නොනැවතෙන

මයුරි ටවුමේ කොමියුනිකේෂන් එකේ රැකියාවට ගිහින් මේ ගෙවෙන්නේ තුන්වෙනි අවුරුද්ද. මයුරි එහෙ වැඩට යනකොට ඒක අතිශය මූලික මට්ටමේ කාරණා කිහිපයක් විතරක් තිබුණ බොහොම පොඩි ඉඩක පවත්වාගෙන ගියපු ආයතනයක්. උසස්පෙල සාර්ථකව ඉවර කරගන්න උවමනාවට වඩා  ගෙදර ආර්ථිකය ට කර තියන උවමනාව උඩට උස්සලා අරගෙනයි  මයුරි ඒ රස්සාවට යන තීරණය ගත්තේ. 

නංගිලා දෙන්නට අඩුවක් නොවෙන්නත්, රිය අනතුරක් නිසා රැකියාව අහිමි වුන අය්යගේ පවුලේ වගකීම් වලට හය්යක් වෙන්නත් මයුරි ට උවමනා වුණා. කොමියුනිකේෂන් එකට ගිය දවසේ ඉඳන්ම මයුරි එතන වැඩ කලේ තමන්ගේ තැනක් කියලා හිතාගෙනමයි. ඒ නිසාම එක පාරක් අයිඩෙන්ටි එකක් ෆොටෝකොපි කරගන්න  වගේ පොඩිම වැඩකට  එන කෙනෙක් පවා  තැන මතක තියාගෙන, ඊළඟ දවසෙත් ආවා. 

මයුරි හැම පාරිභෝගිකයෙක්ටම ඉතාම කාරුණික, ඉක්මන් සහ සෑහිමකට පත් වෙන්න  පුලුවන් තරමේ සේවයක් වෙනුවෙන් උපරිම උත්සාහ කලා. ඒ දේවල් ගැන හොයලා බැලුවා. ඒවා මයුරිගේ සහජ හැකියාවන්.

කොමියුනිකේෂන් එකේ බිස්නස් වැඩි කරගන්නත් මයුරි තනියෙන් එක එක සැලසුම් හැදුවා. ටියුශන් ගිය සර්ලාව මුණ ගැහෙන්න ගිහින් ටියුට් හදන වැඩ , ටයිප් සෙටින්, ප්‍රින්ට් ගන්න වැඩ වලට අවස්ථාව ඉල්ලගත්තා. ක්ලාස් යන යාලුවෝ හරහා එයාළගේ ෆොටෝකොපි වැඩ ගෙන්නගත්තා. ප්‍රින්ට් අවුට් ගන්න වැඩ වලදී සෑහෙන්නම උදව් කරමින් නම්‍යශීලීව ඒ දේවල් කරලා දුන්නා. දන්න කියන  ටියුශන් සර්ලාගේ පණිවිඩ එක්ක  තව සර්ලා මයුරි සේවය කල කොමියුනිකේෂන් එකටම ආවා. 

ඒ කොහොම කලත් කොමියුනිකේෂන් එකේ හිමිකාරයා මයුරිට මුලදී පොරොන්දු වුන මුදල ඉක්මවන සතයක්වත් දුන්නේ නැහැ. සමහරවෙලාවට එහෙම වෙනකොට මයුරි මනසින් කඩාගෙන නොවැටුණා නෙවෙයි. මොකද උපයන මුදල ගැන මයුරිට අදහසක් තිබුණා..ඒත් මාසෙන් මාසේ ඉවසුවා. වෙනස් නොවී වෙහෙසිලා වැඩ කලා. 

ඒ අතරේ කොමියුනිකේෂන් එක ටවුමේ තට්ටු දෙකක ගොඩනැගිල්ලකට මාරු වුණා. සේවාසැපයුම් පුළුල් වුණා. සේවයට තව කිහිප දෙනෙක් එකතු වුණා. මයුරිගේ ඉවසීම නැතිම වෙලා ගියේ ඒ හැමෝගෙම වැටුප් තමන්ගේ වැටුපට වඩා වැඩි බව දැනගත්තාම. ඒ බව තවත් ඉවසගෙන කොමියුනිකේෂන් හිමිකරුගෙන් පඩි වැඩිවීමක් ගැන ඇහුවම මයුරිට ලැබුණේ අකුණක් වැදෙන තරමට දැනෙන පිළිතුරක්.

“ඒ ළමයි තුන්දෙනාම උසස්පෙළ සමත්… අනෙක අවුරුදු දෙකක් විතර මාතර වැඩ කරලා තියෙනවා …”

“අය්යේ , මාත් දැන් මෙහෙ අවුරුදු තුනක් නේ…”

“ඉන්න බැරි නම් යනවා ළමයෝ.. මේ බිස්නස් කරන එක ලේසි නෑ. මේ බිල්ඩින් එකටම මම මාසෙට පනස්දාහක් ගෙවන්න ඕනි…”

මයුරි අයිතියට කියලා තිබුණ හැමදේම අරගෙන ගෙදර ගියේ අඬාගෙන.  අම්මලාට නොපෙනෙන්න නෑනාගේ උරිස්සට වෙලා මයුරි ඇති වෙන්න ඇඬුවා. සහෝදරියක් නැති තමන්ට සහෝදරියක් වුණ, තවමත් හැමෝගෙන ජීවිත වල සැප ගැන විතරක්ම හිතන කෙල්ල වෙනුවෙන් නෑනට කරන්න තිබුණේ එකම දෙයයි.

“නංගී..   ඒ කමියුනිකේශන් එක දියුණු වුන රහස් ටික තියෙන්නේ ඔයා ළඟ.. මේ මාලෙයි, වළලු දෙකයි ගන්න… අපි බැංකුවට ගිහින් කතා කරලත් බලමු… අතන හන්දියේ වහපු කඩ කෑල්ල මාස හයකට ගමු.. ඔයා තනියෙන් වැඩේ පටන් ගන්න.. අය්යාත් කඩේ ඉඳීවි ඇවිල්ලා…”

මයුරි කඳුළු පිහදාගත්තා. නෑනා දෙවෙනි අම්මා වගේ පිටිපස්සෙන් හිටියා. සමෘද්ධි බැංකුවෙන් ලක්ශ තුනක ණයක් අනුමත කරගන්න පුලුවන් වුණා. මුදල මදි වුනොත් පෞද්ගලිකව උදව් කරන්න සමෘද්ධි බැංකුවේ කළමනාකාරතුමා එකඟ වුණා.  ඒ හැඳුනුම්කමක් එක්ක, ප්‍රසිද්ධ  වෙන්දේසියකින් නොහිතපු අඩු මුදලකට මයුරි පලමු අදියරේ උපකරණ සෑහෙන්නම මිලයට ගත්තා. 

නංගිලා දෙන්නාගේ යාලුවෝ පාලු කඩ කාමරේ අපූරු එලිය ඇති තැනක් කරා. නගරය පුරා ප්‍රචාරණ වැඩ කලෙත් ඒගොල්ලොමයි. මයුරි පෞද්ගලික කිසිම කෙනෙක්ට බිස්නස් ඉල්ලලා කතා නොකර ඉන්න තීරණය කලා. හැකියාව උරගා බලන්න තනියෙන් තීරණය කලා. 

නැකතට පොල්තෙල් පහන පත්තු කරනකොට මයුරි ගේ පිටිපස්සෙන් සෑහෙන්නම අය හිටියා. 

ඒ අය මයුරිට ඉස්සරහට යන පාරේ හැම තැනකම අනිවාර්යයෙන් මුණ ගැහෙන විශ්වාසය මයුරිට තිබුණා. 

තමන්ගේ වටිනාකම් වෙනුවෙන්, තමන්ම සටන් කරන්න ඕනි කියලා අවුරුදු තුනකට පස්සේ මයුරි වටහා ගත්තා.  හැකියාවන් ඉබේම විකුණෙන එක නවත්තලා දාගන්න ඕනි තමන්ම බව තේරුම් ගත්තා. ඕනෑම රැකියාවක සාධාරණ සීමාව ඉක්මවලා ගියාම ඒ වෙනුවෙන් , ඊට එරෙහිව හිටගන්න වෙනවා කියලා ඉගෙනගත්තා.

ජීවිතේ  රේස් එකක් වෙන වෙලාවට ප්‍රතිවාදියා පරද්දන එක උපක්‍රමශීලී ව,  අනිවාර්යයෙන් කරන්න වෙන දෙයක්  බවත් මයුරි  දවසක අනිවාර්යයෙන්  ඉගෙනගනීවි.  එහෙම වුණාම මයුරි එයාගේ ගමන අලුත් වෙවී, ඒත් නැවතෙන්නේ නැතුව දිගටම යාවි.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles