මඟ හැරුණු අම්මා

“එහා ගෙදර සේපාලි කරලා තියන කැත වැඩක් දන්නවද? ආයේ නම් මම මූණක්වත් බලන් නෑ.”

දීපානි අක්කා ගෙට ගොඩ වුණේ මෙහෙම කියාගෙන. කොහොමත් ඕපාදූප සහ කතන්දර  අපි දැනගන්නේ දීපානි අක්කගෙන්. අනුන්ගේ දේවල් හොයන්නේ නෑ කියලා හිටියට දිපානි අක්කා අරන් එන කතන්දර අපි අහන්නේ නැතුව ඉන්නෙත් නැහැ.

“සේපාලිලට ඉගෙන ගෙන ඉහලට යනකොට මනුස්සකම් නැති වුණා. අනේ මම නම් කියන්නේ නංගි ගෙදරට ගල් ගහන්න ඕනේ මේ වගේ වැඩ වලට.”

කතාවේ මැද ඉඳගෙන කියවගෙන යන දීපානි අක්කත් එක්ක මට කේන්තියකුත් ඇති වුණා. ඕපාදූපයක් වුණත් ගාණට කිරලා මැනලා කියන්න ඕනෑ.නැතුව හරියන්නේ නෑනෙ.

“සේපාලි සලකන් නෑ කියලා විමලා නැන්දා පොලිසි ගිහින්. මේ ගෑනි කියලනෙ විමලා නැන්දව බලා ගන්න බෑ. වැඩිහිටි නිවාසෙක නවත්තන්නම් කියලා. යස වැඩේ. පොලිස් මහත්තුරු හොඳටම බැනලා.”

ඔන්න ඒ ගමන ඕපාදූපය එළියට ආවා. 

“විමලා හිටියේ සාගර ළඟනෙ?”

අම්මානම් අහන්නේ ඕනෑවට එපාවට. සාගර අයියගේ නෝනා විමලා නැන්දට අකමැති බව දීපානි අක්කා කිව්වේ තරහින්. ලේලි පිටමං කරපු අම්මා දුව ළඟට ආවාම දුවත් අම්මාට දොර වහලා. මේක මහ නරක සමාජයක් කියලා දීපානි අක්කානම් කියන්නේ විස්සෝපෙන්.

“නරක සමාජෙ අද නෙවෙයි. ඒ කාලෙත් තිබුණා.”

අම්මා බොහොම නිස්කලංක හඬකින් කිව්වා. අම්මා කියන කතාව මට මතකයි. ඇත්තටම ඒක අමතක කරන්නත් බැරි අමතක වෙන්නෙත් නැති කතාවක්.

“දෙමව්පියෝ බුදු වෙන්න ඕනෑ කියලා කතාවට කිව්වට හැම අම්මෙක් තාත්තෙක්ම බුදු වෙනවා කියලා එකක් නෑ දීපා. සේපාලිටයි සාගරටයි විමලා එපානම් ඒකට හේතු තියනවා. අනික මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා. සමහර කතාවල අගමුල අමතක වෙන්නේ ඔයාලා ඒ කාලේ පුංචි හින්දා. ඒත් මට හැම දෙයක්ම මතකයි.”

අම්මා එහෙම කිව්වත් අම්මා කියපු දේ නෑහුණු ගාණට දෙස් තියන්න දීපානි අක්කා අමතක කරේ නැහැ. සුගතපාල මාමා නැති වුණු දවසේ ඉඳලා සාගර අයියයි සේපාලි අක්කයි බලාගත්තේ විමලා නැන්දා. ඉතින් තව මොනවද? දීපානි අක්කා එහෙම කියව කියවා ඉඳලා යන්න ගියා. ඔය කතාව තව ගෙවල් කීයකට අරන් යයිද හිතා ගන්න බැරුව මං අම්මා දිහා බලන් හිටියා.

“විමලගෙයි අල්පොන්සොගෙයි සම්බන්දෙ අතටම අහු වුණු දවසෙ තමයි සුගතෙ මල්ලි බෙල්ල වැල දාගත්තේ.”

ඉස්සරනම් මේ වගේ කතා වලට අම්මා කිව්වේ ලොකු මිනිස්සුන්ගෙ කතා කියලා. මේ කතා ඇහෙන පෙනෙන මානෙකවත් ඉන්න අපට ඉඩ දුන්නේ නෑ. එහෙත් දැන් මමත් දරුවෙකුගෙ අම්මෙක් වෙච්ච කොට මේවා කතා කරන්න පුළුවන් මාතෘකා කියලා අම්මා දන්නවා.

“අපරාදේ සුගත මාමට ඉවසන්න තිබුණා.”

අනියම් සම්බන්ධතා සහ පවුල් ජීවිත ඇතුලේ කතන්දර ගැන අපට විනිශ්චය දෙන්න බැහැ. ඒත් එදා සුගතපාල මාමට එහෙම නොකර ගන්න තිබුන කියලා මට තවම හිතෙනවා.

“ඔව්. ඒ ජෝඩුව අතරෙ වෙච්ච කයි කතන්දර දන්නේ ඒ ජෝඩුවනෙ.තාත්තා දිවි නහ ගත්තේ අම්මගෙ තියන අසෝබනකම හින්දා කියලා ඔය ළමයි දෙන්නා අමතක කරාමයි කියමු. ඒ වුණාට..”

අම්මා එහෙම කියලා දිග හුස්මක් හෙලුවා.

“අල්පොන්සො වගේ වලත්ත මිනිහෙක් මලක් වගේ ගෑනු දැරිවියක් ඉන්න ගෙයක් අස්සේ දාගත්තාට විමලට ඔහොම වෙන්න ඕනෑ. එදා අපි නොහිටියනම්.”

අම්මා එහෙම කියලා ගවුම් කරින් කඳුලක් පිහදා ගත්තා. මට සිදුවීම මතකයි. මම එතකොට අවුරුදු දොලහක ළමයෙක් වුණත් මට කතාව හොඳට මතකයි.

“අනේ රූපා නැන්දේ.”

සේපාලි අක්කා දවසක් මහ දවල්  අපේ ගෙදරට කඩා පාත් වුණේ ඉකි ගහ ගහ අඬන ගමන්.අම්මගෙ කකුල් දෙක ළඟ වැටිලා අම්මව බදාගෙන සේපාලි අක්කා විලාප තියන අඬන්න පටන් ගත්තා. එදා එයා ඉකි ගහ ගහ කියපු කිසිම දෙයක් මට තේරුණේ නෑ.

“ඒ කාලකන්නියා කෙල්ලව විනාස කරනකොට කෙල්ලට අවුරුදු පහලොවයි. මට සේපාලි විලාප තියනකොට එතන ඉන්නේ ඔයා කියලා හිතුණේ.සාගර අල්පොන්සෝ කාරයට කොටන්න යනකොට ඒක නවත්තන්නවත් මටනම් හිතක් තිබුණේ නෑ.ඒත් තාත්තට අපිට වඩා මොළයක් තියනවනෙ.ඉස්කෝලෙ මහත්තයනෙ.”

අවුරුදු විස්සකටත් එහා අතීත කතාවක් වෙනුවෙන් අම්මාගෙ ඇස්වලින් තාමත් කඳුළු උනනවා.

සේපාලි අක්කා දූෂණය වුණු බව හංගන්නත් අල්පොන්සෝ බේරා ගන්නත් විමලා නැන්දා දරපු නිර්ලජ්ජිත උත්සාහය ගැන අම්මා තවමත් කතා කරන්න කේන්තියෙන්.

“වෙලාවට කෙල්ලට දරුවෙක් ලැබුණේ නෑ”

අම්මට තාමත් ඒ ගැන තියෙන්නෙ සැනසීමක්. තාත්තාගේ සහ පාසලේ විදුහල්පතිනියගේ මාර්ගයෙන් සේපාලි අක්කා ආරක්ෂිත කන්‍යාරාමයක නැවතුණා. ඇය ඉන් පිට වුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බව මට මතකයි.

“සරුයි රූපා නැන්දයි නැත්නම් මම එදා..”

සේපාලි අක්කා ඒ මොහොතෙත් ඉකි ගහලා ඇඬුවා. එදා මිනීමරුවෙක් නොවී බේරුණු සාගර අයියා අද හොඳ ව්‍යාපාරිකයෙක්. සේපාලි අක්කා කසාද බැඳලා ඉන්න සුනෙත් අයියා අල්පොන්සෝ ගැන හැමදෙයක්ම දන්නවා ඇති. ඒත් සුනෙත් අයියා වගේ උගත් වැදගත් කෙනෙකුට ඒ වගේ දෙයක් තේරුම් ගන්න අපහසු නෑ. සේපාලි අක්කා අද ජීවත් වෙන සන්තෝසදායක ලෝකෙට විමලා නැන්දා මොකටද කියලා මට ආයෙම හිතුණා.

“අම්මා තාත්තා වුණත් සමාව දෙන්න බැරි මට්ටමේ වැරදි කරානම් ආයේ හුරතල් කරලා තේරුමක් නෑ. අල්පොන්සො ගැන තුවාලේ පාරා ගන් නැතුව විමලාව වැඩිහිටි නිවාසෙකට දාන්න ළමයි තීරණය කළ එක හොඳයි.”

අම්මා එහෙම කියාගෙන නැගිට්ටේ මගේ චූටි දූ අවදි වෙලා අඬන්න ගත්තු නිසා.

අම්මා කෙනෙක් වීම සහ මව්වත්කම කියන්නේ කතන්දර දෙකකට. මට එහෙම හිතුණා.

More Stories

Don't Miss


Latest Articles