උදේ ම මදිරා ට ශාරීරික ව්‍යායාම ලබා දීම සිදු වේ. පා ඇඟිලි තුඩු වල සිට ම ස්නායු සංවේදනා වර්ධනය කිරීම සඳහා ඒ ව්‍යායාම ඉවහල් වේ. සාමාන්‍යයෙන් ඇය මේවාට දැන් කැමති ම නැත. අවුරුදු දෙකක් තිස්සේ සිදු කළ කිසිවකින් කිසිදු වෙනසක්, යහපතක් සිදු නොවූ බව මදිරා දනී. මුලදී ඇය අපේක්ෂා සහගත වූ බව සැබෑ ය. නමුත් කල් යන්නට යන්නට ඒ බලාපොරොත්තු උපන් ගෙයිම මිය යන්නට විය. ඇය ටික ටික අපේක්ෂා භංගත්වයට පත් වූවා ය. හදවතින් පරාජය භාර ගනිමින් සිටියා ය. යළි කිසි දා සිය දෙපයින් නැගිට ගන්නට අවස්ථාවක් උදා නොවනු ඇති බවට විශ්වාස කරන්නට වූවා ය. ශරීරයේ සියල් අංශු ඒ ඍණාත්මක සිතිවිල්ලෙන් පිරි පිරී ගියේ ය. අවසන ඇය සියල්ල අත් හැර දැමුවා ය. කතා කරන එක නවතා දැමුවා ය. ගෙදර අය හමු වීම ප්‍රතික්ෂේප කළා ය. ඔවුන් ළඟට විත් කතා කළ ද ඇසක් අරින්නේ හෝ නැතිව සිටියා ය. ඒ කර්කෂ වේදනාව ඇතුළේ හුදෙකලාවේ නමග්න වූවා ය. යහනකට සීමා වූ ජීවිතයකට වඩා නික්ම යාම සැපතක් බව සිතන්නට ගත්තා ය. හදවතින් මරණය ප්‍රාර්ථනා කළා ය. ජීවිතය ගැන සියල් ශුභ සිහින අතැර දැමුවා ය. මනසින් ගරා වැටුණ ගිලනියක සේ දවස පුරා ඔහේ වැතිරී සිටියා ය. ව්‍යායාම කිරීම හෝ ඖෂධ ගැනීම හෝ භෞත චිකිත්සක ප්‍රතිකාර කිරීම හෝ වෛද්‍යවරයා හමු වීම සිදු වූයේ ඒවා හෙදියන්ගේ රාජකාරියේ කොටසක් වූ නිසා ය.
සියපත් සමගින් තේ එකක් බොන්නට කෑම මේසය වෙත පැමිණි සනාතන, මදිරා ගේ ජීවිතයේ සියලු අස් කොන් යුවතිය අභියස විවර කළේ ඇය ඒවා දැන සිටීම සොයුරිය ගේ මානසික බල ගැන්වීමට ඉවහල් විය හැකි යයි සිතුණ නිසා ය.
“අක්ක තරං වටින වෙන කිසි දෙයක් අපිට නෑ සියපත්. එයා අපිට අම්ම වගේ. ඇත්තටම අම්ම ගැන අපිට තියන මතකය හරි කෙටි එකක්. අපිට..ඒ කියන්නෙ මටයි සදාතනටයි අම්ම වුණේ අක්ක. එයා ගැන කොහොම කියන්නද සියපත්..අපිට එයා මොනාද නොකළෙ…”
ඒ අන්තිම ටික කියත්දී සනාතන ගේ උගුර හිර විය. ඔහු දත් ඇඳි දෙක තද කර ගෙන ඇස් දෙක ද පොඩි කර ගත්තේ ය.
සානුකම්පිත කලාපයක් සිය හදෙහි හට ගෙන එය තුනීවට පැතිර යනු සියපත් ට දැනිණ. තමන්ගේ පවුලේ කෙනෙකු මෙවන් තත්වයකට පත් වී නම් ඇය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ඕ මොහොතකට සිතුවා ය. එ් එක මොහොත පවා ඇය බියපත් කරන්නට සමත් විය. යහමින් මුදල් හදල් ඇති නිසා සනාතනලාට සිය සොයුරිය යළි දෙපයින් නගා සිටුවීම ගැන බලාපොරොත්තුවක් හෝ ජීවත් කළ හැකි ය. නමුත් තමන්ට වුණෝතින් මොන දෙවියෙකු ගේ පිහිටක් ද? සියපත් ලොකු හුස්මකින් පෙනහලු පිරෙන්නට හැරියා ය.
“එයා මෙහෙම ඉන්න එක දරා ගන්න බෑ සියපත්. අපි සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන හිනා වෙලා ඉන්නව තමයි. ඒත් අපි තුන් ගෙනාගෙම…තාත්තගෙයි මගෙයි සදාතනගෙයි…පපු වල පත්තු වෙන්නෙ එකම ගින්දරක්. අක්ක එයා ගැන බලාපොරොත්තු අත්ඇරලම දැම්මට පස්සෙ අපි තවත් අසරණ වුණා. එයාට මෙහෙම ඉන්න දෙන්න බෑ සියපත්. එයා නැති ජීවිතයක් අපිට නෑ”
“මට තේරෙනව”
අතර මගින් පැන සියපත් එසේ කීවේ සනාතන තව තවත් සංවේදී වේවියි බියට ය. සැබවින් මේ මොහොත වන විට සියපත් ගේ නෙත් විල් කඳුළෙන් පිරී යමින් තිබිණ.
“අක්ක මාස ගාණකින් වීල් චෙයා එකෙන් ගාඩ්න් එකට ගේන්න දුන්නෑ. ඒත් ඔයා ඇවිත් එක දවසෙන් එහෙම කළාම…ඇත්තටම ඒක මාරයි සියපත්. අපි තුන් දෙනා ඊයෙ රෑට කෑම කන ගමන් කතා කළේ ඒ ගැන. පුංචි කොළ එළියක් අපේ හිත් වලට උඩින් බ්ලින්ක් කළාට තෑන්ක්ස් සියපත්. ඇත්තටම මෙහෙම වචනෙකින් තෑන්ක් කරල වැඩක් නෑ. ඔයා ඕනම ෆැසිලිටි එකක් ඉල්ලන්න. ඕනම දෙයක් අපි කරනව. අක්කව මෙන්ටලි ගොඩ දාල දෙන්න. ඩොක්ටර් කියන්නෙ එයා මෙන්ටලි වැටිල නිසා මොන ට්‍රීට්මන්ට් එකකින්වත් ලොකු සක්සස් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කියල. ඔයාට මොකක්ම හරි කර ගන්න පුළුවන් වෙයි කියල මට විශ්වාසයි. ප්ලීස් සියපත්..වැඳල කියන්නං…”
සනාතන යුවතිය ඉදිරියේ දෑත් එක් කළේ ය. සියපත් වහා ඒ අතැඟිලි වලින් අල්වා අත පහල හෙළුවේ ය.
“ස්…පිස්සුද…මට කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනව. මගෙන් වෙන්න ඕන ඕනම දෙයක් කියන්න. ඒක මගෙ ජොබ් එක නිසා විතරක් නෙවෙයි. මිස් මදිරා පුදුම විදිහට මගෙ හිතට දැනුණා. එයා එච්චර මට ආදරේ වෙයි කියල ඇත්තටම මං හිතුවෙ නෑ. ආදරේට කරන්න බැරි දෙයක් නෑ සර්”
“සනාතන”
ඔවුන් දෙදෙනා ම එක්ව සිනාසුනහ. සදාතන ඒ වෙලාවේ කෑම මේසය ළඟින් ගමන් කරමින් සිටියේ ය. ඔහු වැරදීමකින් හෝ එදෙස නො බලන්නට උත්සාහ කළේ ය.
“සදාතන ගියෙ නැද්ද…මං හිතුව එළියටත් බැහැල හිටිය නිසා ගියා කියල. තේ එකක් බොනවද…”
“ටී එස්ටේට් එකේ යූනියන් ප්‍රශ්නයක් අප්ප”
කියමින් සදාතන කහවණුගොඩ මේසය ළඟ නතර වූයේ ය. කෝප්පයේ ඉතිරි වී තිබි තේ උගුර ඉක්මනින් බිව් සියපත් වහා අසුනෙන් නැගී සිටියා ය. සදාතන යනු සනාතන වාගේ මිත්‍රශීලී පුද්ගලයෙකු නොවේ. හමු වූ අවස්ථා දෙක තුනෙහි දී ම ඔහු හැසිරුණේ ඇයව තඹ සතයකට මායිම් නො කරමිනි. ඒ ගැන ඔහු පිළිබඳ කිසිදු දොසක් ඇගේ සිතේ නැත. නමුත් සනාතන සමග වාගේ මේසයේ හිඳ ගෙන තේ එකක් බොන්නට තරම් සදාතන ගැන සැහැල්ලු හැඟීමක් ඇයට දැනෙන්නේ නැත.
“කමක් නෑ සියපත් ඉන්න”
එසේ කීවේ සනාතන ය.
“කමක් නෑ. මිස් මදිරාගෙ එක්සර්සයිස් සෙශන් එක ඉවර ඇතිනෙ දැන්. මං යන්නං”
එක මොහොතකට සියපත් සනාතන ගේ දෑස් යුග දුටුවා ය. සෛලයක් ගානේ රූපයෙන් එක ම ආකාරයේ වුවත් සදාතන ගේ තද නිල් අයිරිශ් පාට ඇස් වල, සනාතන ගේ දෑස් හි නොවන වෙනසක් ඇති බව එ් මොහොතේ ඇයට දැනිණ. යුවතිය ඉක්මන් කෙටි සිනහවකින් හිස ද යන්තම් පහලට හරවා ආචාරශීලී ලෙස සදාතන වෙතින් ඒ බැල්ම මුදා ගත්තා ය. අනතුරුව ඉක්මන් අඩි තබා මදිරා ගේ කාමරය දෙසට ඇවිද ගියා ය. තරුණ ඇස් හතරක් ඇය නික්ම යන දෙසට දැල්වී ගෙන තිබිණ.
සියපත් සඳපිනි සූරියගොඩ යනු කුඩා සිරුරක් ඇති සියුමැළි කෙල්ලකි. නිතඹ තෙක් දිගු කඩා හැලෙන දිය ඇල්ලක් බඳු වරලක් ඇයට තිබේ. උදේ දිය නා පැමිණි බැවින් ඇය වරල උනා දමා සිටියා ය. ඊයේ ඇය සිටියේ කොණ්ඩය තනි කරලකට ගොතා බව සදාතන ට සිහි විය.
“සියපත් අක්කගෙ හිත හදයි කියලමයි මටනං හිතෙන්නෙ. මේ පොඩි කෙල්ලගෙ ඇස් දෙකේ ලොකු විශ්වාසයක් තියෙනව සදාතන”
සදාතන වදනක් දොඩන්නට කලබල වූයේ නැත.
කාමරයේ දොර විවර වෙත්දී ම මදිරා ඇස් විදා බැලුවා ය. ඒ මුව එසැනෙන් සිනහවකට විකසිත විය.
“මං හිතුව එන්නැද්ද කියල අද…එක දවසෙං එපා වුණාද කියල බයේ හිටියෙ”
“අනේ ඉතිං මට එපා වෙන්නෙ ඇයි මාව එපා වුණොත් මිසක් ඔයාට. ටිකක් වෙලා ඇවිත්. සනාතන සර් කතා කළා තේ එකක් බොන්න”
“එහෙනං කොල්ල ශුවර් එකටම මං ගැන ලොකු හෑල්ලක් කියන්නත් ඇති”
“හෑල්ලක් කියන්න බෑ ඒකට. මල්ලි කෙනෙක්ගෙ හිතේ අක්ක කෙනෙක් ගැන කොච්චර ආදරයක් තියෙන්න පුළුවන් ද කියල හිතුණ. මට ඉතිං මල්ලි කෙනෙක් නෑනෙ. මටත් නංගි ඉතිං මගෙ ජීවිතේම තමයි”
සියපත් බෑග් එක පසෙකින් තබා මදිරා ළඟ පුටුව ඇද ගෙන වාඩි වූවා ය.
“කෙල්ල උදේම නාල…කොණ්ඩෙ කඩාගෙන…”
“කඩේ වැඩ ඉවර වෙනකොට රෑ වෙනෝනෙ…අම්ම රෑට නාන්න දෙන්නෑ කොණ්ඩෙ වේලෙන්නැති නිසා. ඒක නෙමේ අපි අද නාමුද…”
අලුත් ප්රබෝධයකින් සියපත් මදිරා ගේ මූණට එබුණා ය. ජීවිතාශාව අත් හළ මිනිසෙකුට නානවා කනවා වාගේ දෛනික ජීවිතාංග පවා වදයක් වෙයි. තේරුමක් නැති දෙයක් වී යයි. කාලයක් තිස්සේ මදිරා ද එතැනට සේන්දු වෙමින් සිටියා ය. ඇය දිය නෑවේ කලාතුරකින් දැඩි ප්රයත්නයකට පස්සේ ය. කෑම කෑවේ පාලිකාවගේ පෙරැත්තයට කටවල් දෙක තුනකි. කාය ශක්තියෙන් ඇය ක්ෂය වන්නට වූයේ එබැවිනි.
“කඩේ වැඩ කිව්වෙ…”
තමන් වෙත යොමු වූ ප්රශ්නය මගහැර මදිරා ඇය අල්වා ගත් තැනක් ගැන අවධානය යොමු කළා ය.
“කඩේ කිව්වට ලොකු කඩයක් නෙවේ ඉතිං…පොඩි කෑම කඩයක්”
“ඕ…රෙස්ටොරන්ට් එකක් තියෙනවද තාත්තට…”
සියපත් සිනහවකින් ඒ කතාවට නැවතීමේ තිත තැබීමේ උත්සාහයක් ගත්තා ය. ඔවුන් ගේ ‘කෑම කඩය’ ගැන හිතා ගන්නටවත් මදිරා ට නො හැකි බව සියපත් දනී. ඉතින් ඒ ගැන චිත්‍රයක් ඇගේ හිතේ අඳින්නට වෙහෙස වෙන එකත් විහිළුවකි. අනිත් අතට සියපත් කියන්නේ කිසි දාක සිය නැති බැරි කමක් ගැන කිසිවෙකු සමග පැවසූ ගෑනු ළමයෙකු නොවේ. ලොකු කමකට නොවී ද කොතැනකින්වත් අනුකම්පාවේ අංශුවක් හමා එනවාට ඇය රිසි වූයේ නැත. ජීවිතය මත්තේ හෙළන්නට සිදු වෙන දහදිය කඳුළු ගැන සමීපතමයන් පමණක් දැන ගැනීම ප්‍රමාණවත් යයි ඇය අදහන්නී ය.
“මං ආසයි ඒකෙ හදපු කෑම කන්න”
“අනේ…කොච්චර ශෝක්ද…මං හෙට ගේන්නං. අද අපි නානව නේද…වතුර කොයි තරං ජීවිතේට වැදගත්ද කියල මිස්…සො…රි…අක්ක දන්නවනෙ…මිනිසා ඇවිදින වතුර ගෝනියක් කියල ඉස්සර විදුසර පත්තරේක තිබුණ චිත්‍රයක් මට තාම මතකයි. වතුර තමයි අපිව නිරෝගී කරන මේන් ෆැක්ට් එක. නෑවට පස්සෙ දැනෙන සනීපෙ ගැන හිතන්නකො. හරියට අලුත් ජීවිතයක් ලැබුණ වගේ ෆ්‍රෙශ් වෙනවනෙ…ශැම්පූ කන්ඩිශනර් බොඩි වොශ්…ඔය ඔක්කොම එකතු වෙලා නෑවට පස්සෙ අපිට අපි ළඟින්ම එන සුවඳ පැය ගාණක් හරි අමුතු ප්රබෝධයක් ඇති කරන හැටි මතක් කර ගන්නකො…”
“සියපත් නෑම ගැන කියන්නෙත් කෑම ගැන කියනව වගේ රහ කර කර…නාන්නැතුව කාල බලන්න හිතෙන විදිහට”
ඔවුන් දෙදෙනා ම එක්ව සිනහ වූහ. කෙසේ වෙතත් එදා දවල් කාලයේ දී දිය නාන්නට මදිරා එකඟ වූවා ය. සේවිකාවන් විසින් ඒ කටයුතු සිදු කිරීමෙන් පසු සියපත් විසින් කියන ලද නැවුම් බව සැබවින් ම ඇයට දැනෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා දවල් කෑම ගත්තේ අලුත් චිත්‍රපටයක් ගැන කතා කරමිනි. නෙට්ෆ්ලික්ස් එකෙන් දවල්ට චිත්‍රපට බලමු යයි සියපත් යෝජනා කළා ය. වසර ගණනාවකට පෙර සිය විනෝදාංශය වූ කොරියානු ප්‍රේම කතාවක් කාලයකින් නැරඹුවේ නෑ නේද කියා මදිරා ට සිහි වූයේ එතකොට ය.
“මාත් ආසම ලව්ස්ටෝරීස් බලන්න තමයි. කේඩ්‍රාමා එකේ තියන හොඳම එකක් බලමු අද”
වෙනදාට මදිරා ට කෑම කවන්නේ ඇය වෙනුවෙන් පත් කොට සිටින මැදිවියේ පාලිකාව ය. නමුත් එදා ඇය ස්ව කැමැත්තෙන් ම තනිව කන්නට ඉදිරිපත් වූවා ය. සියපත් සමග කතා කරමින් ඇය වෙනදාට වැඩි ප්‍රමාණයක් ආහාර ගෙන ඇති බව, පාලිකාවගේ මුහුණේ ඇඳුණු සිනහවෙන් ම සියපත් ට වටහා ගත හැකි විය. කෑමෙන් පස්සේ ඔවුහු හිතට හරියන විදිහේ පෙම් කතාවක කොටස් කිහිපයක් හැන්දෑ වනතුරු ම නැරඹූහ. සිනහ වෙවී එය බලමින් සිටිනාතර හදිසියේ ම කාමරයේ දොර ඇරිණි. හද ගැස්ම ක්ෂණික ව උච්ච වූවා සේ සියපත් ට දැනුණේ අහංකාර බැල්මෙන් යුතු ව සදාතන ඇතුළට එත්දී ය.
ඔහු ට තියෙන්නේ හිස කෙළින් තබා ගෙන යන ඍජු ගමනකි. තමන්ගේ ඉලක්කය මිස අහළ පහළ වන කිසිවක් දෙස ඒ ඇස් යොමු වන්නේ නැති තරම ය. ඇස් මුදා ගත නො හැකි වශියකට නතු වන්නට පෙර සියපත් අසුනෙන් නැගිට ගත්තා ය.
“ඇයි ඔයා නැගිටින්නෙ…ඉඳගන්න සියපත්”
සදාතන නොව ඇගේ අතකින් අල්වා ගෙන එසේ කීවේ මදිරා ය. නමුත් යුවතිය හිස සැලීමෙන් කමක් නෑ යි හඟවමින් පසෙකට වූවා ය.
“හව් ඩූ යූ ෆීල් නව්..ම්…සීම්ස් ලයික් එව්රිතිං ඉස් ගොයින් වෙල්”
කියමින් සදාතන සියපත් හිඳ උන් අසුනට බර වූයේ ඇය කියා කෙනෙක් එතැන නොමැති ගානට ය.