හීන් හිරිපොද වැස්සක් ඉහිර යන්නට පටන් ගති. ගජධීර වැරැන්ඩාවේ හාන්සි පුටුවේ දිගා වී සුදු වැලි මිදුලට වැටෙන වැහි පොද දෙස බලා සිටියේ ය. දුහුවිලි සුවඳට යටින් පපුව කැකෑරෙන මොකක්දෝ සන්තාපයක් කීරි ගැසේ. ඔහු ඉතා දිග හුස්ම ගත්තේ ය. එසේ ම හෙමින් දිගු හුස්ම හෙළුවේ ය. ආශ්වාස ප්‍රශ්වාසයත් හිතමින් කරන්නට සිදු වීම මොන තරම් ඛේදවාචකයක් දැයි ගජධීර ට සිතේ. ජීවිතය එපමණට ම පාළුවට ගොස් තිබේ. වල් වැදුණ මිදුලක් මෙනි. ආරාධනා දරු පැටවුන් දෙන්නා ද කැටුව සැනසුම් පායෙන් උන් හිටි ගමන් නික්ම ගියාට පස්සේ, දොළොස් මහේ පහණ නිවිණි. සැනසුම් පාය අඳුරු වී තියේ. පාළු වී තියේ. මූසල වී තියේ. ඒ ගැන චෝදනා කරන්නට කිසිවෙකු ඇත්තේ නැත. ඉල්ලීම් කරන්නට අයිතියක් හෝ යුතුකමක් ඇත්තේ නැත.
රාජිකා මැණිකේ කාමරයට වැදී වියන් ඇඳෙහි වැතිරී සිටී. නින්දක් නො ගිය ද හෝරා ගණන් එහෙම ඉන්නට තරම් අප්‍රාණික බවක් දැන් ඇයට දැනේ. කතා කරන්නට මොනවාවත් නැතිව හැම මුවක් ම ගොළු වී ගියා සේ ය. හදවත් තුළ සිතිවිලි දෝරෙ ගලයි. නමුත් කිසිවෙකු ඒ කිසි දෙයක් වචන බවට හරවන්නට දන්නේ නැත.
දවල් කෑමට ගෙදර ආ ගමන් කවීශ්වර යළි සාප්පුවට ගියේ නැත. ඔහු ඒ එන්නට ඇත්තේ බිඟුනි ව පාසලේ සිට ගෙනැවිත් සේනාසිංහ මැදුරට ඇරලීමෙන් පසු බව ගජධීර අනුමාන කරයි. කෑම වෙලාවට ආවාට කවීශ්වර කෑවේ නැත. කාමරයට වැදී යහන බදා ගෙන සිටී. පිට පිට රාත්‍රීන් ගණනාවක් ඔහු ගෙදර ආවේ බීමතින් බව ගජධීර දනී. රාජිකා මැණිකේ ට ද ඒ නො දැනුණා නොවේ. පොඩි එවුන් දෙන්නා ගෙදරින් ගිය එක ගැන පොඩි පුතාට හිතට අමාරුයි කියා රාජිකා මැණිකේ කීවා ය. ඔහු ට හිතට අමාරු පොඩි උන් ගැන පමණක් ද?
“ආරාධනා හදිස්සියෙ ගෙදරින් ගිය එකයි උඹයි අතරෙ මොකක් නමුත් සම්බන්දයක් තියෙනවද…”
පෙර දා මැදියම් රාත්‍රියේ ගෙදර ආ බාල පුතාව ගෙට ගෙන මහ දොර වසා දමනා ගමන් ගජධීර ඇසුවේ ය. ඒ වෙලාවේ කවීශ්වර ගේ ඇස් වල තිබුණේ උමතු පෙනුමකි. ඇස් කෙවෙනි වල සිට බොර රත් පැහැයක් සුදු ඉංගිරියාව දිග විහිද ගොස් තිබිණ. බොටම් කලිසමේ ලිහිල් සාක්කු දෙකෙහි අත් දෙක ඔබා ගත් කවීශ්වර බිම බලා ගත්තේ ය. නමුත් ගජධීර ඍජු බැල්මෙන් පුත්‍රයා දෙස ම බලා සිටියේ ය. තාත්තා ගේ උකුසු ඇස් වලින් ගැලවිය නො හැකි බව දැන කවීශ්වර හිතට දිරි ගෙන පියා දෙස බැලුවේ ය.
“මං එයාට කිව්ව…එයාවයි ළමයි දෙන්නවයි බාර ගන්න කැමතියි කියල”
ගජධීර ගේ කුඩා ඇස් තරමක් ලොකු වූයේ ය. ඊළඟට ඔහු ඒ ඇස් වඩාත් කුඩා කොට බැලුවේ ය. ඔහු ගේ තොල් අතරට සිහින් සිනහවක් ආවේ ය. කවීශ්වර ගේ උරහිසක් මත පියා ගේ සුරත තැබිණි.
“මං හිතුවට වඩා පුරුස සක්තියක් එහෙනං උඹට තියෙනව”
මේ මොහොතේත් ගජධීර ගේ දෙතොල් අතරේ සරැලි නගන්නේ ඒ සිනහ රේඛාව ය. අනවශ්‍ය යෝජනාවක් හෝ බලහත්කාරයක් කරන්නට නොයා පුත්‍රයා එහෙව් යෝජනාවක් කිරීම ගැන ගජධීර ට ආඩම්බර ය.
“මුල ඉඳලම ඕක තමයි මට තිබුණ බය. පොඩි පුතාගෙ මුරණ්ඩුකමක් නිසා අපිට ආරාධනාව නැත්තටම නැති වෙයි කියන එක. හිතුවත් වගේ ඒක වුණා. ලොකු පුතා නෙවෙයි පුතාලගෙ තාත්තෙ අපිට කෙල්ලව නැති කළේ…පොඩි පුතා…”
රාජිකා මැණිකේ ඒ බව දැන ගත්තේ අද උදේ තාරා ගේ ඇමතුමෙන් කවීශ්වර බිඟුනි පාසලට දමන්නට ගිය අතර වාරයේ ය. ඒ වෙලාවේ සිට ම ඇය සිටිනුයේ තෝන්තුවාවෙනි. කවීශ්වර ගැන කේන්තියෙනි. තවමත් ඔහු දවල්ට නොකෑව ද රාජිකා මැණිකේ ඒ ගැන සොයා බලන්නට උනන්දු නොවූ බව ගජධීර දනී. කොහොමටත් ආරාධනා ගියාට පස්සේ සැනසුම් පායේ කෑම මේසයට වැදගත් තැනක් හිමි වූයේ නැත. ‘දැන් ඉතින් අපි තුන් දෙනා විතරනෙ…මේසෙට කෑම අරින්න මොකට මහන්සි වෙනවද’ කියමින් රාජිකා මැණිකේ හට්ටි මුට්ටි වලින් පිඟන් වලට ම කෑම බෙදුවා ය. ඔවුන් කෑම කෑවේ පුරුද්දකට මිස කුස ගින්නක් නිසා ද නොවේ.
පොඩි පුතා හිතේ අමාරුවෙන් පසු වන බව ගජධීර ට දැනේ. වෙනදාටත් මිතුරු සමාගමයේ දී කවීශ්වර මීවිතක් තොල ගෑ මුත් එක දිගට බමන මතින් රෑ බෝ වී ගෙදර ආවා නොවේ. ඔහු ට රිදුණාට ආරාධනා ගේ තීරණයකට අංශු මාත්‍රික අත පෙවීමක් කළ නො හැකි බව ගජධීර තරයේ විශ්වාස කළේ ය. මේ පලහිලව්වට වැඩිහිටියන් ලෙස ඔවුන්ට අත පෙවිය නො හැකි ය. කවීශ්වර ගේ කැමැත්ත ඔහු ප්‍රකාශ කොට තිබේ. ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය මුළුමනින් ම වන්නේ ආරාධනා අත ය. ඇය සැනසුම් පායෙන් නික්ම ගියේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමක් ලෙස නම්, පවුලක් වශයෙන් හිස නමා ඊට එකඟ වීමේ හැකියාවක් තිබිය යුතු ය. ලොකු පුතා ගේ දික්කසාද බිරිඳ පොඩි පුතා ගේ බිරිඳ වීම පවුලක් වශයෙන් ලැජ්ජාවක් නොවේදැයි රාජිකා මැණිකේ නෙත කඳුළු පුරවා ගෙන සැමියා ගෙන් විමසුවා ය. ඒ වෙලාවේ ගජධීර කළේ අඩ සිනහවක් පානා එක ය.
“ආරාධනා නීතියෙංම ලොක්කගෙන් වෙන් වෙලා ඉන්නෙ. දැන් ඒ ළමයට වෙන ඕනම පිරිමියෙක් බඳින්න අයිතිය තියනව. පොඩ්ඩව වුණත්. මැණිකේ මේක එක ගෙයි කාපු රටක්…අයිය මලෝරු ඔක්කෝටම එක ගෑනියි ඉස්සර ගෙනාවෙ. ඒ හැදෙන දරුවො කොයි සහෝදරයගෙද කියල කවුරුත් දන්නෑ. හැබැයි ඒ කවුරුත් ඒ දරුවන්ට අප්පච්චි වුණා. එහෙම රටක අපි…දැං මේ…”
“පුතාලගෙ තාත්තෙ ඒ වුණාට රටේ මිනිස්සු මොනා නොහිතයිද…මොනා නොකියයිද…ඒ දික්කසාදෙ සිද්ද වුණේ මේ සම්බන්දෙ නිසයි කියල වුණත් හිතාවි”
“හිතාගද්දෙන් මැණිකේ…ලෝකෙට බම්බු ගහගන්න කියන්න. කෙල්ල එහෙම දේකට කැමති නැති එකයි මටනං තියන ප්‍රස්නෙ. කැමති වෙන්නයි කියල බල කරන්න බෑනෙ. එහෙම නැතුව…පොඩ්ඩ වුණත් මිනිහෙක් වෙන්නෙ මේ කෙල්ල නිසා තමයි. ඒක මට විස්සාසයි. සෙල්ලක්කාරකමක් කරන්න ඕන වුණානං අපේ එකා කසාද බඳින්න යෝජනා කරන්නෑ. කොයි සෙල්ලක්කාරයට වුණත් නතර වෙන්න ඕන කියල හිතෙන තැනක් එනව මැණිකෙ. එහෙම එකෙක් නතර කරන්න පුළුවන් ගෑනියෙක් ඉන්නව. අංගුලිමාලත් බුදු හාමුදුරුවො ඉස්සරහ දමනේ වුණානෙ. කෙල්ල කැමතිනං මගේනං කිසී අකමැත්තක් නෑ මෙහෙම දෙයක් වෙනවට. අපි දෙන්නම අකමැති වෙන්න හේතුවක් නෑ”
ගජධීර ඒ තීන්දුව දුන්නේ රාජිකා මැණිකේ ගේ හිත මඩේ සිටුවන ලද ඉන්නක් සෙයින් වැනෙමින් තිබූ බව ඉඳුරා දැන සිටි නිසාවෙනි.
කවීශ්වර කොට්ටයක් බදා ගෙන යහනේ මුණින්තලා වැතිර සිටියේ ය. කුස ගින්නක් දැනුණේ හෝ නැත. ආරාධනා ගේ අහංකාරකම ගැන ඔහු ට වන්නේ මඳ කේන්තියකි. සිය යෝජනාව ගැන ඇය එක වචනයක් හෝ කතා කළා නම් එවැන්නක් ශේෂ නො වන්නට තිබිණ. හේතුවක් නො පෙන්වා ම ඇය ඔහු ප්‍රතික්ෂේප කොට තිබේ. එය අසාධාරණ ය. මරණයට නියම වූ වැරදිකරුවෙකුට වුව සිය නිදහසට හේතු කාරණා දක්වන්නට අවස්ථාවක් ලැබේ. ආරාධනා නික්ම ගියේ කවීශ්වර ට එහෙමවත් අවස්ථාවක් නොදී ය. දැනුත් ඇය හැසිරෙන්නේ ඔවුන් අතරේ කිසිවක් ම සිදු නොවූවා මෙනි. ඔහු කිසි දාක එවන් යෝජනාවක් නො කළා මෙනි.
බිඟුනි ට කෑම කවා මඳක් නිදන්නට යහනට දමා ආරාධනා ද දරුවන් දෙදෙනා අතරේ වැතිර ගත්තේ බත් කටක් හෝ කන්නේ නැතිව ය. සැනසුම් පායෙන් ආවාට පස්සේ ම ඇගේ කෑම රුචිය අතුරුදන් ව තිබිණ. සඳයුරු ට මව් කිරි දීමට ඇති නිසාවත් හිත හදා ගෙන කුස පිරෙන්නට කෑම කන්නට හැකි වූයේ නැත. බඩ පපුව අතරේ නො නිවෙන ගින්දරක් ඇවිලෙන බව දැනේ. නමුත් නො දැනුණා සේ ඉන්නට ඇයට සිදුව තිබේ.
“අම්…මම්…මම්…ම…”
සඳයුරු උඩුකුරුව අත පය සොලවමින් අම්මා යි කීමේ උත්සාහයක් දරයි. ආරාධනා ස්නේහයෙන් පිරී ගියා වූ සිනහවකින් බිළිඳුන් ගේ මුහුණ මතින් පහත් වූවා ය.
“අම්ම කියන්න හදනෝද මගෙ මැණික…අම්…ම…කෝ කියන්න වස්තුව…අම්..ම…”
එතකොට සඳයුරු නැවත ද අම්මම්මම් ලෙසින් අම්මා කීමේ උත්සාහයක් ගනී. ආරාධනා මව් සෙනෙහස උතුරනා දෑසකින් ඔහු දෙස බලා සිටියා ය.
“තාත්ත කියන්න මගෙ පුතා…තා…ත්…ත…කෝ කියන්න..තාත්…ත…තාත්…ත”
ඒ අනුව සඳයුරු තා තා යයි කියන්නට වූයේ ය. එසේ තා තා යයි කීම ඔහු ට විනෝදයක් වූවා සේ ය. දිගින් දිගට ම ඔහු එහෙම කූජන කරමින් සිටියේ ය.
ඒ අහිංසක නො දරුවාට තාත්තා කියා කියන්නට කෙනෙකු නොවීම ගැන අලුත් සන්තාපයක් ආරාධනා ගේ පපුවට රිංගා ගෙන තිබිණ. කාශ්‍යප පිළිබඳ සිතිවිලි හිත මතුපිටට එන උත්සාහයක් ගත්ත ද ඇය ඊට අවසර දුන්නේ නැත. එය මහ පුදුම දෙයකි. ඔහු ඇගේ විවාහක ස්වාමියා ය. ඇගේ ආත්මය ම දෙවරක් නො සිතා පුද දුන්නේ ඔහුට ය. ඇගේ දරුවන් දෙදෙනා ගේ පියා ඔහු ය. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු නොවී ද විවාහයෙන් පසු ආරාධනා කාශ්‍යප කෙරේ ආදරයෙන් බැඳුණා ය. බිරිඳක ලෙස ඉටු විය යුතු යුතුකම් සියල්ල නොවලහා ඉටු කළා ය. නමුත් දැන් ඇයට ඔහු ආගන්තුක මිනිසෙකි. නාඳුනන පිරිමියෙකි. ඔහු වෙනුවෙන් ඇගේ හදවතේ යළි කිසි දාක මලක් නූපදින බව සහතික ය. කිසිදු හැඟීමක් ජනිත නොවෙන බව විශ්වාස ය. කිසි දාක අමතක නොවී හදවත් සුසානයේ මිහිදන් ව සිටිය ද ඇයට යළි ඔහු සිහිපත් කරන්නට අවැසි වන්නේ නැත. එය එහෙව් කුසීත අතීතයක් ලෙස යටගියාවේ ම වැළලී ගොස් තිබේ. කාශ්‍යප කියන්නේ දැන් ඇයට කිසිත් නො ලියවුණ හිස් කඩදාසියකි.
“අරා..අරා…වැටෙන වැටෙන තැන නිදිද බං…අන්න ගජධීර අංකල්ල ඇවිත්”
ආරාධනා තිගැස්සී ගිහින් අවදි වූයේ තාරා ගේ හඬට ය. සිතිවිලි ලෝකයක පා වෙවී සිටියදී කොයි වෙලාවක නින්ද ගියේ දැයි ඇයට දැනුණේ හෝ නැත. කලබලේට ආලින්දයට පැමිණි ආරාධනා ගේ හිස කේ අවුල් වී මුහුණ තඩිස්සි වී ඇති සැටියක් රාජිකා මැණිකේ ට පෙනිණ. සැනසුම් පායේ සිටියදී ඇය කිසි දා දහවල නිදා ගත් බවට මතකයක් මැණිකේ ට නැත.
“අනේ…අම්මල එනව කියල කිව්වෙවත් නෑනෙ”
ආරාධනා එහෙම කීවේ නිකමට ය. ඔවුන් කෙරේ වැඩි ආදර ගෞරවයක් පෙන්වීම වෙනුවෙනි. නමුත් කවීශ්වර ඉක්මන් කොට ඈ අත උන් සඳයුරු ව ගන්නා ගමන් ඇගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නේ ය.
“ඉන්ෆෝම් කරල එන්න බැරි වුණාට සොරි. අම්මයි තාත්තයි ළමයි දෙන්න ගැන කියෝන නිසා ආවෙ. අකමැත්තක් නැත්තං ළමයි දෙන්නව ලෑස්ති කරල දෙන්න. අපි ටිකක් එළියට ගිහිං…ආපහු ළමයි ගෙනත් දීල යන්නං”
කියාගෙන යන්නට හෑල්ලක් ආරාධනා ගේ මුවගට පැමිණියේ ය. නමුත් ඇය ඉවසා ගෙන ගජධීර දෙස බලා සිනහවක් නගා ගත්තා ය.
“ඉතිං අනේ ළමයි දෙන්නව විතරක් එක්කං යන්න හදන්නෙ ඒ දෙන්න විතරද ඕගොල්ලොංගෙ…දැං මාත් නිකංම නිකං පිට කෙනෙක් විතරයිද…”
සිනහ වෙවී එහෙම ඇහුවාට ඒ සිනහවට යටින් කඳුළක් තැවරී තිබිණ. ආරාධනා ගේ ස්වරය පවා ගැස්සී ගියේ ය. ගජධීර ඇගේ හිස් මුදුණේ සුරත තබා කතා කළේ ය.
“අපි පිට කියල සැලකුවෙ කාටද දුවට සැලකුවෙ කොහොමද කියල දූ දන්නවනෙ…ම්…”
“මෙහෙට ආවයි කියල මට වෙනස්කං කරන්නනං හදන්නෙපා තාත්තෙ”
ගජධීර ඇගේ උරය වටා අතක් දමා සිය සිරුරට ලං කර ගත්තේත්, ආරාධනා ඔහු ගේ පපුවට බර වූයේත් එකට ම ය. කවීශ්වර විසින් ඇහැට එල්ල කරන ලද ඇඟිලි පහරට රිදී ආරාධනා කඳුළක් පිස ගත්තේ ගජධීර ගේ තුරුළේ ය.
“දුවගෙ අකමැත්තක් නැත්තං යමු ඉතිං…එළියෙන් කෑම ටිකක් එහෙමත් කාල රෑ වෙලා එන්න පුළුවන්නෙ එහෙනං”
රාජිකා මැණිකේ ගේ ඇරයුම ලැබෙනා තුරු ආරාධනා ඇඟිලි ගැන්නා සේ ය.
“අක්කත් යමුද…”
“බෑ කෙල්ල. මට ක්ලිනික් එක වහන්න බෑ. කලින් දාගත්ත සර්ජරි දෙකකුත් තියෙනෝ අද. ඔයා ගිහිං එන්න ළමයි දෙන්න එක්ක”
තාරා කවීශ්වර දෙස බලත්දී ආරාධනා ගේ ඇස් ද ඔහු වෙතට යොමු විය. ඔහු සඳයුරු එක්ක හුරතල් බස් දොඩමින් සිටියේ ය.
“තා..තා…තා…තාතා”
සඳයුරු තාත්තා කියා ගන්නට කළ ඒ තැතනීම ඔවුන් සියලු දෙනා අතර මැද්දේ කාල බෝම්බයක් පුපුරුවා හැරීමක් සරි විය. දරුනු ම විදාරණය සිදු වූයේ ආරාධනා තුළ ය.
“තා තා තා තා…කවුද තාතා…ම්…”
නිම් හිම් නැති ස්නේහයකින් එසේ විමසමින් කවීශ්වර සඳයුරුව පපුවට තුරුලු කර ගත්තේ ය. ඊළඟට ඔහු ගේ කොපුලක් තදින් සිප ගත්තේ ය. සඳයුරු කිති ගැන්වී මහ හයියෙන් සිනහ වන්නට වූයේ ය. ආරාධනා ගිනි මැලයක් ඇවිළෙනා ළය මත අතක් තද කොට ගෙන අනිත් අතින් තාරා ගේ උරහිස අල්වා ගත්තා ය. ඒ අතැඟිලි මතට තාරා මුදු ලෙස තට්ටු කළා ය.