“විෂ සහිත වීම” එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් “ටොක්සික් වීම” සම්බන්ධතාවයක් සහමුලින්ම විනාශ කර දමන්නට සමත් වෙන දෙයක්. ඇත්තටම බොහොමයක් සම්බන්ධතා බිඳ වැටෙන හේතුවත් ටොක්සික් වීම. අපි සහකරුගේ විෂ සහිත බව ගැන දිගටම කතා කරලා තියනවා.
ඒත් පොල් පරාලය තියෙන්නේ ඔබේ ඇහේ නම්!
ගැටළුවක් තියනවා නේද?
ඔබ සබඳතා ඇතුළේ ටොක්සික් වෙනවානම් එය හඳුනා ගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු.
විවෘතව කතා නොකිරීම
NY Wellness හි බලපත්‍රලාභී මානසික සෞඛ්‍ය උපදේශක ස්ටීව් ඇලෙක්සැන්ඩර් පවසන අන්දමට මෙය විෂ සහිත වීමට ප්‍රධානම හේතුවක්. ඔබ සහකරුට ඔබට අවශ්‍ය දේ කෙලින්ම නොපවසා ඉන්පසු රණ්ඩු ඇති කරගන්නවා නම් ඔබ ඇත්තටම ටොක්සික් කෙනෙක්. විවෘත සන්නිවේදනය ආදරයකට පමණක් නෙවෙයි හැම මනුෂ්‍ය සම්බන්ධතාවයකටම හරිම වැදගත් දෙයක්.
සෘණාත්මක සිතුවිලි වල එල්බ ගැනීම
ඔබ නිතරම සෘණාත්මක සිතුවිලිවල ඉන්නවානම් එය ඔබේ සහකරුටත් විශාල බලපෑමක් ඇති කරනවා. විෂ සහිත සම්බන්ධතාවයකදී, ආදරය සහ ප්‍රශංසනීය හැඟීම් නැත්තටම නැති වී ගොස් අමනාපය, ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඉස්මතු වෙනවා . “මම මගේ සහකරු ප්‍රශංසාවලින් ගොඩනඟනවාද නැත්නම් අපහාසවලින් ඔහුව නැති ජර දමනවාද?’ කියලා ඔබෙන්ම අසන්න. ඊටපස්සේ තීරණයක් ගන්න.
අවශ්‍ය දේවල් ගැන නොපැවසීම
ඔබේ සහකරු සාමාන්‍ය තරුණයෙකු බව හිතන්න. ඔහුට හිත් කියවීමේ හැකියාවක් නෑ. ඔබේ සහකරු ඇසීමෙන් තොරව ඔබට අවශ්‍ය දේ දැනගත යුතු යැයි ඔබට හැඟුණු අවස්ථා ඔබට තිබේද?
එවැනි මොහොතක ඔබ විෂ සහිත වෙමින් සිටින බව තේරුම් ගන්න.සහකරුට ‘අපගේ මනස කියවිය හැකි’ හෝ අපට අවශ්‍ය දේ ‘දැනිය යුතු’ යැයි උපකල්පනය කිරීම සම්බන්ධතාවයට අනවශ්‍ය පීඩනයක් ඇති කරන බව තේරුම් ගන්න.
ඔබ පාලනය කරන සුළු ද?
පාලනය ඇති කරගන්නට සිතීම සම්බන්ධයක් තුළ සාමාන්‍ය දෙයක්.නමුත් ඔබ ඒ හැඟීම පාලනය කර ගන්නේ නැතිව ඉන්නවානම් ඒ ඔබේ විෂ සහිත බව මිසක අන් කිසිවක් නෙවෙයි. ඔහු කරන දේවල්, කන බොන ආකාරය, යන ගමන් බිමන් පාලනය කරන්නට ඔබට අයිතියක් නැති බව තේරුම් ගන්න.
ඔබට ඔබ ගැන අවබෝධයක් නැති වීම
ඔබේ ආකල්ප, විශ්වාසයන් සහ හැසිරීම් ඔබේ සහකරුට බලපාන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට ඇති අකමැත්ත මෙලෙස හඳුන්වනවා. ඔබ කරන දේවල්, ඔබ ඔහු සමඟ හැසිරෙන ආකාරය ඔහුට පීඩාවක් ගෙන එනවාද යන්න ඉඳහිටවත් හිතන්න. දැඩි ආත්මාර්ථකාමී වීම සම්බන්ධතාවයක් තුළට විෂ එකතු කරනවා.
ස්මාර්ට් වීම කියන්නේ සෑම විටම නිවැරදි වීම පමණක් නෙවෙයි. අපේ වැරදි අවබෝධ කරගැනීමත් මීට අයිතියි. ඔබ විෂ සහිත බව මේ ලිපිය කියවද්දී ඔබට වැටහුණා ද?
එහෙමනම් ඉන් මිදෙන්නේ කොහොමද කියලා අපි වෙන දවසක කතා කරමු