ගෑරුප්පුවක් ද සමගින් එය මිදුලේ කුඩා මේසය මත තැබුවෙමි. මගේ ඇස් වල දඟකාර කලබලයක් ඔහු දකින්නට ඇත. 

“මං පයිනැපල් ජූස් එකක් හදන්නං”

සියල්ල තීරණය කළේ මා ය. ඔහු මේසය ළඟ හිඳ ගෙන රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක පිටු පෙරළුවේ ය. 

“ඇයි ඒ සින්දුවට කැමති..”

මා පයිනැපල් ජූස් එක ගෙන ගිය විට ඔහු ඍජුව මගේ ඇස් දෙක දෙස බලා ගෙන ප්‍රශ්න කළේ ය. දෙවියනි ඒ ඇස් බැල්ම!

ඔහු ළඟ අනිත් පුටුවේ මා හිඳවිණ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles