පෙර කිසි දා ක නො දැනුණ විදිහේ ආත්ම ශක්තියකින් ආරාධනා පිරීතිරී යමින් සිටියා ය. කාශ්‍යප ව යළි සිය ජීවිතයේ හතර මායිමට වද්දා නො ගන්නට ගත් තීරණය, ඇයට ඇය කවුරුන්දැයි හඳුන්වා දීමක් සරි විය. ආරාධනා සේනාසිංහ වූ කලී පිරිමියෙකු ගේ වාරුවක් නොමැතිව සිට ගත නො හැකි ගැහැනියක නොවන බව ඇය ඈ වටා උන් සියල්ලන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔප්පු කොට සිටියා ය. අම්මා කෙනෙකු ට විතරක් වුව තනිව දරුවන් උස් මහත් කර ගැනීමේ හයිය තිබේ ය යන්න ඇය තමන් ට ම කාවද්දන්නට වූවා ය. ඇතැම් ව්‍යසන වල දී වැටෙන්නට ගියොත් අල්ලා ගන්නට පවුල් දෙකක් ම ඇය දෙපස සිටිනවා ය යන සිතිවිල්ල, වඩාත් ශක්තිමත් වීමට හා ස්වාධීන ගැහැනියක ලෙස ඉදිරිය දෙස බලන්නට ඇයට මාවත පෙහෙළි කළේ ය.
ආරාධනා ගෙන් කාශ්‍යප ව ප්‍රතික්ෂේප වීම ගැන දැන ගත් වෙලාවේ ගජධීර යුවළ ට ශෝකයක් නො දැනුණා ම නොවේ. ඒ කියන්නේ ආරාධනා සදාකාලික ව ඔවුන් සන්තකයේ තබා ගත හැකි වස්තුවක් නො වන බව ස්ථිර වීම ය. නමුත් ඇගේ ආත්ම ශක්තිය ගැන ඔවුහු ආඩම්බර වූහ. ගජධීර නම් කළේ “මෝඩයා” යන වචනය පමණක් පිට කොට සිය පපුතුර වියපත් රෝම පිරිමදිමින් ඒ මේ අත සක්මන් කිරීම ය. ඔහු ගේ හද ගැබ තුළ සිය වැඩිමහල් පුත්‍රයා ගැන අතිමහත් කලකිරීමක් දලු ලා වැඩෙමින් තිබිණ. රාජිකා මැණිකේ කඳුළක් පිස ගත්තා ය.
“මටනං කවදාවත් එහෙම කෙළින් තීරණයක් ගන්න බැරි වෙයි. මං ගැන කොහොම වුණත්..දරුවො දෙන්න ගැන හිතද්දි…කොහොමද උං හදා ගන්නෙ කියන බය පපුවට බරක් වෙන්න තිබුණ. ඒක නිසාම මනුස්සය මොන වැරැද්ද කරල ආවත් අඬ අඬ තැවි තැවි හරි ඒ මිනිහ එක්කම ඉන්නව මිසක් වෙන අඩියක් තියන්න කීයටවත් හිතන එකක් නෑ. ඒත් දුවට තිබුණ ඒ හයිය ගැන මට ආඩම්බරයි. මගෙ පුතා වුණත් වැරැද්දක් කළානං ඒක වැරැද්දක්ම තමයි. මගෙ බඩෙං වදාපු දුවට වෙන පිරිමියෙක්ගෙං මේ දේ වුණානං…ඒ දැනෙන වේදනාව පහුගිය කාලෙම මං වින්ද. මගෙ දුවට එහෙම වුණාටත් වඩා දුවට එහෙම වුණ එක මගෙ හිතට බරක්…වදයක්…ඒ ඔයා දවසක අපිව දාල මේ ගෙදරින් යනව කියල දන්න නිසා. ඒ වුණත් ඔයාගෙ හිතේ හයිය ගැන ගෑනියෙක් විදිහට මට හරි ආඩම්බරයි පුතේ. ගෑනියෙක් විදිහට මගෙ පුතා හරි ඔයාට කරපු වරදට…ඔයා මේ විදිහට උත්තර දීපු එක…මාත් ගෑනියෙක් නිසා මට ආඩම්බරයක්…”
“අම්…මෙ…මං ඕගොල්ලො දාල යනව කියලම හැම තිස්සෙම හිතන්නෙ ඇයි අනේ…”
ආරාධනා රාජිකා මැණිකේ ගේ ගෙල වටා දෑත් දමා ඇගේ හිස සිය උරහිස මත්තේ රඳවා ගත්තා ය.
“හරි ඉතිං…හැමදාම මෙහෙ ඉන්න බෑනෙ. ඒක නිසා ගියාමයි කියමුකො…ඒ වුණාට මේ ආදරේ මේ බැඳීම වෙනස් වෙන්නෑ අම්මෙ. සමහර දේවල් එහෙමයි…”
කාවින්දි මේ පුවත දැන ගත් වහා සැනසුම් පාය ට දිව ගෙන ආවා ය. ඇය ඉතා තදින් ආරාධනා ව වැළඳ ගෙන මඳ වෙලාවක් නිසල ව සිටියා ය. හඬන්නට කඳුළු ඇස් දෙකේ තිබිණි ද ඇයට ඕනෑ වූයේ හඬන්නට නොවේ.
“මේක සමරන්න ඕන දවසක් රාධා. අපි තාරා අක්කටත් එන්න කියල කොහෙ හරි ගිහිං හොඳට කාල බීල සෙලිබ්‍රේට් කරමු. මේ වගේ දවස් වලට නිකංම යන්න දෙන්න හොඳ නෑ. මගෙ හොඳම යාළුව ගැන ඉස්සරටත් වඩා අද මට ආඩම්බරයි”
ඇගේ පෙරැත්තය මත තාරා ගේ රියෙහි මිතුරියෝ තිදෙන පිටතට ගියහ. අම්මලාට වදයක් යයි කියා ආරාධනා සඳයුරු රැගෙන යන්නට හැදුව ද රාජිකා මැණිකේ දරුවා බලා ගැනීමේ වගකීම පවරා ගත්තා ය. නෑනලා දෙන්නා එක්ක දරුවන් ද නොමැතිව පිටතට යාම ආරාධනා ට අලුත් සතුටක් ගෙනාවේ ය. ආරාධනා පමණකුදු නොව තරුණියන් තිදෙනා ම සිටියේ සිය නිදහස පිළිබඳ අමුතු හැඟීමක් සජීවී ව විඳිමිනි. විවාහයෙන් පසුව, මෙතුවක් ඇය මේ වාගේ විනෝද වීමකට තනි පුද්ගලයෙකු ලෙස පිටතට පැමිණියේ ම නැත. එවැන්නක් සිදු වූයේ පවුලක් ලෙස කාශ්‍යප ද දරුවන් ද ගෙදර අය ද සමග ය. ඉතින් මේ මිතුරු සමාගමය හිතට සැහැල්ලුව හා සුවය ගෙනාවේ ය. ඔවුහු මුහුදු තීරයෙහි ඇවිද වෙරළාසන්න අවන් හලකින් විශේෂ කෑම වේලක් ඇණවුම් කළහ. කමින් ද බොමින් ද සිනහ වෙමින් ද දොඩමළු වෙමින් ද ඒ හෝරා කිහිපය ගෙවී ගියේ සැහැල්ලුවක් හදවතෙහි දනවමිනි. ඔවුහු උනුන් ඉදිරියේ ඉතා නිර්භය ලෙස සිය ආත්මයන් නිරාවරණය කළහ. අතීතයේ දී, සිය යෞවනයේ දී ඔවුන් ගේ ප්‍රේමය පතා ආ පිරිමින් ගැන සිහිපත් කළහ. ඔවුන් අද කොහේ කොතනක කෙසේ සිටිනු ඇත්දැයි කතිකා කළහ. වර්තමාන ජීවිතය තුළට එබිකම් කරන්නට හදනා විවිධ පිරිමි ආත්ම ගැන කියමින් සිනහ වූහ. පිරිමින් ගේ පොදු වූ දුර්වලතා ගැන විවෘත ලෙස කතා කළහ. ආරාධනා විවාහ වූයේ කාවින්දි ගේ අයියා සමග වී ද, තාරා විවාහ වූයේ ආරාධනා ගේ අයියා සමග වී ද නංගිලා නොදුටු අයියලා ගේ දුර්වලතා බිරින්දෑවරුන් විසින් හැඳිනගනු ලැබ තිබිණ. ඒ පොදු මිනිස් ගති ගැන සියුම් අවබෝධයක් උනුන් වෙතින් ලබන්නට ඔවුහු උත්සාහ කළහ.
“ආරාධනා දැන් අපිට ආදර්ශ චරිතයක්. අපේ අය වුණත් වැරැද්දක් කළොත් ආරාධනා කරපු එක තමයි අපිත් කරන්නෙ කියන දේ ඇස් පනාපිට උදාහරණත් එක්ක දෙන්න පුළුවන්”
“වෙන ගෑනු පරානයක් ගැන හිත යනකොටම අපේ අයට ඉස්සරහට ආරාධනාව මතක් වෙයි”
“ඇයි අපේ එක්කෙනා මේක දැනගත්ත ගමන් කියනව හොඳම යාළුවගෙන්නෙ මෙයත් ඉතින් ඔපීනියන්ස් ගන්නෙ. පරිස්සං වෙන්න වෙයි වගේලු”
“ඇයි මේකිගෙ අයිය මට කියනව…අපේ නංගි දාපු ලොකු සීන් උඹ එහෙම මට දාන්න එන්න එපාලු”
ඇස් වලින් කඳුළු එන තුරු ම සිනහ වෙන කාරණා ඔවුන් ට තිබිණි. විවාහ වීමත් එක්ක බොහෝ විට මුලින් ම සීමා වී යන්නේ මිතුරු ඇසුර බව ඔවුන්ට ද වැටහෙන්නට වූයේ ඒ වෙලාවේ ය. නමුත් ස්ත්‍රීන්ට සේ ම පුරුෂයන්ට ද ස්ත්‍රී පුරුෂ බේධයකින් තොර ව ඉඳහිටවත් මිතුරු ඇසුර උවමනා වේ. ජීවන සහකරුවන් හෝ සහකාරියන් වෙතින් සපුරා ගත නො හැකි, මිත්‍රත්වයට පමණක් සංවේදී වෙන කෝණයක් හැම මිනිස් හදවතක ම වේ.
ඉතා ප්‍රීතිමත් හෝරා කිහිපයක් සිය ආත්මයන් තෘප්ත කිරීම වෙනුවෙන් වැය කොට නෑනලා තිදෙන නික්ම ගියේ මාසයකට වතාවක්වක් මෙහෙම අවස්ථාවක් උදා කර ගත යුතු බවට තරයේ අදිටන් කර ගෙන ය.
බිඟුනි ගේ පාසලේ දෙමාපිය ගුරු රැස්වීම පැවැත්වීමට නියමිත වූයේ ඒ සිදුවීමට ආසන්න දිනෙක ය. මාස කිහිපයකට පසු සාරියක් හැඳ ගෙන ආරාධනා යන්නට සූදානම් වූයේ උනන්දුවෙනි. වෙනදාට ඇය මේ ගමන ගියේ කාශ්‍යප සමගිනි.
“අම්මයි තාත්තයි දෙන්නම දරුවගෙ පේරන්ට්ස් මීටින් එකට යන එක හරි හොඳයි කාශ්‍යප. එතකොට එයාට කන්ෆිඩන්ට් හැදෙනව…අම්මයි තාත්තයි දෙන්නම එයා එක්ක ඉන්නව කියල…ඒ ලෙවල් ක්ලාස් වල ළමයි අපිත් එක්ක හරි ඕපන් කතා කරනවනෙ ඒ ළමයින්ගෙ ප්‍රශ්න ගැන…ළමයෙක්ගෙ හිත අපි නොහිතන පැති වලින් වැඩ කරනව කාශ්‍යප”
ඇය ඔහු ව කැඳවා ගෙන යන්නේ ඒ වගේ දේශනයක් කොට ය. නමුත් අද ඇය තමුන් වෙනුවෙන් වෙනම ආකාරයක දේශනයක් දුන්නා ය. අම්මා හෝ තාත්තා ගෙන් කෙනෙකු ළඟ නැති වූවත් විශ්වාසවත් ලෙස ඒ දරුවා ලෝකය ඉදිරියට පිය නගා යා යුතු ය. ඒ වෙනුවෙන් දරුවා ගේ මනස සූදානම් කළ යුතු ය.
ඇය ගෙදරින් පිටත් වන්නට සූදානම් වෙත්දී කවීශ්වර ගෙදර ආවේ ය. දෙමාපිය රැස්වීම ගැනත් ඒ සඳහා බිඟුනි වෙනුවෙන් වෙන් වී ඇති වෙලාව ගැනත් ඔහු දැන ගත්තේ උදේ පාසල් යන ගමන් බිඟුනි ගෙනි. ආරාධනා ගෙදරින් පිටත් වීමට ආසන්න වේලාව අල්ලා ඔහු එහි ආවේ ඇයට අමුත්තක් නො දැනෙන සේ ය.
“යං එහෙනං මං ඉස්කෝලෙ ළඟින් දාන්නං”
කියා ඔහු කීවේ කිසිත් නො දන්නා සෙයිනි.
“අනේ එපා කවීශ්වර. මං මේ ටැක්සි එකක් දාන්නයි හදන්නෙ”
ආරාධනා ගත් කටට ම කීවා ය.
“ඒක තමයි කිව්වෙ ටැක්සි දාන්න ඕන්නෑ මං එක්කං යන්නං කියල”
ඔහු තරමක් තද ස්වරයකින් කීවේ ය.
“හරි එහෙනං මං පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහනව. මොකද අපේ කිසි ගමනකට සල්ලි වියදං වෙන්නෙ නෑනෙ අනේ. බිඟුව ගෙනියන එකට වුණත්…ට්‍රාන්ස්පෝට් වියදං ඔයාට තනියම දරන්න දෙන්න බෑනෙ”
“හරි හරි. ටියුශන් කරල සල්ලිකාරයෙක් වුනාම බැරියෑ. එනව යන්න”
ඒ ආදරණීය තරවටුව ගැන ආරාධනා සතුටු වූවා ය. ඒ කවීශ්වර කේන්ති නො ගැනීම ගැන ය.
කවීශ්වර රිය පැදවූයේ රහසිගත සතුටකිනි. ආරාධනාව අවනත කර ගැනීමට සමත් වීම ගැන ඔහු තමන් ගැන ආඩම්බර වූයේ ය. ඇය වැනි සාඩම්බර ගැහැනියක සමග කටයුතු කරනා එක පහසු නැති බව දැන් දැන් ඔහු වටහා ගනිමින් හිඳී. ඒ අසීරුව අත්හදා බලන්නට, ඒ අභියෝගය තමන් වෙතට ම ලබා දෙන්නට දැන් ඔහු සූදානම් ය.
“අනේ ආරාධනා ඔයා දැක්ක කල්…පුතා හම්බුනාට පස්සෙ ඔයා තවත් ලස්සන වෙලා කෙල්ල”
පාසල ළඟ දී හමු වී කතා බහ කොට පුරුදු, බිඟුනි ගේ පන්තියේ දැරියක ගේ අම්මා කෙනෙක් ගේට්ටුව ළඟදී ම ආරාධනා ව අල්වා ගත්තා ය. දරු ප්‍රසූතියක් සිදු වූ ගමන් සැමියා විසින් අත් හැර දමනු ලබන කාන්තාවන් ඒ තරමට ලස්සන වෙනවා දැයි ඇය සිතින් සිතුවා ය. නමුත් මුවින් වදනුකුදු නො බිනුවා ය. සිය අතිශය පෞද්ගලික ජීවන කාරණා බෙදා හදා ගත යුත්තේ සමීප ම පුද්ගලයන් සමගින් පමණක් බව ඇය කවදත් විශ්වාස කළා ය.
“මේ ආරාධනා. කවුද දැන් බිඟුව අරන් යන එන නළුව ආ…”
තවත් තරුණ මවක ඔවුන් වෙත දිවැවිත් විමසා සිටියා ය. එතැන ඉපදුණේ සිනහ සයුරකි.
“ඔව් අනේ. මං ඒත් හොඳට මූණ දිහා බලනව…හස්බන්නං අපි අඳුරනවනෙ…”
“මං බිඟූගෙන් ඇහුව අම්ම මල්ලි කෙනෙක් ගෙනාවද පුතේ කියල…ඔව් කිව්ව. මේ තාත්ත නෙවෙයි නේද පුතේ කියල ඇහුවට කෙල්ල උත්තර දුන්නෑනෙ. හිනා වෙලා යනව විතරයි”
“මල්ලි අනේ”
“ඒක තමයි. අපි ඒත් බැලුව හිටපු ගමන් හස්බන් මාරු කරලද කියල”
ආරාධනා ගේ හිතේ කොනිති ගැසීමක් සිදු විය. නමුත් ඕ ඒ නො තකා හැරියා ය. පාසලක් ළඟ ඕපාදූප කතා වීම කියන්නේ ඇයට නුහුරු හෝ නො දන්නා කාරණාවක් නොවේ.
“හැබැයි කොල්ල බිඟුනිට මාර ආදරෙයි ආ…මාරම කෙයරිං…මං බලං ඉන්නව උදේට…කෙල්ල ගේට් එකෙන් ඇතුල් වෙලා පේන්නැතුව යනකල්ම ඉඳලයි කොල්ල යන්නෙ. දවල්ටත් බෙල් එක ගහන්න කලින් මෙතන”
“එහෙනං මෙතන කාට හරි හිත ගිහින්ද දන්නෑ”
කියා ආරාධනා ද සිනහ වූවා ය. ආපසු එන ගමනේ දී ඇය ඒ බව කවීශ්වර ට කීවේ ආඩම්බරයෙනි.
“අම්මල ටික පොර කනව අන්න…ඔයා කවුද කියල දැන ගන්න…නළුවෙක් වගේ කිව්වෙ”
කවීශ්වර ඇදෙස බලා අඩ සිනහවක් පමණක් හෙළා ඉවත බලා ගත්තේ ය. ඔහු ගේ ඔය සිනහවට එකල බාලිකාවන් වසඟ වී සිටි සැටි ආරාධනා ට වහා සිහිපත් විය. ඒ කාලේ කවීශ්වර යනු දඟයෙකි. වයසින් පරිනත වීමත් එක්ක දැන් ඔහු ගේ වන්නේ පෙර දී ට වඩා වෙනස් කඩවසම් ආකර්ෂණීය බවකි. ඇස් කුඩා වෙන ඒ නල දත් සිනහව නම් එදා වාගේ ම ය.
“බලනව එහෙම නෙවෙයි අම්මල දිහා…”
ආරාධනා ගේ ඒ තරවටුවට නම් කවීශ්වර හඬ නගා සිනහ වූයේ ය. ඇය අස ඒ තරම් සැහැල්ලු වෙන්නට ඊට පෙර කිසි දාක ඔහු ට අවස්ථාවක් උදා වී තිබුණේ නැත.
“ඇයි…මොනා වෙනවද බැලුවහම…එතන හොඳ කෑලි ටිකක් ඉන්නව”
“කෑලි…මාළු කෑලිද…”
සිනහව ගිල ගනිමින් ඇය බොරුවට රැව්වා ය.
“ඒ කෑලි නෙවෙයි. දැන් සැනසුම් පායට හොඳ ගෑනු ළමයෙක් තමයි ඕනෙ. මං වුණත් මෙහෙන් ගියාම…කොච්චර වුණත් අම්මලට පාළු දැනෙයි. පොඩි දෙන්න නැති වුණහම සාංකාවට එයිද කියලත් මට බයයි. ඒ අඩුව නොදැනෙන විදිහට හොඳ ගෑනු ළමයෙක් එක්කගෙන එන්න කාලෙ හරි දැන්. ඒ ගැන හිතන්න කවීශ්වර. අපි ගියාට පස්සෙ ඉතුරු වෙන හිස්තැන…නොදැනෙන විදිහට පියවන වගකීම තියෙන්නෙ ඔයාට”
“ඒ හිස්තැන පුරවන්න පුළුවන් වෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් වෙයිද…”
මඳ නිහැඬියාවකට පස්සේ ප්‍රශ්නයකින් ම ඔහු උත්තර දුන්නේ හිතේ හිර වී තිබූ මහ බරක් ද එක්ක ය.