කෙට්ටු බව සඟවන රෙදි මෝස්තර

බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් අපි අතරින් සමහරක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ශරීරය කැපීපෙනෙන අයුරින් සිහින් වීම. 

ශරීරයේ අනවශ්‍ය සිහින් බව නිසා ඔවුන් පෞරුෂත්වය සම්බන්ධ ගැටළු වලට වගේම මානසික පීඩනයටත් ලක්වෙනව.

සමහරවිට ඔබත් මේ ගැටළුවෙන් පීඩා විඳිමින් ඇති. 

පෝෂණවේදීන්ගෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස් වගේම ඔබේ ශරීරයට ගැළපෙන අයුරින් තෝරාගන්නා විලාසිතා වලටත් ඔබේ සැඟවුනු පෞරුෂත්වය හා මානසික සහනය නැවත ලබාදීමට පුළුවන්. 

ඒ විලාසිතා අතරින් ශරීරයේ අනවශ්‍ය සිහින් බව සඟවන්න ඔබට උදව් වෙන රෙදි මෝස්තර ගැන ඔබ එක්ක කතා කරන්නයි අපේ අද සූදානම. 

රෙදි වල පාට 

තද පාට රෙදි වලින් ඔබේ සිරුරේ සිහින් බව වඩා ඉස්මතු වී පෙනෙනවා.

ඒ නිසා හැකි තරම් සුදු පැහැයට හුරු සහ ළා පැහැති වර්ණ වල රෙදි තෝරා ගැනීමට ඔබ සැළකිලිමත් විය යුතුයි. 

රෙදි මෝස්තර

ඉරි සහිත රෙදි මෝස්තර

හරහට ඉරි සහිත රෙදි මෝස්තර මඟින් සිරුර වඩා පළල් කර පෙන්වනවා.

හරස් අතට සමීපව පිහිටන වක්‍රාකාර හෝ ඇදේට ඇති ඉරි මෝස්තරත් කඩින් කඩ කැඩුනු කෙටි, මහත ඉරි මෝස්තරත් ඔබේ සිරුර පිරිපුන් කර පෙන්වනවා.

කොටු සහිත රෙදි මෝස්තර

කොටු සහිත රෙදි වලින් මැසූ ඇඳුම් ඔබේ සිරුරේ සිහින් බව සඟවන්න හොඳ උපක්‍රමයක්. 

විශේෂයෙන්ම, සුදු හා කලු කොටු සහිත රෙදි වලින් මැසූ ඇඳුම් නම් වඩාත් සුදුසුයි.

දිගැටි කොටු මෝස්තර (කිරිබත් හැඩැති) තෝරාගන්නවා නම් ඒවා හරස් අතට පිහිටීමෙන් ඔබේ සිරුර පළල් කර පෙන්වීමට උපකාරී වෙනව.

බෝල හෝ තිත් සහිත රෙදි මෝස්තර

ඔබේ රෙදි වල ලොකු තිත් හෝ බෝල මෝස්තර තිබීමෙන් ඔබේ පිරිපුන් පෙනුම ඉස්මතු කර පෙන්වනවා.  

බෝල හෝ තිත් වල ප්‍රමාණය විශාල වෙනවාත් සමඟම ඒවාගෙන් සිරුර පළල් කර පෙන්වීමේ හැකියාවත් වැඩිවෙනවා. 

අනෙකුත් මෝස්තර

ඔබ මල් මෝස්තර හෝ වෙනත් මෝස්තර ඇති රෙදි තෝරාගන්නවා නම් එම මෝස්තර ප්‍රමාණයෙන් විශාල වීම ඔබේ සිරුරේ සිහින් බව සැඟවීමට උපකාර කරනව. 

එනිසා කුඩා මෝස්තර වලට වඩා හැකි තරම් විශාල මෝස්තර සහිත දීප්තිමත් වර්ණවල රෙදි තෝරා ගැනීමට අපි ඔබට යෝජනා කරනව. 

මෙවැනි මෝස්තර වල රෙදි වලින් ඔබේ ඇඳුම් තෝරාගැනීමෙන් ඔබටත් පිරිපුන් පෙනුමක් ලබාගෙන සිරුරේ සිහින් බව සඟවා ගැනීමේ හැකියාව ලැබෙනවා.

වැඩි දෙනෙක් අතර කතාබහට ලක් නොවෙන තවත් මෙවැනිම වැදගත් මාතෘකාවකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles