හොඳම ඉස්කෝලේ

“ඔයා ගියපු ඉස්කෝලෙ වගේ නෙවෙයි අපේ ඉස්කෝලේ ඉතින් මාර ප්‍රසිද්ධයිනේ. පැත්තෙ ඉන්න හොඳම ළමයිනෙ අපෙ ඉස්කෝලෙට යන්නේ”

තිසරිගෙ කටේ ඉතින් හැම තිස්සෙම තිබුනෙ ඔය සවුදමම තමයි.

කාව්‍යා එහෙම හිතන ගමන් උපුලි දිහා බැලුවෙ මූණ ඇඹුල් කරගෙන.

මේ හැමෝම වැඩ කරේ එකම ඔෆිස් එකේ.

තිසරිට වඩා කාව්‍යයි, උපුලි දෙන්නම අවුරුදු දෙක තුනකින් බාල වුනාට මොකෝ තිසරි වගේ දෙතුන් ගුණයක් මහන්සි වෙලා කඩියො දෙන්නෙක් වගේ වැඩ කරපු කෙල්ලො දෙන්න දෙන්නට දෙන්න වගේම ඔෆිස් එකේ අනිත් හැමෝටමත් හරිම ප්‍රියයි.

හැබැයි තිසරිට ඇරෙන්න.

කාව්‍යා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වගේම උපුලි රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය අරගෙන එද්දි තිසරිට ඒ වෙද්දිත් තිබුනෙ රස්සාවෙන් ලැබිච්ච අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකයි එකම එක ඩිප්ලෝමා එකකුයි විතරයි.

මේ කිසිම දෙයක් කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තිසරි කට පියාගෙන පාඩුවෙ තමන්ගෙ වැඩ කරගෙන හිටියනම්.

ඒත් මොන කතාව පටන් ගත්තත් කතාව හැමදාම ඉවර වුණෙ තිසරිගේ මේ “අපෙ ඉස්කෝලෙ තමයි හොඳම කියන” වාක්‍යයෙන් නිසා කාගෙ වුනත් හිත් තුල තිබුනෙ තිසරි ගැන හොඳ ප්‍රතිරූපයක් නම් නෙවෙයි.

“මොනව උනත් මට මේ ජොබ් එක සෙට් උනෙත් ඉස්කෝලෙ නිසා. මම ඉස්කෝලෙ නම කිව්ව විතරයි පැනල් එකෙ හැමෝම නැගිටල මට ශේක් හෑන්ඩ් කරා”

“කැම්පස් එකේ ක්ලාස් තිබුනට වැඩක් නෑ අනේ ඕනම කෙනෙක්ට හොඳ බේස් එකක් වැටෙන්නෙ ඉස්කෝලෙන්නෙ”

“ඕන තැනකට ගිහින් ඉතින් ඉස්කෝලෙ නම කියල ඕන දෙයක් කරගන්න පුලුවන්. අපේ එම් ඩීත් අපේ ඉස්කෝලෙනෙ. මේ වගේ කම්පනි වල ප්‍රමෝශන් වලට යද්දි උනත් ඉස්කෝලෙ නම මාර ඉම්පෝටන්ට්”

කට උල් කර කර ඉස්කෝලෙ ගැන පම්පෝරි ගහන, මෙලෝ වැඩක් නොකරන, බැලුවොත් ඇත්තන් ෆෝන් එකෙන්, වෙන ඩිපාට්මන්ට් එකක වැඩ කරන තමන්ගෙ අගසව් දෙනමත් එක්ක කුටු කුටු ගගා අනුන්ට පද හදන තිසරිගෙ “හොම්බට අනින්න” මේ ඔෆිස් එකේ අනිත් මිනිස්සුන්ට හිතිච්ච වාර නම් ඉතින් අනන්තයි.

මේ කතාව ඇදිලා ආවෙ අවුරුද්ද අවසානෙ තමන්ගෙ පර්ෆෝර්මන්ස් ශීට් ෆිල් කරද්දි.

ගෙවිච්ච අවුරුද්දෙ තමන් කරපු කැම්පේන් වල වැඩ, ඒවයින් ලැබිච්ච් රිසල්ට්ස් ගැන කතා කර කර හිටපු අය අතරෙ උන්නු බාලම දෙන්න තමයි කාව්‍යායි උපුලියි.

කාව්‍යත් තිසරිලගෙ පලාතෙම උනාට මොකෝ එයා ගියේ ගෙවල් ළඟ තිබුණ ඉන්ටර්නැශනල් ස්කූල් එකකට. එහෙමයි කියල බොරු පොෂ් තිබිච්ච නැති කාව්‍යා තමයි මේ ඔෆිස් එකේ ඉවෙන්ට්ස් වල නිවේදන වැඩ හෙම ඔක්කොම කරේ. ඒකත් සිංහල ඉංග්‍රීසි බාශා දෙකෙන්ම.

මොනතරම් වළි කෑවත් ඒ තැන ගන්න තමන්ට බැරි වෙච්ච එක ගැන හිත යට තිබ්බ අමනාපෙ තිසරි එළියට දැම්මෙම කාව්‍යගෙ ඔය ඉන්ටර්නැශනල් ස්කූල් කතාව ඉස්සරහට අරගෙන.

“ඉන්ටර්නැශනල් ස්කූල් යන්නෙ අනේ මෙලෝ දෙයක් කරගන්න බැරි අයනේ. කිසිම කම්පිටිශන් එකක් නැතුව නිකන්ම ඔහේ එනවා. ඉන්ග්ලිශ් විතරක් හොඳයි ඉතින්. ඒ ඇරෙන්න වෙන මුකුත් බෑ.”

උපුලිගෙ නම් ගම් පළාත් අනේ අනුරාධපුරේ. ගමේ ඉස්කෝලෙට පොඩි පංතියෙ ඉඳල පහ වසර වෙනකම් ගිය උපුලි ශිෂ්‍යත්වෙ පාස් වෙලා තමයි ටවුමෙ ඉස්කෝලෙට ආවෙ. එතනිනුත් හොඳට ඉගෙන ගෙන කැම්පස් ආව උපුලිගෙත් පළවෙනිම රස්සාව තමයි මේ කම්පනි එකෙන් පටන් ගත්ත එක.

“ගවන්මන්ට් යුනිවසිටි වැඩක් තියෙනවද අනේ? රැග් කරන එකයි අරගල කරන එකයි ඇරුණම ඔයාලා මොනවද ස්ටඩි කරේ” කියල අහන තිසරිගෙ අනං මනං කියුම් වලට උපුලි නම් හිනාවෙලා කරබාගත්ත ඇරෙන්න මුකුත් කියන්න ගියේ නැති තරම්.

තිසරි හැම තිස්සෙම හිතුවෙ තමන් වගේ ලංකාවෙ ඉහලයි කියල කියන පාසලකට ගියාට පස්සෙ එතනින් එහාට ආය මොනව නොකලත් ඉස්කෝලෙට පුලුවන් කියල තමන්ව ඉස්සරහට අරගෙන යන්න.

එයාලගෙම ඉස්කෝලෙයි කියපු එම්ඩී මැඩම්ව දකින හැම වෙලාවකම අමුතුම ආඩම්බර හිනාවක් දැම්මට මොකෝ “ඒ මනුස්සය මෙයාගෙ නමවත් දන්නවද දන්නේ නෑ” කියල තිසරි නැති තැන තිසරිට හිනාවෙච්ච මිනිස්සු අන්තිමයි.

ගමේ ඉඳන් ආව උපුලිගෙ ඇඳුම් පැළඳුම් වල තිබුණ ගොඩේ ගතියයි, ඉන්ටර්නැශනල් ස්කූල් එකකට ගිය කාව්‍යාගෙ තිබුන ෆෝවඩ් ගතිය, කාව්‍යයගෙ වනචර කමයි, බොරු පොෂ් කමයි කිය කිය කතා හදපු තිසරි බලාපොරොත්තුවෙන් හිටියේ ඊලඟ අවුරුද්දෙ ප්‍රමෝශන් ලිස්ට් එකෙන් ඇසිස්‍ටන්ට් මැනේජර් පොසිෂන් එකක් අස්සට රිංග ගන්න.

සීනියර් එක්සෙකටිව් ලෙවල් එකේ උන්නු තිසරි මෙලෝ වැඩක් නොකර ඉඳල ප්‍රමෝෂන් බලාපොරොත්තු උනේ එතකොටත් එක්සෙකටිව් ලෙවල් එකේ උන්නු කාව්‍යා සග උපුලිට පොඩි කෝචෝක් පාරක් දාන්න එතකොට තමන්ට ඉඩ ලැබෙනවනෙ කියල හිතෙන් හීන දැක දැක.

ඔෆිස් එකේ තමන්ගෙ ජොබ් රෝල් එකට එන වැඩ වුණත් තමන්ට වඩා එක ලෙවල් එකකින් බාල කෙල්ලො දෙන්නෙක්ව මරව මරව වැඩ ගන්න තිසරිගෙ ජීවිතේ ඇත්තටම ඉස්කෝලෙන් එහා ගිහින් කියන්න දෙයක් තිබ්බෙම නැති තරම්.

ලොකුවට යාලු මිත්‍ර සම්බන්ධකම් නැති, පෙම්වතෙක් වත් නැති, තනියම උන්නු තිසරි පිහි තුඩු වගේ වචන වලින් එළියට දැම්මෙ තමන්ගේ හිත අස්සෙ තියෙන අසහනය, කාංසිය බව තිසරි වගේම වෙන කාටවත් තේරුණේ නෑ.

අනිත් එක තේරුණත්, හොඳින් දෙයක් කිව්වම උනත් ඇඟට කඩන් පනින තිසරිට බය නැතුව එහෙම දෙයක් කියන්න කවුරුත් බය උනා.

“ඊලඟ ප්‍රමෝශන් එක ආවම සැලරි ඉන්ක්‍රිමන්ට් එකකුත් ඒවි නේද?” කිය කිය තමන්ව හම්බෙන්න අනිත් ඩිවිශන් එකේ ඉඳල තමන්ගෙ ඩිවිශන් එකට එන අගසව් දෙනම එක්කත් කාව්‍යටයි උපුලිටයි ඇහෙන්න අනං මනං කියන්න තිසරි දෙපාරක් හිතුවෙත් නෑ.

උපුලි නම් ඇහුණත් නෑහුනා වගේ උන්නා. වැඩ කරද්දි කන්සන්ට්‍රේශන් තියාගන්න ඉයර් පොඩ්ස් ගහන් ඉන්න කාව්‍යාට නම් ඔය වචන ඇහුනෙත් නෑ මම හිතන්නේ.

ගින්න පත්තු වුනේ අලුත් අවුරුද්ද ආරම්භ වෙලා සති දෙකකින් විතර ඊමේල් පණිවිඩ ඔස්සේ තමන්ට ලැබුණ ප්‍රමෝෂන් ලෙටර්ස් දැක්කට පස්සෙ.

ප්‍රමෝශන්ස් ඉන්ෆෝම් කරන්නෙ අද කියල දැනගෙන තිසරි එදා ඔෆිස් එකට ආවෙත් මොණරෙක් වගේ ඔලුව උදුම්මගෙන.

ඒත් තිසරි බලාපොරොත්තු වෙච්ච ඊමේල් එක ඇවිත් තිබුනෙ තිසරි ට නම් නෙවෙයි. කාව්‍යා සහ උපුලිට.

“මේ මස අවසානයේ සිට ඔබව ජ්‍යේෂ්ඨ විධායක නිලදාරිනී තනතුර දක්වා උසස් කර ඇති බවත්, එයට අදාල වැටුප් වර්ධක පිළිබඳ වැඩිදුර විස්තර පසුව දැනුම් දෙන බවත් සතුටෙන් දැනුම් දෙමු” කියලා ආව ඊමේල් පණිවිඩේ එක්ක, කාව්‍යටයි උපුලිටයි මුලින්ම එයාලගෙ ගෘප් චැට් එකේ සුබ පැතුවෙ ඩිවිශන් හෙඩ්.

“පාටි ඕන, ට්‍රීට් ඕන” කියල කෑගහපු කට්ටියට බෙදන්න දෙන්නම සල්ලි දාල අරන් ආව කේක් පෙට්ටි අල්ලන ගමන් හිමින් සැරේ තිසරි ලඟට ගිය උපුලිට ඔරවපු තිසර කේක් ගන්නෙත් නැතුව ඔෆිස් එකෙන් එලියට ගියේ ගස්සගෙන.

“මොකෝ අර ගස්සගෙන ගියේ අරයා?”

එහෙම ඇහුවෙ සමීර.

“සමහර විට එයාගෙ ලංකාවෙ හොඳම ඉස්කෝලේ, ඉන්ටනැශනල් ස්කූල් එකකටයි ගමේ ඉස්කෝලෙකටයි පරාද වෙච්ච හන්දා වෙන්නැති”

මෙච්චර දවස් හැම දේම සද්ද නැතුව ඉවසන් උන්නු කාව්‍යා ඒ වචන එළියට දැම්මෙ උපුලි දිහාත් බලල හිනාවෙලා.

More Stories

Don't Miss


Latest Articles