දරුවෙකු බිහි කළ අලුත ස්ත්‍රියක සැලකිය යුතු තරම් කායික මානසික විචල්‍යතා පෙළකට ගොදුරු වේ. ඒවා, හෝමනමය වෙනස්කම් වල සිට සංකීර්ණ මනෝ භාවයන් දක්වා විහිද යන්නේ ය. ඉන් සාර්ථක ලෙස ගොඩ ඒමට නම් පවුලේ අයගේ හා සමීප ව අසුරු කරන්නන් ගේ වටහා ගැනීම ද සහයෝගය ද අත්‍යවශ්‍ය වන්නේ ය.
එහෙව් තත්වයක් යටතේ, දරුවෙකු බිහි කොට මාස තුනක් වන විට ස්වාමියා නිවෙස හැර වෙනත් ස්ත්‍රියක් වෙත නිෂ්ක්‍රමණය කිරීමේ අත්දැකීමට මුහුණ දීම කියන්නේ වඩාත් භයානක තත්වයකි. ආරාධනා දරුණු ලෙස ඒ මානසික ප්‍රහාරයන් ට ගොදුරු වූවා ය. නින්ද ඇගෙන් පලා ගියේ ය. ඇතැම් විට රැයෙහි වරින් වර පිබිදුණා ය. ඉන් පසු නින්ද ගියේ නැත. එතකොට ක්ලමථය, විශාධය තව තවත් උග්‍ර වේ. නමුත් මේ සියල් තත්වයන් ගැන, දැන උගත් ඇයට අවබෝධයක් විය. ඒ නිසා ම මානසික වශයෙන් ප්‍රහාරයට ලක් වීමෙන් වැළකී සිටිත යුතු බව නිතර ඇය සිතුවා ය. නමුත් ඇතැම් වෙලාවට සිතිවිලි රළ ඇය පෙරළා ගෙන පෙරට ආවේ ය. එහෙම වෙලාවක යටත් වී ඕ හඬා වැටුණා ය. ඒ හැඬීම වූයේ තට්ට තනිව ම කිසිවෙකු ට නො පෙනී ය. ගෙදර අය හෝ කාවින්දි හෝ තාරා හෝ සමග කතා කරත්දී ඒ දෙතොල් සැරසී තිබුණේ සිත්තරෙකු ඉසිහින් රේඛාවකින් සලකුණු කරනා මාදිලියේ මඳහස් රැල්ලකිනි. ඇස් වල රන්දා ගෙන සිටියේ අධිෂ්ඨානයේ දැඩි බැල්මකි.
“මං ආදරේ කරපු කෙනා මට ආදරේ කළෙත් නෑ. ඒ ආදරේ දරා ගන්න බැරි තරං කාලයක් මං හිතෙං උස්සගෙන හිටිය විතරයි. ඊළඟට මං බැන්ද කෙනත් මට ආදරේ කළේ නෑ. එයාට ආදරේ කරන්න මං උත්සාහ කරල තිබුණ විතරයි”
මෙකී සිතිවිල්ල ආරාධනා ගේ හදවතේ තේමාව බවට පත් වී, නිතර ඇය සිතින් මුමුණන්නට වූවා ය. ආදරය කියනා කාරණය කිසි දා ඇයට සාධාරණයක් නො කළ බව ආරාධනා පැහැදිලි කර ගනිමින් හිඳිනුයේ දැන් ය.
“කාගෙවත් නෙවෙයි ඒක මගේ වැරැද්දක්. මට ආදරේ කරන්න කාටවත් හිතෙන්නෙ නැතුව ඇති”
එහෙම සිතමින් ඇය සිනහවක් නගා ගත්තා ය. හිත තද කොට ගත්තා ය. හිතිවිලි දැඩි කොට ගත්තා ය. පිටතින් සාමකාමී වූ ආත්මයක් තුළ කුණාටු අඩු නොවී ය. අභ්‍යන්තර සාමය කරා හෙමිහිට වුව පිය නැගිය යුතු බව ද ඇය දැන සිටියා ය. සියල්ල සිදු වූයේ අවබෝධයත් හැඟීමුත් අතරේ ය.
වෙනදාට වඩා ඇය පරිස්සම් වූවෘ ය. දරුවන් ගැන විශේෂයෙනි. ඔවුන් ට මදුරුවෙකු වසාවී කියා පවා සැලකිලිමත් වූවා ය. බිය වූවා ය. නිතර ම තේරුම් ගත නො හැකි ගැස්මක හෝ කලබලයක සිටියා ය. තමන්ටත් දරු දෙදෙනාටත් කිසිවෙකු නැත යන සිතිවිල්ල හිස ඔසවන්නට නොදී පාගා ගෙන සිටිය ද, නිතර ඇය බියපත් කළ අවංක සිතිවිල්ල එයයි. සැබවින් ඇය ආදරය පතමින් සිටියා ය. තමන් ගේ හැම කෙනෙකු ම එක බින්දුව ගානේ හෝ තමන් වෙනුවෙන් ආදරය වෙන් කොට දෙතැයි රහසිගත අපේක්ෂාවක සිටියා ය. මේ වගේ සංකීර්ණ මනෝභාවයන් තමන් තුළ ක්‍රියාත්මක වන බවක් ඇතැම් විට ආරාධනා වුව දැන සිටියේ නැත. නමුත් තමන් රළ නගන වෙරළ සේ කැළඹිලි සහගත බව නම් ඇය දැන සිටියා ය.
පාසල් නිම වී බිඟුනි ගෙදර එන තුරු ආරාධනා තුළ වූයේ නො ඉවසිල්ලකි. විනාඩියක් දෙකක් සාමාන්‍ය වෙලාව පසු වූවත් ඇය සඳයුරු ද කරපින්නා ගෙන ගේට්ටුවත් බරාඳයත් අතරේ නො සන්සුන් සක්මනක යෙදෙයි. දැරිය උදේට ගේට්ටුවෙන් ඇතුළට දැමූ බව ද කවීශ්වර ඇයට දුරකතන ඇමතුමක් දී කිව යුතු වූයේ ය. දවසේ ඉතිරි හෝරා කිහිපය ඇය සැනසිල්ලේ වැඩක් බලා ගන්නේ ඉනික්බිති ය.
මේ කියන දවසේ ද මඳ පමාවක් ඇයට දැනිණ. එදා කාශ්‍යප පාසල නිම වන වෙලාවේ දී ගේට්ටුව ළඟට පැමිණ සිටියේ ය. ඒ බිඟුනි බලන්නට ය.
“අපි පීසා එකක් කමුද…ම්…”
කාශ්‍යප බිඟුනි ගෙන් ඇසූයේ ඇය පීසා වලට කෙතරම් කැමති ද කියා දැන සිටි බැවිනි. තාත්තා දැකීමෙන් ද පීසා කන්නට අවස්ථාව ලැබීමෙන් ද දැරිය ප්‍රීතිමත් වූවා ය. කාශ්‍යප ට ඒ අවස්ථාව අහිමි කරන්නට කවීශ්වර ට සිත ඉඩ දුන්නේ නැත. එදා මුහුදු වෙරළේ දී බිඟුනි ගැන කියා ඔහු හැඬුවේ ය. කාශ්‍යප මුළුමනින් වැරදි බව කවීශ්වර පිළිගත්තේ ය. නමුත් ඇඟිලි නවසිය අනූ නවයක් වෙනුවෙන් මිනිසුන් මරා උන් අංගුලිමාලට පවා බුදු සසුනේ සමාවක් ලැබුණේ ය. වැරදිකරුවෝ ද මනුෂ්‍යයෝ වන්හ. පිළි ගත්ත ද නැත ද නිවැරදි කර ගත්ත ද නැත ද ඔවුහු ද මනුෂ්‍යයෝ වන්හ. ඒ නිසා දැරිය එහි ගෙන යන්න එපා කියන්නට ඔහු ට සිත දුන්නේ නැත. නමුත් දැන් දැන් ඒ දුරකතන ඇමතුම පැමිණෙන්නට නියමිත බව ඔහු දැන සිටියේ ය. මෙලහකටත් ඇය මිදුලේ නො සන්සුන් සක්මනෙහි යෙදී ඇතිවා විය යුතු ය.
සිතුවා සේ ම මේසය මත තිබූ දුරකතය හැඬවෙන්නට ගති. තිරය ආලෝකමත් වී එහි ආරාධනා ලෙස ඉංග්‍රීසි අකුරෙන් සනිටුහන් ව තිබෙනා හැටි කාශ්‍යප දුටුවේ ය. ආරාධනා කියන්නේ ඔහු ගේ බිරිඳ ය. ඔහු ගේ දරුවන් ගේ අම්මා ය. නමුත් ඇය මේ මොහොතේ අමතමින් සිටිනුයේ කවීශ්වර ය. එය කාශ්‍යප තුළ ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ඇති කරවන ලදී. නමුත් එය කිසිවෙකුට පෙන්වන්නට තරම් නොවෙන ඊර්ෂ්‍යාවකි.
“ආරාධනා”
කවීශ්වර දුරකතනය සවනට ගත්තේ ය.
“ඇයි අනේ මෙච්චර පරක්කු…”
ඒ හඬ පැහැදිලිව ම, එක මේසයක් වට හිඳ උන් කාශ්‍යප ට ඇසිණ. ඒ හඬෙහි වූයේ නෝක්කාඩුවට බර ගතියකි. නො සන්සුන් ගතියක් ද කලබලයක් ද වචන වල දැවටී තිබිණ.
“මේ…එනව ආරාධනා. බිඟූ ට පීසා එකක් කන්න එක්ක ආව”
කවීශ්වර වචන තෝරා බේරා ගත්තේ පරෙස්සමෙනි. ආරාධනා එක්ක බොරු කරන්නට නුපුළුවන. එහෙම බවක් දැන ගත හොත් ඇය ගෙදර ද හැර යනු ඇත.
“අනේ ඉතිං කෝල් එකක් දාල මට කියන්න තිබුණනෙ කවීශ්වර. මං මේ බඩ බොකු රත් වෙලා මග බලං ඉන්නව”
එය හැඬුම් බර ස්වරයකි. කවීශ්වර වට පිට බැලුවේ ය. කාශ්‍යප ඉවත බලා ගත්තේ ය. ඔහු ගේ අතැඟිලි තදින් මිට මෙලවී තිබිණ.
“අ…සොරි ආරාධනා. මට ඒක එච්චර මතක් වුන්නෑ”
“මතක් වුන්නෑ තමයි. කවීශ්වර…එන ගමං මට පොඩි දෙයක් ගෙනත් දෙනවද…”
“මොනාද…”
“පැනඩෝල් සිරප් එකක් අරං එන්න. පුතාට උණ ගැනෙන්න වගේ. නහයත් බ්ලොක් වෙලා. හච්චිං යනව. පව් අනේ මට බලං ඉන්නත් දුකයි”
“දැං ගෙදර පැනඩෝල් සිරප් පොඩ්ඩක්වත් නැද්ද…”
“දැනට තියනව. ඒත් එකක් ගේන්න. මං හිතුවෙ ඩොක්ටට අපොයින්මන්ට් එකක් දානවද කියල. පපුවත් සද්දයි. වීසින් වගේ. බිඟුටත් වීස් එක තියනවනෙ. නෙබියුලයිස් කරන්න වෙයිද කියලත් මට බයයි”
“හරි ඔයා අපොයින්මන්ට් එක දාන්නකො. කෝකටත් ඩොක්ටට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න එක හොඳයිනෙ”
“ඔයාට එන්න පුළුවන්ද කවීශ්වර…නැත්තං මං ත්‍රීවීල් එකට කියල තියන්නද…”
“නෑ නෑ ත්‍රීවීලර් වල අරං යන්න එපා ළමයව…හුළං වැදි වැදි. මං එන්නං. තව මොනාද ගේන්න ඕනෙ…”
“වෙන මොනාත් නෑ. මට මුකුත් මතක් වෙන්නෙත් නෑ ඔළුව තෝන්තු වෙලා වගේ”
“හරි හරි. කලබල නොවී ඉන්නකො. ඉක්මන්ට එන්නං අපි”
කවීශ්වර දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ කාශ්‍යප දෙස බලමිනි. ඔහු ඉවත බලා ගෙන සිටියේ මුත් මුළු සංවාදය ම අසා සිටියේ ය. දෙතොල් ද මුව ද වියළී යන සැටියක් කාශ්‍යප ට දැනිණ. ඒ ඊර්ෂ්‍යාව ඔහු ගේ මුළු අභ්‍යන්තරය ම වියළා දමමින් තිබිණ. හෙතෙම දෙතොල් මුව තුළට ගෙන ඒවා තෙත් කොට ගත්තේ ය.
“ළමයට සනීප නෑලු. ආරාධනා ටිකක් කලබල වෙලා. වීසින් වලට එන්න වගේලු. ඒ අස්සෙ බිඟුනි ලේට් නිසා තවත් බය වෙලා”
“ඔය තරං බය වෙන්න දෙයක්යැ විනාඩි පහක් දහයක් පරක්කු වුනාට. අනික වීසින් කියන්නෙ පුරුදු නැති දෙයක් නෙවේනෙ. බිඟුනිටත් වීස් එක තිබුණෙ”
“තමුසෙනං මාර මිනිහෙක් ඕයි”
කවීශ්වර එසේ කීවේ තත්පර කිහිපයක් කාශ්‍යප වෙත දල්වා ගත් දෑසින් යුතු ව බලා සිට ඉක්බිති ය. මිනිහෙකුට මේ තරම් ආත්මාර්ථකාමී විය හැකි දැයි යළිත් වරක් සිතත යුතු ය. තමන් ගේ ම දරුවා අසනීපයෙන් ය කියා දැන ගැනීමවත් කාශ්‍යප ට කණගාටුවක් නොවූයේ කෙසේ ද?
“බිඟු අපි යන්ද…පීසා එක පාර්සල් කරගෙන ගිහින් ගෙදරදි කමු…ම්…”
බිඟුනි හිස සැළුවා ය. කාශ්‍යප නිහඬව ගොස් එය පාර්සල් කරවා ගත්තේ ය. දරුවා ගේ අසනීප තත්වය ගැන කිසිවක් ඔහු කතා කළේ නැත. ඒ වෙනුවට මූණ පුම්බා ගෙන ගොස් රියට නැග ගත්තේ ය.
තමන් වෙව්ලනා බවක් කාශ්‍යප ට දැනුණේ ස්ටියරින් වීල් එක අල්වා ගත් අත ඉසියුම් ලෙස ගැහෙමින් තිබියදී ය. බෝ කාලයක් තිස්සේ ඉතා හෙමින් ගොඩ නගා ගත් ගත් ලෝකයක් එක මොහොතක දී සහමුලින් අහිමි වී ගිය බවට ඊර්ෂ්‍යා සහගත සිතිවිලි සමුදායක් ඔහු වට කොට ගෙන තිබිණ. ඉස්සර ආරාධනා දරුවන් ගේ අසනීප ගැන ඔය විදිහට කීවේ ඔහුට ය. දරුවන් ගැන ඇය නිතර ම තිගැස්මක හිටියා ය. සෙම්ප්‍රතිශ්‍යාවටත් බිය වූවා ය. අනවශ්‍ය ලෙස කලබල වූවා ය. යන්තම් බිඟුනි ගේ ඇඟ රත් වුණත් ඒ කාලේ ඇය ඔහු ට දුරකතන ඇමතුමක් දුන්නා ය.
“මොන කරදරයක්ද…තනියම ඔහොම දෙයක්වත් මැනේජ් කර ගන්න බැරිද” කියා ඔහු සිතින් සිතුවේ ය. අලුත් අම්මා කෙනෙකු වශයෙන් ඇගේ ඒ බිය ඔහු ට රිස්සුවේ ම නැත. යුග දිවිය තුළ ආරාධනා ගේ සියුමැළි ගති හිතට වදයක් සේ දැනුණු අවස්ථා එමට ය. නමුත් ඒ කිසිත් ඔහු කවදාවත් ආරාධනා ට දැනෙන්නට හැරියේ නැත. අසීරුවෙන් ඉවසා ගෙන සිටියේ ය.
දැන් ඒ වදක බැඳීම් වලින් ඔහු නිදහස් ය. මුදල් අවශ්‍යතා හා විය හියදම් ගැන ආරාධනා ඔහු ට කියන්නේ නැත. දරුවන්ගේ අසනීප ගැන බියපත් ව පැමිණිලි කරන්නේ නැත. හැම දේ ම ගාණට මිම්මට පිළිවෙලට කරනා ඇගේ ඒ පුරුදු තව දුරටත් ඔහු ගේ ඇස ගැටෙන්නේ හෝ ඒවා හිතට වදයක් වෙන්නේ නැත. කොටින් ම දැන් ඇය නීතියේ රැහැනින් ම ඔහු ගලවා නිදහස් කරන්නට යයි. නමුත් මේ ඊර්ෂ්‍යාව කුමක් ද? ඇය හෝ ඇය හා බැඳුණු සියල්ල කෙරේ ඇය සමග දිවි ගෙවූ කාලය පුරා සිය යටි හිතෙහි වූයේ නො රිස්සුම් හැඟීමක් වී නම් දැන් ඊර්ෂ්‍යා කරන්නේ කුමට ද? කුමක් වෙනුවෙන් ද?
එය ද ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවක් නොව හුදු ආත්මාර්ථය පිළිබඳ ඊර්ෂ්‍යාවකැයි කාශ්‍යප ට හැඳින ගත හැකි වූයේ නැත. ඔහු ට වූයේ ඔහු ව අත්‍යවශ්‍ය වී තිබි තැනකට තව දුරටත් කොහෙත් ම ඔහු ඕනෑ නොවීම පිළිබඳ හීන මානය ය. ඔහු ගේ ම දරුවන් ගේ කටයුත්තක දී හෝ අනිවාර්ය පුද්ගලයෙකු නොවී, නො සලකා හරිනු ලැබීමේ වේදනාව ය.
“තාත්ති පීසා අරන් දුන්න”
බිඟුනි රියෙන් බැස්සේ ම සිනහ කටකින් විකසිතව ය. ආරාධනා ගේ ඇස් එක මොහොතකට කවීශ්වර ගේ ඇස් මත නතර විය. ඔහු හෙමිහිට ඉවත බැලුවේ ය.