නිම් නැති නිම්නය 21

කාශ්‍යප වැතිර සිටියේ ගිනි ගත් යහනක ය. කවීශ්වර ගේ දුරකතන ඇමතුම පැමිණෙත්දී “මල්ලි” කියමින් ඔහු යහනෙන් බැස්සේ සෞභාග්‍යා ට ඒ බව දැනුම් දීමක් වශයෙනි. ඇය යටැසින් බැලුවා ය. දුරකතන ඇමතුමෙන් පසු ඔහු ඇවිත් වැතිර ගත්දී බඩ පපුව දැවෙමින්, වරදකාර හැඟීමක් ද පසු තැවීමක් ද බුර බුරා නැගෙන්නට විය.

“ඇයි…”

ඒ තනි වචනයේ ප්‍රශ්නය තුළ නො මනාපයක් ද නෝක්කාඩුවක් ද ඊර්ෂ්‍යාවක් ද නපුරු කමක් ද බලහත්කාරයක් ද තැවරී තිබිණි.

“පොඩි ප්‍රශ්නයක්”

ඔහු සුසුමක් සමග සිය හැඟීම මුදා හළේ ය.

“ප්‍රශ්නෙ මොකද්ද කියල තමයි ඇහුවෙ”

ඇය නැවත ද නොරිස්සුමෙන් දමා ගැසුවා ය.

“ආරාධනා ගිනි තියාගන්න ගිහින්”

එය මොහොතක නිහැඬියාවකි. ඒ මොහොත තුළ ඇගේ සිත හරහා කුණාටුවක් හමා ගියේ ය. ඇය ඒ බලයෙන් පහ කොට හරිමින් කොට්ටයෙහි හරි බරි ගැහුණා ය. ඇගේ දෙතොල් මත්තට මඳහසක් පැමිණ තිබිණි.

“ඒ කියන්නෙ ශෝ එක පටං අරං නේ..”

කාශ්‍යප ඇය දවා හළු කරනා බැලමක් හෙළුවේ ය.

“මොකද්ද ශෝ එක…”

“කාශ්‍යප…එයා ඔය විදිහට ඇක්ට් කරල ඔයාගෙ අනුකම්පාව ගන්න හදන්නෙ. ආයෙ ඔයාව එයා ළඟට ගෙන්න ගන්න හදන්නෙ…තේරෙන්නැද්ද ඔයාට…”

“ආරාධනා කොච්චර අහිංසකද කියල මං දන්නව”

“අනේ…පව්නෙ ඉතිං…ඒ අහිංසකී එක්කම ඉන්න තිබුණනෙ. අත්ඇරල මාත් එක්ක ආවෙ ඇයි දන්නෑ නේ..”

“මගෙ ඔළුව කන්න හදන්නෙපා සෞභාග්‍යා…පින් සිද්ද වෙයි”

එසේ කියා ඔහු වහා යහනේ අනිත් පසට හැරුණේ ය. ඇස් දෙක තද කොට පියා ගත්ත ද පපුවේ වූ ඒ ගිනි මැලයක රස්නය ඔහු ට හොඳට ම දැනිණ.

ඒ චමත්කාරය දැන් අවසන් ය. සෞභාග්‍යා අහිමි වූ දා සිට කාශ්‍යප කිසි යම් පරාජිත හැඟීමකින් විඳවූයේ ය. දෙවන වතාවට අසම්මතයේ හෝ ඇය හිමි කර ගත්තා ට පස්සේ ඒ හැඟීම අහෝසි වී යන ලදී. දැන් ඔහු ගේ යහන පසෙක නිදමින් හිඳිනුයේ පෙර චමත්කාරය දැනවූ ගැහැනිය නොවේ. තවත් එක සාමාන්‍ය ගැහැනියකි. පෙර දී, දුරින් හිඳියදී දැනවූ හදවත කිලිපොලා යන ප්‍රේමණීය බව හෝ සරාගී හැඟීම් තව දුරටත් ඉතිරි වී නැත්තේ ය. ඉස්සර තෙපලූ බොළඳ පෙම් වදන් ද ඒ මුදු බැලුම් ද කෝල සිනා ද අහෝසි වී ගොස් තිබේ. දැන් විවෘත වී සිටිනුයේ ස්වභාව ධර්මයට ය. ස්වභාව ධර්මයට අයිති වූ ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ඔවුන් දෙදෙනා අභියස නග්න ය. තව දුරටත් ඔහු ට ඇගේ මල් සුවඳ විලවුනෙහි සුවඳ මන්මත් කරවන්නේ නැත. ඒ විලවුනක් මිස ඇගේ ආත්මයෙන් හමනා සුසුවඳක් නො වන බව ඔහු මැනවින් වටහා ගෙන හිඳී. සිය යහනේ පසෙකින් උදයට පිබිදෙන ප්‍රේමිය සාමාන්‍ය ගැහැනියක මිස දෙව් අඟනක නොවන බව ඔහු හඳුනා ගනිමින් සිටී. ඒ ඇස් වල තිබූ මායාකාර ආකර්ෂණය ක්ෂය වී එහි සාමාන්‍ය ඇස් දෙකක් පමණක් ඉතිරි වී තියේ. කෝල වදන් මිමිණු තරුණිය දැන් දැන් අවකැපෙන කතා කියන්නටත් ඔහු ගේ හිත රිදෙන මුවහත් වදන් වලින් දමා ගසන්නටත් පටන් ගෙන තිබේ. දෙවන වර හමු වූවායින් පසු දුරකතනය ඔස්සේ ඇදී ආ මනෝහර හඬට කුමක් වී දැයි ඔහු ට හිතා ගත නො හැකි ය. මිහිරක් ම දැනවූ පණිවිඩ හුවමාරු ගොළු වී යන්නට මහ කාලයක් ගියේ නැත. සෞභාග්‍යා ගේ අසනීපය ඇය වඩාත් නො සන්සුන් ගැහැනියක බවට ද පත් කොට තිබේ.

ආරාධනා මුල සිට ම කාශ්‍යප  ගේ ලෝකයේ සිටියේ සාමාන්‍ය ගැහැනියක ලෙස ය. ඇගේ කතා බහේ, බැල්මේ, හැසිරීමේ කිසිදු ලාලිත්‍යයක් කවදාටත් ඔහු ට නො දැනිණි. නමුත් ඇය අහිංසක, වැදගත් හා විනීත ස්ත්‍රියක වීම පමණක් ඔහු ගේ බිරිඳ තනතුර පිරිනමන්නට සෑහිණි. ඇය, සැනසුම්පාය ජීවත් වීමට මිහි පිට වන සුවදායක ම තැන කරනු වස් කළ කැපකිරීම් ඔහු දුටුවේ නැත. නැත්නම් නුදුටුවා සේ සිටියේ ය. එසේ ත් නැති නම් ඒ සියලු බිරින්දෑවරුන් ගේ පොදු වූ භූමිකාව යයි සිතුවේ ය. විශේෂ දෑසකින් ඇය දකින්නට කිසි දා ඔහු ට උනන්දුවක් වූයේ ද නැත. නමුත් ප්‍රේමයකට මුවහ වී සිටි ව්‍යාජයකට වඩා එතැන හැබෑවේ අවිහිංසක බව වූයේ යයි සන්සන්දනාත්මක ව බලත්දී දැන් දැන් කාශ්‍යප ට සිතේ. වෙනස නම් ආරාධනා ඔහු ගේ හිස ට වද නොදුන් ගැහැනියක වීම ය. සෞභාග්‍යා ප්‍රේමය මත්තේ ඔහු ගේ සැනසීම අහිමි කරනා පෙම්වතියකි. 

විවාහය හා ප්‍රේමය අතරේ වන පරතරය කාශ්‍යප විසින් අවබෝධ කරගනු ලබමින් සිටියේ ය. විවාහය තුළ වෛවාහක ප්‍රේමය වගා කර ගන්නට ආරාධනා දැරූ වෑයම ගැන ඔහු ගේ සිත්හි පැහැදිලි රූප රාමු මැවෙන්නේ දැන් ය. ඇය වූ කලී කිසි දා ඔහු ගේ ප්‍රේමයට භාජනය නොවූ බිරිඳකි. නමුත් ආරාධනා ඒ බව දැන සිටියේ නැත. නැතහොත් දැනගෙනත් ඒ ගැන අවධායනය යොමු නො කොට සිය යුතුකම් ඉටු කිරීම ගැන පමණක් ඇය අවධානය යොමු කළා ය. එතැනදී ඇය ගැන කරුණාවක් දයාවක් උපදවා ගනු වෙනුවට ඔහු කළේ තව තවත් ඇය පිළිකෙව් කරනා එක ය. හිතේ උන් සෞභාග්‍යා කෙනෙකු සමග සසඳමින් සිය හදවතෙහි ඇය කොන් කරනා එක ය. ඇය ගැන නො රිස්සුම් වඩවනා එක ය. තමන් ගැන ම මහත් කළකිරීමකින් කාශ්‍යප ගේ හදවත බර වී ය.

ඔහු ආරාධනා ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තේ ඒ කළකිරීමෙහි කරවටක් ගිලී සිටිනාතර ය. නමුත් ඇය පිළිතුරු දුන්නේ නැත. මුළු හදවත ම ගිලන් වී ආතුර වී ඇති සැටියක් ඔහු ට දැනෙන්නට විය. පදාසයක් නාය ගිය කන්දක් වාගේ ඔහු අසරණ ව සිටියේ ය. අනාථ ව සිටියේ ය. කර කියා ගත හැකි යමක් නො දැන අවතැන් ව සිටියේ ය. ඒ ලෝදියෙහි පිළිස්සීම තුළ තව අඩ හෝරාවක් පමණ ගෙවෙන්නට හැර ඔහු යහනෙන් බැස බැල්කනියට ගියේ ය. සෞභාග්‍යා සිහින් ව ගොරවමින් තද නින්දට ප්‍රවේශ වෙමින් සිටියා ය.

දුරකතනය හැඬවෙන විට ආරාධනා හා රාජිකා මැණිකේ කාමරයේ යහනට විත් මඳ වෙලාවකි. ආරාධනා අත දිගු කර බෙඩ් සයිඩ් කබඩ් එක මත වූ දුරකතනය අතට ගත්තා ය. කාශ්‍යප ගේ නම දුටු විට ගිනියම් තරංගයක් සිරුර පුරා විසිරී ගියේ ය. ඇය රාජිකා මැණිකේ දෙස බැලුවා ය. ආරාධනා ගේ ඒ බැල්ම හැඳින ගන්නට බැරි කමක් ගජධීර මැතිණිය ට නැත. 

“දුවට ඕනෙනං විතරක් කතා කරන්න”

ඇය සිය ජීවන අත්දැකීම් මත දිය යුතු හොඳ ම තීරණය දුන්නා ය. ආරාධනා ට ඔහුත් එක්ක කතා කරන්නට කිසිවක් ම නැති හිස් බවක් දැනේ. නමුත් ඔහු මේ දෙවන වතාවටත් ගත් එකේ, ඔහු ට කියන්නට යමක් වේ නම් අසා සිටින්නට බැරි කමක් නැත.

“හෙලෝ”

හැකි තාක් සාමාන්‍ය තත්වයෙන් වහරන්නට ඇය මුලින් ම සිතා ගත්තා ය.

“මොකද්ද මේ මල්ලි කියන්නෙ…ගිනි තියා ගන්න ගිය කතාවක්…”

මේ තරම් පපුව හිස් වී ගියේ කෙසේ දැයි ආරාධනා ට තේරුම් ගත නො හැකි තරමි. ඇය අඩ සිනහවක් නගා ගත්තා ය.

“ඒක එච්චර දෙයක් නෙවේ කාශ්‍යප. දරුවො දෙන්නෙක් එක්ක තනි වෙච්ච ගෑනියෙක්ට ඒ ප්‍රෙශර් එක දරා ගන්න බැරි වෙලාවක් එනව කියන එක සාමාන්‍යයි. ටික ටික ගිනියම් වෙලා එක තැනකදි පුපුරල ගියාට පස්සෙ ගිනි කන්දකට වුනත් ඊළඟට එන්නෙ නිවෙන කාලෙ. ඒ සිද්දියෙන් පස්සෙ මටත් එහෙමයි වගේ. දැන් කිසිම අවුලක් නෑ. ඔයා පසුතැවීමක් තියා ගන්න ඕන නෑ ඒ ගැන. ඔයා ගැන මට කිසිම ඊරිසියාවකුත් නෑ. ඒ වගේම…මට ඉල්ලීම් දෙකක් තියනව කරන්න. එක…කවදාවත් දරුවො මගෙන් ඈත් කරන්න හදන්නෙපා. දෙක. මට ආයෙ කතා නොකළට කමක් නෑ. මොකද…තුවාලයක් වුණත් නිතර පෑරෙනකොට සනීප වෙන එක ප්‍රමාද වෙනවනෙ. දැන් මට ඕනෙ ඉක්මන් සුවයක්. පැටව් දෙන්න වෙනුවෙන් මං එහෙම කරන්න ඕන කියල ඔයාට තේරෙනවනෙ. තාත්තයි අම්මයි දෙන්නම නැති වෙලා බෑනෙ එයාලට. එහෙනං…මං තියන්නද කාශ්‍යප…”

ඇය එසේ ඇසුවාට පිළිතුරක් දී ගන්නට තරම් ඒකාග්‍රතාවයක් ඔහු ගේ සිත්හි වූයේ නැත. ආරාධනා පිළිතුරක් වෙනුවෙන් පමා වූයේ ද නැත. දුරකතන සම්බන්ධය බිඳ දමා එය කබඩ් එක මත තැබූ ඇය යහන මත වැතිර ගත්තා ය. රාජිකා මැණිකේ ගෙන් සුසුමක් ගිලිහිණ.

“රෑට උවමනා වුණොත් කතා කරන්න පුතේ”

ඒ සුසුමේ කෙළවර ඇය ආරාධනා ට සිහිපත් කිරීමක් කළා ය.

“හා අම්මෙ. අම්ම නිදියන්න”

රාත්‍රිය සුව සේ පහන් විය. පෙර දා රාත්‍රියේ එකිනෙකා ගේ හදවත් වල වූ කිසිදු දෙගිඩියාවකට ඉඩ හසර පෑදී නො තිබීම නිසා සැනසීම තව දුරටත් තහවුරු විය. 

බිඟුනි ව පාසලට දමන්නට ගිය ගමන් කවීශ්වර පෙර දා සිදුවීම ගැන තාරා ට කතා කොට කීවේ ය. ආරාධනා ගේ පවුලේ අයගෙන් මේ බව සඟවා තබා ගැනීම වරදක් යයි ඔහු ගේ හිත නිතර කියන්නට වූ බැවිනි.

“මෙහෙමයි. ආන්ටිලට දැන්ම මේක කියල එයාල කලබල කරවන්න ඕන නෑ. ඔයා තේරෙන කෙනෙක්නෙ තාරා. ඒකයි මං ඔයාට කියන්නෙ. ටිකක් ආරාධනා එක්ක හිමීට කතා කරන්න. මං කියන්නෙ එයා නෝමල් වෙන විදිහට. කවුන්සලින් වගේ දෙයක් ඕනද කියලත් ඔයා හිතල බලන්නකො. මන්නං හිතන්නෙ ඒ කුණාටුව ගහං ගියා කියලයි. අපි කරන්න පුළුවන් හොඳම දේ කරමු”

“මේක මට කිව්වට තෑන්ක්ස් කවීශ්වර. මං යන්නං කෙල්ලව බලන්න”

එකෙනෙහි තාරා සේනාසිංහ සැනසුම්පාය වෙත පැමිණියා ය. ඇය දුටුවේ මහා බරක් හිස මතින් බිම තැබූ ආරාධනා කෙනෙකි. ඇය අවංක සැහැල්ලුවක් පෙන්නුම් කළා ය.

“අක්කෙ මට සමහර දේවල් නිකං ෆිල්ම් එකක් වගේ මැවිල පේන්න අරං තියෙන්නෙ. අපි අතරෙ තිබුණ සම්බන්දෙ දිහා දැං එතනින් එළියට ඇවිත් බලනකොට…එයා කවදාවත් මං නිසා සතුටෙන් හිටියෙ නෑ නේද කියල මට දැනෙනව. මන්නං සතුටෙන් ඉන්න…සතුටෙන් ඉන්නව කියල හිතන්න උත්සාහවත් කළා. එයා මං දිහා බැලුවෙ පවා නොරිස්සුමක් එක්ක. මං පාඩුවෙම හිටියත් එයාට මාව වදයක් වගේ දැනුණ වෙලාවල් තිබුණ. මං මොනා කළත් ඒකෙ ඇදයක් තිබුණ එයාට. ඒව ආදරයක් තියා කිසි හැඟීමක්වත් නෑ කියන සයින්ස් නේද අක්කෙ…අනේ මට ඒව ඒ වෙලාවලදි තේරුණෙ නෑනෙ. මොන තරං මෝඩයෙක්ද අනේ මම…ඇත්තනෙ…කිසිම හැඟීමක් නැතුව දෙන්නෙක් එක වහලක් යට මොන එහෙකට විඳෝනවද…විඳෝල කියලවත් තේරුං ගත්තෙ නැති මෝඩ ගෑනියෙක් එක්ක…එක අතකට පව් එයා…ඔහොම හරි එයාගෙ පාරෙන් හැරුණ එක හොඳයි අක්කෙ”

තාරා පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය. ඔවුන් දෙදෙනා සිටියේ සඳයුරු ව වඩා ගෙන මිදුලේ තුරු සෙවනේ ය. පෙර දා රාත්‍රිය පුරා සුවඳ දුන් ඇට්ටේරියා මල් පෙති බිම විසුල සුදු මල් පියවිලි පලසක් තනා තිබුණේ ය.

“ඔයා ඒ අවබෝධෙට ආවනං එච්චරයි අරා. ගෑනු පිරිමි මේ කසාදයක් කියල මොන මගුලක් කරනවද කියල වෙලාවකට මට පුදුමයි බං. අපේ යාළුවො ගත්තත් කීයෙන් කී දෙනාද ඇත්තටම මේක ඇතුළෙ සතුටෙන් ඉන්නෙ…අපි ලෝකෙට පෙන්නනව එහෙම සතුටක් ගැන…නැති සතුටක් ගැන…ඒත් ගෙවල් ඇතුළෙ මරා ගන්නව. විඳෝනව. සැක කරනව. ගෙයිං පිට ඉන්න එකෙක්ට හරි එකියෙක්ට හරි ඒ දුක කියනව. එතකොට ඒ සම්බන්දකං දිව්‍ය ලෝක වගේ දකිනව. මහා විඳවීමක් එක්ක ළමයි හදල ගෙවල් හදල ජීවත් වෙනව කියල දුක්ම විඳල මැරිල යනව”

ඒ කතාවේ අවසානයත් සනිටුහන් කළේ සුසුමකි.

“ඇත්තටම මේ බැඳිල්ලක් කියල දෙයක් නොතිබුණානං…නේද අක්කෙ..”

“එහෙම වුණානං අපි අර අත් ඇරල දාපු හරක් වගෙ වෙයි බං. එක අතකට මෙහෙමවත් කන්ට්‍රෝල් එකක් ඇති කරල…මැරිල යනකල් එක ගෙදරක හරි ඉන්නව නීතියෙන් බැඳිල නිසා. අනිත් එක ළමයි. සීයට අනූ නවයක් ම කසාද මහ අතෘප්තියක් එක්ක වුණත් ඉතුරු වෙලා තියෙන්නෙ ළමයි නිසා. එහෙම නැත්තං…කසාද බැඳපු ඕනම මනුස්සයෙක්ට මේ මගුල දමල ගහල යන්න ඇත්තං කියල හිතුණ එකම වතාවක් හරි නැත්තෙ නෑ. වැදගත් ම දේ මේ නෙල්ලි ගෙඩියක් වගේ එක එක රස තියෙන කසාදෙ කියන මගුල තේරුං ගන්න එක. කඩාගෙන එළියට ගියත් වෙනස් ම එකක් හම්බ වෙයි කියල හිතන්න බෑ. ඒක තේරුං අරං උපේක්ෂාවෙන් මේ නෙල්ලි ගෙඩිය වළඳන එක තමයි හොඳ ම…එහෙම බැරිනං විඳවන්නැතුව දික්කසාදෙකට යන්න ඕනෙ. කාශ්‍යප පාරක් තෝර ගත්ත. දැන් උඹත් මාර්ගයක් තෝර ගත්ත. අපිවම අවුල් කර ගන්නෙ නැතුව…අලුත් පාරත් විඳවීමක් කර ගන්නෙ නැතුව ගමන යන එක තමයි කරන්න ඕනෙ අරා”

“මං ඒකට ලෑස්තියි අක්ක”

ආරාධනා ගේ ඇස් වල ස්ථිර අධිෂ්ඨානයක් විය. තාරා ඇය ගැන විශ්වාසයෙන් මඳහසක් නගා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles