තෙල් බිංදුවක්වත් නැතුව හදන රස කෑම තුනක්

තෙල් භාවිතයෙන් පිසූ ආහාර හැකි තරම් අඩුවෙන් ආහාරයට ගැනීම හැඩැති වගේම නීරෝගි සිරුරක් වෙනුවෙන් සිහින මවන ඔබ ඔබේ ජීවිතයට එක්කර ගත යුතුම ඉතා හොඳ පුරුද්දක්. 

රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකරමින් හෘදයාබාධ, අධි රුධිර පීඩනය, ආතරයිටීස් වැනි රෝග ඇතිවීමේ අවධානම අඩු කරගන්න, සිරුරේ අනවශ්‍ය බර අඩු කරමින් දීප්තිමත් සහ කුරුළෑ ලප කැළැල් වලින් තොර සමක් ලබාගන්න වගේම මානසික පීඩනය අඩු කරගනිමින් කායික සහ මානසික නීරෝගි බව ලබාගන්නත් අඩුවෙන් තෙල් පරිභෝජනය කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනව.

තෙල් නැතුව රසට කන්න බෑ කියල සිතුවිල්ලක් අපි අතර තියෙනවනෙ. ඇත්තටම තෙල් නැතුව ආහාර පිසුවොත් ආහාර වල පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවී ආරක්ෂා වෙනව වගේම ආහාර වල සැබෑම රසය අත්විඳින්නත් අපිට පුළුවන්. 

එහෙනම් තෙල් නැතුවත් රසට කන්න පුළුවන් කෑම වර්ග තුනක් හදාගන්න විදිහ අපි දන් බලමු. 

මාළු ව්‍යාංජනය (Fish curry)

අවශ්‍ය ද්‍රව්‍ය

  • ½ kg අලුත් මාළු
  • සියඹලා යුෂ කෝප්ප 01 ක්
  • ලොකු ළූනු ගෙඩියක්
  • තක්කාලි 02 ක්
  • ගාගත් පොල් මේස හැඳි 03 ක්
  • අමු මිරිස් කරල් 02 ක් 
  • කහ කුඩු තේ හැඳි 01 ක්
  • මිරිස් කුඩු හැඳි 02 ක්
  • ලුණු කුඩු රස අනුව
  • වතුර
  • කරපිංචා කොල
  • ඉඟුරු කැබැල්ලක්
  • මැටි ඇතිලියක්

සාදාගන්නා ආකාරය

සාමාන්‍ය තරමට කපාගත් මාළු කැබලි සමඟ සියඹලා යුෂ භාජනයක දමා හොඳින් මිශ්‍රකර විනාඩි දෙකක් තුනක් පමණ තබන්න.

දැන් මැටි ඇතිලියක් රත් වීමට ගින්දරේ තබන්න. 

සූදානම් කරගත් මාළු කැබලි ටික සියඹලා යුෂ සමඟම රත්වූ මැටි ඇතිලියට දමා එයට කුඩාවට කපාගත් ළූනු සහ තක්කාලි එකතු කරගන්න.

හොඳින් කලවම් කරගන්න.

ඊලඟට, ගාගත් පොල් ටික කහ කුඩු සමඟ මිශ්‍ර කරගෙන එයටම එකතු කරගන්න.

දැන් කුඩාවට කපාගත් අමු මිරිස් සහ ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉස්ම හින්දා ගැනීමට ප්‍රමාණවත් ජලය එක් කරගන්න. 

වතුර රත්වන විට මිරිස් කුඩු, ලුණු සහ කරපිංචා එක්කරගන්න.

මාළු කැබලි ටික හොඳින් පිසුනු පසු ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉස්ම ඉතිරිවන තෙක් ව්‍යාංජනය හින්දවා ගෙන ලිපෙන් බා ගන්න. 

මඳ රස්නෙන්ම ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

තම්බාගත් අල සහ බිත්තර (Mashed potatoes) 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි දෙකක් හෝ තුනක්
  • සුදුළූනු බික් 05 ක් පමණ
  • බිත්තර එකක් හෝ දෙකක්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු

සාදාගන්නා ආකාරය

හොඳින් සෝදා පිරිසිදු කරගත් අල පොතු ඉවත්කර කුඩා කොටු වල හැඩයට කපාගන්න.

තරමක් ලොකු භාජනයක් ලිපතබා එයට කපාගත් අල කැබලි සහ පොතු ඉවත් කරගත් සුදුළූනු එකතු කර අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා තම්බා ගන්න.

මේ අතරම තවත් භාජනයක බිත්තර තම්බාගෙන තම්බාගත් බිත්තරත් කුඩා කැබලි වලට කපාගෙන පසෙකින් තබාගන්න

දැන් තම්බාගත් අල සහ සුදුළූනු වල වතුර පෙරා වෙනම භාජනයකට දමා ගන්න. එයටම කපාගත් බිත්තර හා ලුණු එකතු කර කැබලි නොසිටින සේ හොඳින් මිශ්‍ර කරගන්න. 

ආහාරයට ගන්නා අවස්ථාවේදී ගම්මිරිස් කුඩු ස්පල්පයක් ඉසගෙන ආහාරයට ගන්න පුලුවන්.

බිත්තර සහ මස් සුප් (Egg drop chicken soup) 

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා හීනියට ඉරාගත් කුකුල් මස් අවශ්‍ය ප්‍රමාණයට
  • මස් තැම්බූ වතුර කෝප්ප 04 ක් පමණ
  • බිත්තර 02 ක්
  • බඩ ඉරිඟු පිටි (corn flour) මේසහැඳි 1 ½ ක් 
  • තලාගත් සුදුළූනු බික් එකක්
  • තලාගත් ඉඟුරු ස්වල්පයක්
  • ලුණු
  • ගම්මිරිස් (ලොකු කැබලි නම් වඩා හොඳයි)
  • කුඩාවට කපාගත් ලූණු කොල හෝ ලීක්ස් ටිකක්

සාදාගන්නා ආකාරය

මුලින්ම බිත්තර දෙක කඩාගෙන වෙනම භාජනයට දමාගෙන කහ මදය හා සුදු මදය හොඳින් කලවම් වෙනසේ හොඳින් මිශ්‍රකර පසෙකින් තබාගන්න.

මස් තම්බාගත් වතුරින් කෝප්ප භාගයක් පමණ ගෙන එයට බඬ ඉරිඟු පිටි එකතු කර හොඳින් මිශ්‍රකර එයත් පසෙකින් තබාගන්න.

භාජනයක් ලිප තබා එයට ඉතුරු මස් තම්බාගත් වතුර, සුදුළූනු, ඉඟුරු, ගම්මිරිස් ඇට කැබලි සහ මස් කැබලි එකතු කර හොඳින් කලවම් කරන්න.

හොඳින් හැඳිගාමින් වතුර නටනතුරු රත්කරගන්න.

ඉන්පසු එයට සාදාගත් පිටි මිශ්‍රණය එකතු කර තරමක් උකුවන තුරු විනාඩියක් දෙකක් පමණ හැඳි ගාන්න. 

නැවත මිශ්‍රණය උතුරන විට එකම දිශාවකට හෙමින් හැඳිගාන්න.

ඒ අතරම එයට සූදානම් කරගත් බිත්තර මිශ්‍රණයද එකතු කරන්න. 

මෙලෙස දිගටම එකම දිශාවකට තත්පර 30 පමණ හැඳි ගාගත් පසු ලිපෙන් බාගන්න. කුඩාවට කපාගත් ලූණු කොළ හෝ ලීක්ස් එකතු කරගන්න. 

අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්ද එකතු කරගන්න.

උණුසුම්ව පිළිගන්වන්න. 

මේ ප්‍රමාණය හතර දෙනෙකුට පමණ සෑහේ. 

ඉතිං තෙල් බිංදුවක්වත් නැතුව හදන්න පුළුවන් මේ වෙනස් වෙනස් රසවලින් යුතු කෑම හදල බලල ඒවගෙ රස අපිත් එක්ක බෙදාගන්න කියලත් ආරාධනා කරනව.

එහෙනම්, රසවත් ලිපියකින් නැවත හමුවෙමු !

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles