ආරාධනා ඉකි ලමින් හැඬුවා ය. ඇගේ ඇස් වලින් ඇද හැළුණ කඳුළු, මුරුගසං වැස්සකට සම කළ හැකි ය. ඒ කඳුඵ වල එපමණට සන්තාපයක් විය. සංවේගයක් විය. සංවේදනයක් විය. කාශ්‍යප සැනසුම් පාය හැර ගිය දිනයේ සිට වරින් වර ඇද හැළුණු වල මුළු පරිමාවවත් දැන් මේ මොහොතේ වට කඳුළු වලට සම කළ නො හැකි ය. ඇස් දිය වී යන තරම් ඇය හැඬුවා ය. පපුවේ හිර වී තිබූ මහා බරක් ද ඒ කඳුළු වලට සේදී ක්ෂය වී යමින් තිබිණ. නමුත් කඳුළු තව තවත් ගලන්නට විය. පොද වැස්සක ඇරඹුමක් සනිටුහන් විය. කවීශ්වර නො සෙල්වී සිටියේ ය. ආරාධනා ට ඕනෑ තරම් හඬන්නට සිය පපුතුර ඉඩ සදා දී හදවත සුසුම් වලින් පුරවා ගනිමින් සිටියේ ය. හෙමි හෙමිහිට ඔහු ආරාධනා ගේ හිස පිරිමැද්දේ ය. ඔහු තුළත් මහත් භ්‍රාන්තියක් ද පසු තැවීමක් ද සම අනුපාත වලින් මුහු වී හද තුළ සරැලි නැගුවේ ය.
“මට සමා වෙන්න කවීශ්වර. මට සමා වෙන්න. මන්දන්නෑ මං මොනා කරන්න ගියාද කියල. මට මතකයක් තිබුන්නෑ. තවත් ඉන්න බෑ කියල විතරයි දැනුණෙ. මැරෙන්න එන වේදනාවක් විතරයි දැනුණෙ. ඒ වෙලාවෙ මට ඕන වුණේ මේ ජීවිතේ බර අත්ඇරල නිදහස් වෙන්න විතරයි. දැන් මට තේරෙනව ඒක කොච්චර වරදක්ද කියල. තෑන්කූ යූ කවීශ්වර. දෙවියෙක් වගේ ඇවිත් ඔයා ඒ මොහොත අතීතයක් විතරක් කළාට තෑන්ක් යූ. මං දන්නෑ ඇයි මට අර අහිංසකයො දෙන්න මතක් වුණේ නැත්තෙ කියල…ඒක පුදුම මොහොතක්..දරා ගන්නම බැරි වෙලා මට මාව නැති වෙලා ගිය තත්පරයක්”
බෝ වෙලාවකට පස්සේ ඕ මුව විවර කළා ය. ඔහේ කියවූවා ය. නමුත් ඒ වචන අතරේ පසු ගිය දින වල තිබූ බර ගතිය වෙනුවට අමුතු සැහැල්ලුවක් විය. අති මහත් ශෝකයකින් විනිර්මුක්ත වූ සොබා දහමේ සැහැල්ලුව විය.
රාජිකා මැණිකේ තෙමි තෙමී ම එතැනට ඇවිත් ආරාධනා ගේ හිස පිරිමැද්දා ය.
“දුව…අපි බාත්රූම් එකට ගිහිං නාගමු…එන්න මැණිකෙ…අපි යමු…”
“අම්මෙ…අනේ අම්මෙ අම්මල මට සමාව දෙනව නේද…මං හිතල මෙහෙම දෙයක් කළේ නෑ අම්මෙ. මං දන්නෑ තාත්තෙ මට මොනා වුනාද කියල…මං දන්නව මං වැරදියි කියල. ජීවිතේට මොනා හරි වුණානං ඒක ඕගොල්ලොන්ට කොච්චර නරකද..මගෙ අම්මලට…මගෙ පැටව් දෙන්නට මොන තරං කැළලක්ද…මට ඒ කිසි දෙයක් මතක් වුන්නෑ තාත්තෙ…මගෙ ජීවිතෙංම මං ඔයාට ණයයි කවීශ්වර…”
“හරි පුතේ…අපියි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. අපිත් මීට වැඩිය දුව ගැන බලන්න හිතන්න තිබුණ. දැන් මේ වැහි කෝඩෙට අහු වෙලා ලෙඩ හදා ගන්න ඕන නෑ. උණුවතුර ටිකකින් නාගමු.. යමු…”
ආරාධනා ගේ උරහිස වටා අත දමා ගෙන ඇයව නාන කාමරය වෙත ගෙන ආවේ ගජධීර ය. රාජිකා මැණිකේ ගේ ඇස් බැල්ම ළඟ පිරිමින් දෙදෙනා ට නතර වන්නට සිදු විය. ඇය සිය දකුණත පසෙකට කොට ගෙන වම් අතින් ආරාධනා ගේ ඇඳුම් උනන්නට උදව් කළා ය. ඇය යට සාය පපුව මත්තට ඔසවා ගෙන වතුර මල යටට වූවා ය. රාජිකා මැණිකේ හොඳින් හිස කේ ඇතිල්ලුවා ය. භූමි තෙල් ගඳ යන තුරු ඇගේ සිරුරේ යළි යළි සබන් දමා සේදුවා ය. වරල සිඹ තව දුරටත් එහි භූමි තෙල් සුවඳ ඉතිරි දැයි ඉව කළා ය. අවසන තෙත පිස දමා පපුව මත්තට සාලුව අන්දා ආරාධනා ගේ අතකින් අල්ලා ගෙන කාමරයට ගෙන ගියේ මල්වර දැරියක සේ ය.
සඳයුරු නිදා සිටියේ ය. බෙහෙත් වලට නින්ද යන්නට ඇතැයි ආරාධනා සිතුවා ය. වෛද්‍යවරයා කවීශ්වර ට තාත්තා කියූ බව ඇයට සිහි වූයේ ඇඳුම් අඳිත්දී ය. ආරාධනා ගේ මුහුණට මඳහසක් ආවේ ය. ඒ වෙලාවේ ඇයට ඒ ගැන කිසිවක් සිතුණේ නැත.
“පව් කවීශ්වර. ඩොක්ටර් එයාට තාත්ත කිව්ව. මූණ ඇඹුල් කරං හිටියෙ. ආයෙනං අපිත් එක්ක කොහෙවත් යන්න එන එකක් නෑ”
ඇය සිනහවෙන් නැන්දම්මා ළඟින් යහනේ හිඳ මිමිණුවා ය. රාජිකා මැණිකේ සාළුව ගෙන ආරාධනා ගේ ගෙල පිටුපසින් එය දමා වඩා තදින් තෙත මාත්තු කළා ය.
“අනේ…තාත්ත කියන එක නරක වචනයක් නෙවේනෙ. එයා ඔයිට වැඩිය නරක වචන අහ ගෙන තියෙන්නෙ එක එක්කෙනාගෙන්…”
එය ආදරණීය නෝක්කාඩුවකි. මේ මොහොතේ රාජිකා මැණිකේ තුළ බාල පුතා කෙරෙහි ඉපදෙමින් තිබුණේ නුපුරුදු ස්නේහයකි. ඔහු ගෙන් පවුලේ ව්‍යසනයක දී මෙහෙම වග වීමක් හෝ වද වීමක් ඇය බලාපොරොත්තු වූයේ ම නැත.
“අදනං මට පොඩී ව පෙනුණෙ දෙවියෙක් වගෙයි දරුවො. ඒ වෙලාවෙ පොඩීව එතනට යවන්න ඇත්තෙ දෙවියො තමයි”
රාජිකා මැණිකේ මුණුපුරු ගේ සිඟිති මුහුණ දෙස බලා ගෙන සුසුමක් හෙළුවා ය.
සාප්පුවට යන්නට උපන් සිතිවිල්ල කවීශ්වර අවලංගු කොට දැමුවේ ය. මෙවන් තත්වයක් යටතේ ආරාධනා තනි කොට යන්නට බැරි දෙගිඩියාවක් ඔහු ට දැනෙන්නට විය. කල්පනා කරමින් සිටි කවීශ්වර සිය සේවකයෙකුට දුරකතන ඇමතුමක් ගත්තේ ය.
“ශොප් එක වහල කලෙක්ශන් එක අපේ ගෙවල් පැත්තෙන් දී ගෙන පලයං බං. ගෙදර පොඩි හදිස්සියක් නිසා එන්න වෙන්නෑ”
“ඇයි මොකද්ද හදිස්සිය…”
“පොඩි එකාට සනීප නෑ. ආරාධනා ටත් අසනීපයි. අම්මත් අත කැඩිලනෙ බං ඉන්නෙ..”
“හරි හරි මං එනනං”
“හරියට දොර වහලද බලද කී එක ගෙනෙං හරිද…”
ඒ ඔහු සාප්පුව වසන්නට එහි නො ගිය ප්‍රථම දිනය ලෙස මතක ඉතිහාසයට එක් වන්නේ ය.
කෑම කන පිරියක් ගෙදර කිසිවෙකුට වූයේ නැත. හිත සංකා සිතිවිලි වලින් බර වූ විට කුස ගිනි නො දැනී යාම ස්වභාවයයි. නමුත් මේ තත්වය තුරන් කොට යැවිය යුතු ම යයි කවීශ්වර සිතුවේ ය. ඒ ගැන සිතන්නට සිතන්නට සිදු වන්නේ සිතිවිලි වලින් හිත ඔත්පල වෙන එක ය. හිත ඔත්පල වුණොත් කය එසේ වන්නේ නිතැතිනි. දැන් ඉතින් කෙසේ හෝ ශෝක කාලය අවසන් කළ යුතු ය. මරණයක් සිදු වූවත් මිණිය වැළලීමෙන් පසු ජීවත් වන්නවුන් ටික ටික යථාවත් වීම සිදු වේ. ආරාධනා මෙවන් තත්වයකට පත් වූයේ බාහිරයෙන් කෙසේ වතුදු අභ්‍යන්තර වශයෙන් එසේ කාලය හරහා ගමන් නො කළ නිසා ය. මේ වගේ ම ඇය යළිත් වරක් අනතුරක් කර ගන්නට උත්සාහ නොකරාවිද කියා කිව නො හැක. මේ තත්වයන් කළමනාකරණය කර ගන්නේ කෙසේ දැයි කවීශ්වර සිතුවේ ය.
එදා බිඟුනි ට බත් කැව්වේ කවීශ්වර ය. ආරාධනා ව මේ වැඩ කන්දෙන් මඳක් නිදහස් කොට ඇයට යම් කිසි විවේකයක් ලබා දිය යුතු යයි ඔහු සිතුවේ ය.
“හිතේ හිර කර ගෙන ඉන්නෙ නැතුව හිතෙන දෙයක් අපි කවුරු එක්ක හරි කියන්න ආරාධනා. කාශ්‍යප ට බණින්න ඕනනං බණින්න. අඬන්න ඕනනං අඬන්න. ඒ වෙලාවට හිතට දැනෙන දේ කරල ඒ හැඟීම අයින් කරල දානව මිසක් ඒක හිර කර ගෙන ඉන්න එපා. අඬන්න ඕනනං අඬන්නත් ලැජ්ජ වෙන්න එපා. ඒ හැඟීම් වලින් අයින් වුණාට පස්සෙ ඔයා ගොඩක් දුරට නිදහස්නෙ…අපි ඔක්කොම ඔයත් එක්ක ඉන්නව කියල මතක තියා ගන්න. අනික අපිත් එක්ක කියන්න බැරි දෙයක් වුනත් ඔයාට නංගි එක්ක හරි තාරා එක්ක හරි කතා කරන්න පුළුවන්. ගෙදර යන්න ඕනනං ඕන වෙලාවක කියන්න මං එක්කං යන්නං. අපේ ගෙදර ඉන්න එකත් ඔයාට ප්‍රෙශර් එකක් වෙලානං…ඔයා ගෙදර යන්න මේ ගෙදර ගැන හිතන්නෙ නැතුව. නේද තාත්තෙ…අම්මට වැඩ ටික කර ගන්න උදව්වට මං වැඩට කෙනෙක් හොයා ගන්නං එහෙම වුණොත්…ඒ ගැන ඔයා වද වෙන්න එපා. ඒව ඔයාගෙං වෙන්න ඕන යුතුකං කියල හිතන්නත් එපා. අපිට ඕනෙ ඔයයි දරුවො දෙන්නයි හොඳින් ඉන්න විතරයි. ඒ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරනව”
කෑම මේසයේ දී කවීශ්වර ලොකු දේශනයක් කළේ ය. මීට පෙර කිසි දාක මේ සැනසුම් පායේ වහළ යට දී ඔහු ට එවැනි අවස්ථාවක් ලැබී තිබුණේ නැත. ඔහු සිටියේ කිසිදු වටිනාකමක් නැති අවලංගු කාසියක් වාගේ ය. සියලු වටිනාකම් තිබුණේ කාශ්‍යප ට ය. මේ වහල යට තීරණ ගැනීමේ බලතල තිබුණේ ඔහු ට ය. වටිනාකමක් තිබුණේ ඔහු ගේ හඬට ය. එනයින් නිරුත්සාහයෙන් ම කවීශ්වර ගේ හඬ යටපත් ව ගියේ ය. ඔහු ට හිමි තැනක් නැතිව ගියේ ය. නමුත් මේ වෙලාවේ ගෙදර ප්‍රධානියා වී සිටියේ නිතරගයෙන් ඔහු ය. තීරණ ගැනීමේ ශක්තිය තිබුණේ ඔහු ට ය. වගකීම් දැරිය හැක්කා වී සිටියේ ඔහු ය.
“හ්ම්. පොඩි පුතා කියන්නෙ ඇත්ත”
රාජිකා මැණිකේ පළමු වතාවට පොඩි පුතාට වටිනාකමක් දී කතා කළා ය.
“කාශ්‍යප නෙවෙයි දැන් අපේ… දුවයි දරුවො දෙන්නයි. අපි ඔය තුන් දෙනාව ඇස් දෙක වගේ බලා ගන්න ඕන”
“නැත්තං”
ගජධීර ද මැද්දෙන් පැන්නේ ය.
“මේ සිද්ද වුන දේ වුණත් සේනාසිංහල දැන ගන්නව කියන්නෙ…අපි ගැන මොනාද හිතන්නෙ…ඒ මිනිස්සු අපි ගැන විශ්වාසෙං දූව මෙහෙ නතර කළේ…ඒ විශ්වාසෙ තව දශමෙං ගැස්සිලා ගියානං එහෙම…ඒ නැතත් දැන් වුණත් අපි මොනාද ඒ මිනිස්සුන්ට නිදහසට කාරණා විදිහට කියන්නෙ…මගෙ හිතට හරි අමාරුයි ඒ වෙච්ච දේට”
“අනේ තාත්තෙ…අපේ අම්මලට මේ ගැන කියන්න ඕන නෑ. ඒගොල්ලො බොරුවට කලබල වෙයි. මං ඔය තුන් දෙනාට ම පොරොන්දු වෙනව. ආයෙ කවදාවත් මගෙ අතින් එහෙම දෙයක් වෙන්නෙ නෑ..මං දන්නව ඒකෙ බරලතල කම. ඒක එක මොහොතක් විතරයි. පහුගිය ටිකේ සිද්ද වෙච්ච හැම දෙයක් ම එන්න පුළුවන් උපරිමේ තිබුණෙ එතන. ඒ කන්ද පහු වුණා තාත්තෙ. ඊළඟට තියෙන්නෙ පල්ලම. ආයෙ මං එහෙම තැනකට වැටෙන්නෑ”
ආරාධනා මිමිණුවා ය.
“ඇත්තමයි මේ කියන්නෙ. හිත උඩ පටවගෙන හිටිය මහ ගලක් වගේ බරක් බිමින් තිබ්බ වගේ සැහැල්ලුවක් දැනෙනව දැන් මට. අර හිතේ තිබුණ ප්‍රෙශර් එක අතුරුදහන් වෙලා වගේ දැනෙනව. මාව මෙහෙම අල්ලන් ඉන්නවට ඕගොල්ලොන්ට පින්. පැටව් දෙන්න වෙනුවෙන්”
කුස ගිනි දැනුණේ නැතිවාට කවුරුත් බත් ටිකක් කෑහ. බිඟුනි ට කැවීමෙන් පස්සේ කවීශ්වර අම්මා ට ද බත් කවන්නට උත්සාහ කළේ ය. නමුත් ආරාධනා ඊට ඉඩ දුන්නේ නැත.
“පිස්සුද අනේ…මට ලෙඩක් දුකක් හැදිල වගේනෙ. ඉතින් ඒක වෙලා ඉවරයි. මං දැන් ඕකේ. හරිද…”
කිසිත් නොවුණා සේ ආරාධනා රාජිකා මැණිකේ ට බත් කැව්වා ය. එදා කෑම මේසයෙහි, කවුරුන්වත් අන්න අරක යයි කියන්නට නො දන්නා තුනී සතුටක් තැවරී තිබුණේ ය. කෑම ගැනීමෙන් පස්සේ ආරාධනා එපා කියත්දී ම කවීශ්වර කුස්සිය අස් කළේ ය. ගජධීර භාජන සේදුවේ ය. සඳයුරු නැගිට ගත්තෙන් නැන්දම්මාත් ලේලියත් ඔහු ළඟට වූහ. සඳයුරු ගේ පපුවේ සෙම ගතිය මඳක් අඩු වී සහනශීලී ලෙස ඔහු හුස්ම ගැනීම ආරාධනා ට සැනසීමක් විය.
“පුතාව හොස්පිටලයිස් කරන්න වුණොත් කොහොම කර ගන්නද කියල මං බයේ හිටියෙ”
ආරාධනා ගේ චිත්ත පීඩනය තීව්‍ර වන්නට හේතු වූ කාරණා රාජිකා මැණිකේ එකින් එක ඇහිඳ ගනිමින් සිටියා ය. යළිත් නින්දට වැටෙනා තුරු ම කවීශ්වර සඳයුරු දෑත් හා පපුව අතරේ තියාගෙන සින්දු කීවේ ය.
“මාගෙ පුතුට මල්..යහන සදන්නේ..දෑසෙ සිහින වැල්…පා වී යන්නේ…රෝස කැලේකින් හමු වූ වැන්නේ…මට මේ කුමරුන් කවුදෝ දුන්නේ…”
ඒ ගී හඬට ඔහු කරදර නොකර ගුලි වී යළි සුව නින්දකට වැටුණේ ය. ආරාධනා ගේ යහන මත දරුවා තැබීමෙන් පස්සේ ද කවීශ්වර මඳ වෙලාවක් ඒ මුහුණ මත පහත් වී ආදර බැල්මකින් බලා සිටියේ ය.
“පව් අප්ප”
ඉතා මන්ද්‍ර ස්වරයකින් ඔහු ට එහෙම කියැවී තිබිණ.
කවීශ්වර විසින් පසෙකට ගෙන ගොස් කුටු කුටු ගෑමෙන් පස්සේ එදා රාජිකා මැණිකේ ආරාධනා ගේ ඇඳේ නිදන්නට කොට්ට රෙදි ගෙන ආවා ය.
“අනේ මේ අම්මෙ විකාර නොකර තාත්ත ළඟ නිදියන්න. තාත්ත අසනීපෙන් ඉන්න කෙනා. හාට් පේශන්ට් කෙනෙක් වෙච්චි…එයාව තනියම දාල අම්ම මගෙ ළඟ නිදියන්න එනව. යන්න යන්න. අම්ම තාත්ත ළඟට යන්න”
ආරාධනා රාජිකා මැණිකේ ගේ පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. කවීශ්වර කාමරයේ දොරකඩට ආවේ ය.
“හරි හරි තාත්තට තනියක් නෑ. තාත්ත ළඟ මං නිදියන්නං”
ආරාධනා බිම බලා ගත්තා ය. මේ දවසට දෙකට ආධිපත්‍යය කවීශ්වර අතට පත් වෙමින් තිබේ!