ජීවිතේ තරුණ කාලේ

“දැන් කාලේ ඉන්න ළමයින් නම් අනේ මන්දා. ඔහොම යාලු වෙච්ච පළියට එහෙ මෙහෙ යනවද?”

උදේ පාන්දරම ඔෆිස් එක ඇතුලෙ මහ හයියෙන් කෑගහන්න සුනේත්‍රා මිස්.

මිස් කිව්වට ඉතින් මිසිස්.

ඔෆිස් එකේ සර්විස් එක දැන් අවුරුදු 15කට වැඩි. ක්ලාක් විදියට ජොයින් වෙලා යාන්තම් එක්සකටිව් පෝස්ට් එකකට ආවට මොකෝ එතනින් එහාට නම් ගමනක් යන්න සුනේත්‍රා මිස්ට පුලුවන් වුනේ නෑ.

ඒ හැමදේටම වඩා සුනේත්‍රා මිස්ට ලොකුම ප්‍රශ්නෙ මේ ඔෆිස් එකට අලුතෙන් එන පොඩි පොඩි කෙල්ලන්ව.

ලස්සනට අඳින පළඳින, තාක්ෂණය එක්ක හොඳ හැටි සෙල්ලම් දාන මේ අලුත් පරම්පරාව ඔෆිස් එකේ වැඩත් හොඳට කරගෙන ඉස්සරහට යන එක සුනේත්‍රා මිස් දැක්කෙ තමන්ට පාර කැපිල්ලක් වගේ.

උදේ පාන්දර සුනේත්‍රා මිස්ට මෙහෙම කෑගහන්න හේතුව වුණේ තමන්ගේ ඩිපාට්මන්ට් එකේ ඔවිනි, අකවුන්ට්ස් එකේ විහඟ එක්ක කොෆී ෂොප් එකකට ගිහින් දාපු ස්ටේටස් එක දැකලා.

ඔවිනි මාකටින් ඩිපාට්මන්ට් එකට ඇවිල්ල තාම අවුරුදු එකහමාරයි.

ජූනියර් එක්සෙකටිව් විදියට ආව ඔවිනි ඒ කාලේ ඇතුලත සීනියර් එක්සෙකටිව් විදියට ප්‍රමෝට් වුණේ අවුරුදු ගණනාවකට පස්සෙ මාකටින් ඩිපාට්මන්ට් එකට එෆී අවෝඩ්ස් දෙකකුත් දිනාගෙනමයි.

මලක් වගේ ලස්සන, වැඩටත් දක්ශ, කතාවටත් බුහුටිට අකවුන්ට්ස් එකේ විහඟ ආදරේ කරන එක මහ පුදුමයක් නම් නෙවෙයි.

ඒ තරමට ගැලපෙන ජෝඩුව.

වැඩ අතින්ද, පෙනුම අතින්ද තකට තක.

විහඟයි, ඔවිනියි යාලුවෙලා දැන් මාස දෙකක් වත් නෑ මම හිතන්නේ.

අනිත් එක මේ ඔෆිස් එකේ ඔය ප්‍රේම සම්බන්ධකම්වලට එහෙම විරුද්ධත්වයක් තිබුණෙ නෑ මැනේජ්මන්ට් එක පැත්තෙන්.

සුනේත්‍රා මිස් වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම වෙන කිසිම කෙනෙක් ඔව්ව ගැන ඒ හැටි හිතුවොත් නෑ.

“අර මොකෝ සුනේත්‍රා මිස් එහෙම කියන්නේ?”

කතාවට එක්කහු වුණ කේතක එහෙම ඇහුවෙ මේ කිසිම දෙයක් නෑහුණ ගාණට තමන්ගෙ ලැප්ටොප් එකේ වැඩ කරන ඔවිනි දිහා බලල ඇහැකුත් ගහලා.

“දැන් මේ ඔවිනි විහඟ එක්ක යාලු වෙලා දවස් කීයද? ඔහොම යනවද ළමයො එලියට පහලියට? ගෙවල් වලටවත් කියන්නෙ නැතුව”

එළියෙන් ආදරෙයි කියල පෙන්නන්න හැදුවට සුනේත්‍රා මිස්ගෙ හිත ඇතුලෙත් තරහව කැකෑරෙන විත්තිය ඉතින් කවුරුවත් නොදන්නව නෙවි.

“ඉතින් අඳුරගන්න තමයි සුනේත්‍රා මිස් ඒ දෙන්නා එළියට ගිහින් තියෙන්නේ”

හැමෝටම හිනාවෙන්න ඒ කතාව කිව්වෙ නම් ඔෆිස් එකේ ආතල් සපයන්නා වුණ රොෂාන්.

“ඔය ළමයින්ට නම් ඔව්ව විහිලු වුණාට මොකෝ ඔව්ව දුර දිග යන ප්‍රශ්න. දැන් ඔය සම්බන්ධෙ කැඩුණොත් ඔවිනි කොහොමද වෙන මනුස්සයෙක්ව කසාදවත් බඳින්නෙ?”

වෙනදට නම් සුනේත්‍රා මිස් ඔය වගේ කතා කියාගෙන එද්දි “ගණන් ගන්න එපා” කියල ඇස් බැල්මවල් වලින් කියාගෙන එහෙට මෙහෙට මාරු වුණාට මොකෝ මෙදා පාර නම් එහෙම කරන්න කාටවත් උවමනා නෑ වගේ.

“ඇයි ඉතින් බඳින්න බැරි වෙන්නේ?”

සුනේත්‍රා මිස්ගේ ප්‍රශ්නෙට ආයම ප්‍රශ්නයකින් උත්තරයක් දුන්නේ උපමාලි.

උපමාලිත් මේ ඔෆිස් එකට ආවෙ ඔවිනි එක්කමයි. එකම කැම්පස් එකේ, එකම බෝඩිමේ ඉඳපු යාලුවො දෙන්න එකම ඔෆිස් එකට ආවට පස්සෙත් යාලුකම් වැඩිවෙනවා කියන එකට හොඳම උදාහරණෙ තමා ඔවිනියි උපමාලියි.

ඒ දෙන්නත් එක්කම මේ ඔෆිස් එකේ මාකටින් එකටම ජොයින් වෙච්ච කසුන්දිට ඔෆිස් එකෙන් යන්න සුනේත්‍රා මිස්ගේ වචන කොච්චර නම් බලපෑවද කියල ඔවිනිට වගේම උපමාලිටත් අමතක නෑ.

කසුන්දි ඔෆිස් එකට එද්දිම කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ.

ඔෆිස් එකට ආව කසුන්දි ටිකෙන් ටික රස්සාවෙන් උඩට යද්දි ඒ දිහා බලාගෙන ඉන්න බැරිවුණ කසුන්දිගේ කොල්ලා කසුන්දිගෙ තව යාලුවෙක් එක්කම යාලුවුණේ හැමෝටම හොරෙන්.

තමන්ගෙ පෙම්වතා එහෙම කරාටත් වඩා කසුන්දිට දරාගන්න අමාරු වුණේ “කොල්ලො එක්ක එහෙ මෙහෙ රවුම් ගැහුව කෙල්ලෙක්ගෙන් වැඩක් තියෙනවද?” කියන සුනේත්‍රා මිස්ගේ කතාව.

ඒ කතා අස්සේ මාස්ටර්ස් එක කරන්න කැනඩා යන්න ආව චාන්ස් එක කසුන්දිට දෙයියො දීපු වරමක් වගේ.

ඒ වුණාට මේ වතාවෙ නම් සුනේත්‍රා මිස්ට එහෙම ලේසියෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ කියලා හැමෝම හිතාගත්තෙ කසුන්දිගෙ සිද්දියත් තාම හොඳටම මතක නිසා.

“කවුද ළමයෝ ඔහොම කොල්ලො එක්ක එහෙ මෙහෙ ගියපු කෙල්ලන්ව කසාද බඳින්නේ?”

ටකස් ටකස් ගාලා මහ සද්දෙට කී බෝඩ් එකට ඇඟිල්ලෙන් තට්ටු කරන ගමන් සුනේත්‍රා මිස් එහෙම කිව්වෙ කණ්ණාඩි කුට්ටම යටින් හොරාට ඔවින් දිහාව බලන ගමන්මයි.

කවුරුවත් මුකුත් කිව්වෙ නැති එක තව වල්පල් ටිකක් ඔෆිස් එකේ ඇදබාන්න සුනේත්‍රා මිස්ට දීපු අවසර පත්‍රයක් වගේ.

“අපේ කාලෙ නම් ඔහොම එව්ව අපි කරෙත් නෑ. අපෙ අම්මල ඔහොම එව්වට ඉඩ දුන්නෙත් නෑ

මට මතකනෙ මං රස්සාවට ආව මුල් කාලෙ අප්පච්චි හැමදාම එනවා මාව ඇරලවන්නයි අරගන්නයි.

කසාද බඳිනකම් පිරිමි පරාණයක් එක්ක එහෙ මෙහෙ යන්න තියා ඇහැක් ඇරලා බලන්නවත් අපිට නිදහසක් තිබුණෙ නෑ”

කියවිල්ලේ ඉවරයක් තිබ්බෙ නෑ සුනේත්‍රා මිස්ට.

“මේ නැට්ටිච්චියන්ගෙ නාඩගම් දෙපිටින් යන්න කියනවා” කියල හිතාගෙනයි සුනේත්‍රා මිස් කියෝගෙන කියෝගෙන ගියේ.

“ඉතින් දැන් එහෙම ඉඳල ගෙදරින් හොයල දුන්නු මනුස්සයවම කසාඳ බැන්දට පස්සෙ සුනේත්‍රා මිස්ට හරි ගියාද?”

ඒ ප්‍රශ්නෙ ආයෙම ආවේ කේතක ගෙන්.

“ඇයි දැන් ඔය ළමයා හිතන්නෙ මට වරදක් වෙලා කියලද?”

“මිස්ම නේද දවසක් කිව්වෙ මිස්ගෙ ගෙදර අයත් මුලින් කැමති වුණේ නෑ කියල රස්සාවට යනවා කියලා. බැන්දට පස්සෙවත් මිස්ට නිදහසක් ලැබුණේ නෑ කියල. මිස් තරුණ කාලේ පොඩ්ඩක්වත් කොටට අඳින්න දුන්නෙ නෑ, එළියෙන් කන්න දුන්නෙ නෑ කියල, ඇඟ වැහෙන්න අඳින්න, තුන් වේලම ගෙදරම උයන්න ඕන කියලත් රණ්ඩු වෙනවලු නේද මහත්තයා?

ඉතින් එහෙනම් ඒ කසාදෙ හරියනවා කියල මිස් කියන්නේ කොහොමද?”

මෙච්චර වෙලා සද්ද නැතුව උන්නු ඔවිනි කතාවට එකතු වුණේ එහෙම.

“යාලුවෙලා ඉන්න කොල්ලෙකුයි කොල්ලෙකුයි කොෆී ශොප් එකකට ගිහින් දැන අඳුනගත්ත කියන එකේ වරදක් නෑ මිස්. අඩුම ගාණෙ එතකොට දික්කසාදෙකින් නතර වෙන්න ඕන ප්‍රශ්න ඊට කළින් නතර කරගන්න පුලුවන් කම ලැබේවි”

“ඔව්, අනිත් එක ගැලපෙන්නෙ නැත්තම් දුර දිග ගෙනියන්නෙ නැති එක වරදකුත් නෑ මිස්. තමන්ගේ මුලු ජීවිතේටම බලපාන තීරණයක් ගෙදර අය මෙහෙම කියයි, මිනිස්සු මෙහෙම කියයි කියල හිතල ගන්න එක තරම් මෝඩකමක් තව නෑ”

ඔවිනිගෙ කතාවට හිතෙන් අත්පුඩි ගහන ගමන් එක්කහු වෙච්ච කේතකයි, රොශානුයි, උපමාලිත් පෝර දැම්මෙ අන්න එහෙම.

“අනේ ඔය කිව්වට බැරිය” කියල සමච්චලේට හිනා වෙච්ච සුනේත්‍රා මිස් ආයේ ටකස් ටකස් ගාලා කී බෝඩ් එක එබුවට මොකෝ පොඩ්ඩ ඇත්තන් අදටත් අත මිට මොලවගෙන එන තමන්ගේ ස්වාමියව මතක් වෙලා හිතටයි කටටයි අගුල් වැටුණා.

ඔෆිස් එක මුල් කාලේ තමන් දිහා ආදරෙන් බැලුව, ගෙදරට බයේ ඒ හැඟීම් වචන වලට පෙරලුවෙ නැති හීන් දිග ඇස් දෙකකුත් බස් නැවතුම්පලේ බලන් උන්නු බවත් මතක් වුණා.

More Stories

Don't Miss


Latest Articles