විමලාවතී හන්දියේ කඩේ ළඟට ගිහින් ආවට හිතේ නිදහසක් නැති බව දැණුනා. අවුරුදු ගානක් කඩේ ළඟ හිටපු බැල්ලිට පැටවු ලැබෙන්න හිටියේ. මහා වැස්ස. ඒ මදිවට මෝටර් සයිකල් කාරයෝ පියාඹනවා. මේ වැස්ස නිසා වැඩි වෙලා නොගිහින් කඩේ වහලා අනුලා නෝනෙත් ගෙදර යන බව විමලාවතී දන්නවා.
“මේ… ඔහේට ඇහැකිය මාත් එක්ක හන්දියට ගිහින් එන්න…”
කුඹුරේ ඉඳන් වෙහෙසිලා ගෙදර එන සෝමපාලට කවදාවත් නැතුව විමලාවතීගෙන් එහෙම ඉල්ලීමක් ලැබුණා. සෝමපාල ඒ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්. ඒ තියා ඇතුල් කාමරේ හිටපු තරිඳුයි , අමාලියි දෙන්නත් එබුණා.
“මේ මහ වැස්සේ කොහේ යන්නද අම්මේ..?”
අමාලි, විමලාවතී ගේ ලේලි එහෙම ඇහුවේ ඒ පුදුමේ එක්කමයි.
“උඹළා ඔය කර කර හිටපු වැඩේ කරහල්ලාකෝ… මම සුටුස් ගාලා මෙයැයි එක්ක ගිහින් ඇවිල්ලා රෑට උයන්නම්…”
රැකියාවට අමතරම තරිඳුයි අමාලියි ගෙදර ට වෙලා ඉඳඟෙන අන්තර්ජාලය හරහා ගන්න ඇණවුම් වලට ඇඳුම් මැහුවා. හවස පටන් ගත්තාම දෙන්නාගේ වැඩ රෑ එක දෙක වෙනකල් ඇදෙනවා.
“තාත්තට බෑනේ මේ වැස්සේ බයිසිකල් පදින්න. එහෙනම් මෙයා එක්ක බයික් එකේ ගිහින් එන්න….”
අමාලි එහෙමත් කිව්වා.
“නෑ නෑ..උඹ මේ තෙතට බහින්න ඕන් නෑ මං කොහොමටත් තෙමිලා ඉන්නෙකේ… යමං එහෙනම්…”
සෝමපාල බයිසිකලේ ගන්න පිටිපස්සේ පිළිකන්නට ගියා. ඔලුවට ශොපින් කවරෙකුත් දාගෙන බයිසිකලේ තල්ලු කරන් එන සෝමපාලව දකිනකොට තරිඳුට නම් අම්මා එක්ක කෝපය ඉවසගන්න පුලුවන් වුණේ නැහැ.
“මොන විකාරයක් ද අම්මේ… මේ මහ වැස්සෙ..පාරත් මඩ වෙලා ඇතිම්.බෝක්කුව ළඟ උතුරලාද දන්නේ නෑ… ඔය ගන්න තියෙන දෙයක් හෙට ගන්නකෝ…”
“උඹ හිටපංකෝ.. මේක හෙටට කල් දාන්න ඇහැක් දෙයක් නෙවෙයි …”
විමලාවතී ඉස්සරහ බයිසිකල් පොල්ලේ වාඩි වුණා.මහ වැස්සේ තෙමීගෙනම දෙන්නා කඩුල්ල පහු කරා.
“එක්කෝ කරවල, හාල්මැස්සො අමතක වෙන්නැති…”
තරිඳු කිව්වේ තරහින්
“තරහ ගන්නෙපා තරිඳු.. අම්මා උයලා කවන්නේ අපිටනේ….”
“කාට වුණත්, මේ වැස්සේ යන්න ඕනිද ? තියෙන දෙයක් එක රැයකට කන්න බැරිද ?”
“ඒක නම් ඇත්ත… කලින් ගෙනාපු හාල්මැස්සො එහෙම ඇති හැබැයි…”
දෙන්නා පටන් ගත්ත වැඩේ එහෙමම දාලා අම්මලා එනකල් පෙරමඟ බැලුවා.
විමලාවතී ලා යනකොටත් කඩේ වහන්න සූදානමක් තියෙම බවක් පෙනුනේ නෑ. යමින් ගමන සෝමපාලට විස්තරේ කියලා තිබුන නිසා දෙන්නා එක්ක මඟ ඉඳන්ම ඒ බව් අම්මාව හොය හොයා ආවේ.
ඒත් කඩේ අවට හැම තැනකම බැලුවත් සලකුණක්වත් තිබුණේ නෑ.
“විමලාවති…මොකෝ මේ මහ වැස්සේ…?”
අනුලා නෝනා එහෙම අහනකොට,දෙන්නා එක්කම කඩ පිළට ගොඩ වුණා.
“අනේ නෝනේ… හවස මම කඩේට ඇවිල්ලා යනකොට අර මෙතන ඉන්න බැල්ලී හරි ආදරෙන් මයේ ඇස් දිහා බැලුවා..බනිස් එක කඩලා දුන්නම ඒකත් කෑවා.. අද රෑ අනිවාර්යයෙන් පැටවු දානවා සත්තයි.. මේ හීතළේ අම්මයි, පැටවුනුයි දාලා එහෙ අපිට බත් කටක් කන්න හිතුනේ නෑ…”
විමලාවතී එහෙම කිව්වම අනෝමටයි , අත් උදව්වට ඉන්න නිමල්ටයි දෙන්නටම ලස්සන හිනාවක් ගියා.
“මෙහෙන් ආවානන්..”
අනුලා ඉස්සර වෙනකොට දෙන්නම තෙත රෙදි ගසාගෙන පස්සෙන් වැටුණා.
“ඕං…. හතර දෙනෙක්…”
ලූණු ගේන ගෝණි පඩංගු දාලා ඊට උඩින් චීත්තෙකුත් දාලා හදපු අපූරු සුව යහනෙක අම්මෙකුයි පැටවු හතර දෙනෙකුයි සැපට නිදි.
“නිමලනේ ඉතින් කන්න බොන්ම දීලා බලාගත්තේ… එහෙ උස්සන් යන්ම හැදුවේ රෑට… මං කිව්වා මේ පහල ලෑස්ති කරගන්න කියලා …දැන් ඉතින් මූට මේ දාලා යන්න බැරුව….”
“අනේ නෝනේ…නෝනාට මේ පිනම ඇති… නිමල් ළමයටත්…”
“ඔය බයිසිකලේ මෙහෙන් දාලා ඕං නිමල් එක්ක වීල් එකෙන් ඇරලවගන්න… කොහොමටත් අද නිමල් කඩේ නිදාගන්නවලු…”
“මං අපේ එක්කෙනා එක්කන් මේ තකහනියේ ආවේ බැල්ලිව අපේ දිහාවත් අරන් යන්නම කියලා …”
විමලාවතී ආයෙම කිව්වේ බස බස ගාලා කිරි උරන පැටවු දිහා ආදරෙන් බලලා.
“මෙහෙම තනියෙන් උන්නට, මාත් දරු තුන්දෙනෙක් වදපු අම්මා කෙනෙක් විමලෝ… මට ඔය දුක නොතේරෙනවයැ…”
“නොවෙන්නම් නෝනේ…”
“අපි අම්මලා වෙච්චි..කිරි නොඑරුණ මේ නිමල්ලා, සෝමපාලත් මෙච්චර මවුවත් කමින් වැඩ ජරන හැටි දකිනකොට අපේ පරම්පරා අවාසනාවන්ත නෑ කියලා හිතෙනවා නේද විමලෝ…”
“අනේ නොවෙන්නම් නෝනේ..තිරිසන් සතෙක්ට වුණත් මවුවට් සෙනෙහෙන් සලකන එක ජාති ජාතිත් සැනසීමම දෙන කාරණාවක් වෙච්චි..
| අපේක්ෂා ගුණරත්න |