මිතුරු හදවත්

” පවන්, මං ආසම නෑ අනේ ඔයා ඔය කමල්ව මෙහෙ ගෙන්නගන්නවට …”

මධුශානි කල් යල් බලලා එහෙම කියනකොට පවන් සීසන් වෙන්න තියලා තිබුණ චිකන් බෝල් එක විවෘත කරලා පැත්තකට තිව්වා. ඊට පස්සේ අත් දෙක සෝදගෙන එහායින් තිබුණ පුටුවක වාඩි වුණා.

“හරි…  එතකොට මේ ඊයේ පෙරේදා ඉඳන්ම මූණ එල්ලන් ඉන්නේ ඒකටද ?”

කසුන් එහෙම ඇහුවම මධුශානි ඒක නෑහුණ ගානට තෙල් තාච්චිය ගෑස් ලිපෙන් තිව්වා. ඒ සැනින් පවන් ඇවිල්ලා ගෑස් ලිප ඕෆ් කරලා මධුශානිව ඇදගෙන ඇවිල්ලා එහා පුටුවට තල්ලු කරා.

“කතා කරමු.. “

එහෙම අවධාරණය කලා.

මධුශානි ඇස් හංගන්න උත්සාහ කලත් පවන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. පෙම්වතිය වෙලා අවුරුදු හතක් උන්න කාලේ මධුශානි තමන් වෙනුවෙන් හැම උදව්වක්ම ඉල්ලගත්තේ කමල්ගෙන් බව පවන්ට මතකයි. ඒක මධුශානිට අමතක වෙන්න විදියක් නැතිබව පවන් විශ්වාස කලා. දෙන්නා අතරේ වෙන හිනා යන තරමේ රණ්ඩු සරුවල් වල ඉඳන් ලෝක යුද්ධ ගානට රණ්ඩු වලත් සාම සාධක හමුදාව වුණේ කමල්. වතාවක් දෙවතාවක් මධුශානිගේ හදිසි තීරණ නිසා විනාශ වෙලා යන්න තිබුණ දෙන්නාගේ ජීවිත බේරුණේ පවා කමල් නිසා.

“මධූ…”

“හ්ම්ම්…”

“දැන් කියන්න, මං අහගෙන ඉන්නයි, ඔයාට උත්තර දෙන්නයි ලෑස්තියි ….”

පවන් කවදාවත් නැති තරමේ දැඩි හඬක ඉන්නවා කියලා දැනෙද්දී මධුශානි පවන්ගේ මූණ දිහා බැලුවා. ඔහු ගේ මුහුණේ තියෙන්නේ තමන් ගැන අප්‍රසාදයක් දෝ කියලත් මධුශානිට තේරුණා. ඒත්, දිගටම මේ විදියට කමල්ගේ දුක් අඳෝනා මේ ගෙදර මාතෘකා වෙන එක මධුශානිට ඉවසන්න ඕනි වුණේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව රූපවාහිනීයේ උදෑසනා වැඩසටහනට කිව්ව කතාවක්.

“ගෙදරක් වේවා, කාර්‍යාලයක් වේවා නිතරම කතා වෙන්නේ නෙගටිව් කාරණා නම්, ඒ තැන් වල මිනිස්සු ඉන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකක  නම්,ඒ නිවෙස් වලට වාසනාව සතුට එන්නේ නෑ…ඒ නෙගටිව් මූමන්ට් එකම තමා තියෙන්නේ….”

මධුශානි මේක හරි ලොකුවට කල්පනා කරා. 

“කියන්න…”

“එහෙම නෙවෙයි පවන්… කමල් එන යන එක නෙවෙයි ප්‍රශ්නේ.. එයා ආවොත් එක්කෝ බබායි, නිරෝයි මතක් කර කර කියෝනවා… එක්කෝ අඬනවා ,හූල්ලනවා… දැන් මාස හයක් ගිහින් නේ.. එයා හිත හදාගන්නෙපැයි…සතියට වතාව දෙක මෙහෙම ආවම අපිට වුනත් කරදර කියලා හිතන්න එපැයි…”

කමල්ගෙර් බිරිඳ කුළුඳුල් දරු ප්‍රසූතියේදීම මිය ගියාට පස්සේ මාස දෙකක් විතරම කමක් ගෙව්වේ හැංගුණ ජීවිතයක්. ඒ මහ ගෙදරට වෙලා.   මානසික වෛද්‍ය ප්‍රතිකාර වාර්තා ඉදිරිපත් කරලා මාස තුනක නිවාඩු අනුමතකරගන පුලුවන් වුන නිසා ඊළඟ මාසේ කමල් උත්සාහ කලේ ඒ හැංගුණ තැන් වලින් එලියට එන්න. ඒත් වෛද්‍ය උපදෙස් වලට වඩා කමල්ට ඕනි වුණේ අහගෙන ඉන්න කෙනෙක්. උරහිසක්. දෙපැත්තේම වයෝවෘද්ධ දෙමාපියන්ට ඒ බර දෙන්න කමල්ට පුලුවන් කමක් තිබුණේ නෑ. දෙපැත්තේම සහෝදර සහෝදරියෝ උන්නේත් නෑ. ඉතින් කමල් ට තිබුණ පිළිසරණ පාසැල් කාලේ ඉඳන් උන්න මිතුරා. අනෙක් පැත්තෙන් මධුශානිත් හිතවත් නිසා මුල් කාලේ නම් කමල් එහෙ නැවතිලත් හිටියා.රැකියාවට යන්න ගත්තාට පස්සේ සතියට වතාවක් පැය තුන හතරකට හරි ඇවිල්ලා ගියා.

මධුශානි මේ යුධ වදින්නේ ඒ පැමිණීමට විරුද්ධව.

” නෙගටිව් වයිබ් ද ?”

“ඔයාට තේරෙනවා නේ පවන්… හැම වෙලේම අඩො බං..දුකයිදුකයි කියන එක නේ ඇහෙන්නේ…”

“මට ඔයා ගැන ලැජ්ජයි මධූ… හරි… මං ඌට මෙහෙ එන්නෙපා කියන්නම්… ඊට පස්සෙ ඔයා පොසිටිව් වයිබ් පුරෝගන්නකෝ ගෙදර … අපි දෙන්නා සතුටින් ඉමූ… මං ඌට කියන්නම් වෙන තැනක හම්බෙලා කතා කරමූ කියලා .. හරිනේ ..”

පවන් එකපාරටම එහෙම කිව්වා.

මධුශානි බලාගෙන හිටියේ ඒ ස්වරය වටහා ගන්න බැරුව.

“එහෙම නෙවෙයි පවන්…

“එහෙම තමයි මධූ… කමල් කියන්නේ අපේ එකෙක්… අපේ ජීවිත වල උන්න එකෙක්.. ඌ මෙවෙලේ අසරණ වෙලා ඉන්නේ… ඌට ඔලුව උස්සගන්න තව කල් ඕනි… ඒ මැරුණේ ඌ අවුරුදු දාහතරක් ආදරේ කල ගෑණි … ඉස් ඉස්සෙල්ලාම මූණ බලන්න උන්න දරුවා…. ඌ හැමදේම කලේ නිරෝ වෙනුවෙන් කියලා ඔයත් දන්නවා මාත් දන්නවා…දැන් ඌට ජීවත් වෙන ඉලක්කයක්  , එළියක් නෑ…. ඒක කොහෙන් හරි හොයාගන්නකල්, පේනකල් ඌ අල්ලන් ඉන්න කවුරු හරි ඕනි….  ඒක අපි කරන්න ඕනි කියලා ඔයාට නොහිතෙන එක පුදුමයි… 

ඒකට කමක් නෑ.. මං දොස් කියන්නේ නෑ… ඔයා හිතනවා ඇත්තේ අපි දෙන්නාගේ පවුල ගැන… මේ ගෙදර ගැන….

ඒත් මධූ මේවා මේ පිළිවෙලට කරගන්න බර ඇද්ද මිනිහා අර අසරණ වෙලා ඉන්නේ… ඌ නෙගටිව් වයිබ් නෙවෙයි , නෙගටිව් ප්ලස් වයිබ් ගෙනාවත් අපි අතාරින්නේ කොහොමද මධූ….

ගෑනියෙක් ද පිරිමියෙක්ද නෑ මධූ දරාගෙන ඉන්න බැරිම තැන් වල නාය යනවා… ඌ එහෙම දෙයක් කරගත්තොත් අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් වේද හලෝ..

හරි ඔයාට පුලුවන් ද ? පුලුවන් ද ?”

මධුශානි ඉකි ගහ ගහ අඬනවා. ඒ අඬන අතරේ රූපවාහිනී වැඩසටහනේ හරය කියනවා. පවන් ඒ ඔක්කොමත් අහගෙන හිටියා.

“ටීවී වලට ඇවිල්ල හරි, පත්තරවලට ලියලා හරි එක එක මිනිස්සු තමන් විශ්වාස කරන පද්ධති සමාජ ගත කරන්න හදනවා මධූ… ඒක ලෝකේම හැටි… ඒවා අපි ගලපගන්න ඕනි…. ඔන්න කමල් මෙහෙම වැටිලා ඉඳන් පිස්සු නට නටා අපිට වදයක් වෙනවා නම් අපි දෙන්නා මේ කතාව කරන්න ඕනි මෙහෙම නෙවෙයි .. මං එකඟයි… ඌ සෙනසුරාදා හරි ඉරිදා හරි එන හේතුව ඔයාට තේරෙන්නෝනි මධූ…”

මධුශානි ගේ කඳුළු ඉවරයක්වුණේ නෑ. ඒ අතරේ ලැජ්ජාව හිස් මුදුනටම.

“අපේ ජීවිත වල පොසිටිව් මූමන්ට් එකක් වෙලා උන්න මිනිහා අසරණ වුණ වෙලාවේ නෙගටිව් කියලා ඌ විසි කරලා දාන්න නෙවෙයි ඕනි මධූ.. මෙවෙලේ උගේ ජීවිතේ පොසිටිව් මූමන්ට් එක අපි වෙන එකයි….”

මධුශානි අත් දෙකෙන්ම කඳුළු පිහිදාගෙන නැගිට්ටා. ඒ අතරේ මෝටර් රථයක නලාව නාද වුණා.

“මං ඇවකාඩෝ මිල්ක් ශේක් එකක් හදන්නම්…. ඔයා යන්න …”

ඇවකාඩෝ මිල්ක් ශේක් කියන්නේ කමල්ගෙයි , නිරෝශාගෙයි ආසම පානය බව මතක් වෙලා පවන්ට හිනා ගියා. මධුශානි ගේ කම්මුලක තිබුණ කඳුළු හාදුවකින් පිහිදලා පවන් ඉස්සරහ සාලේ දිහාවට ගියා.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles