ඇසිස්ටන්

මධුකාගේ අලුත් ඇසිස්ටන් විදියට ආවේ මධුකාගේ  කැම්පස් එකේ ම ගැහැණු ළමයෙක්. සම්මුඛ පරීක්ෂණයේදීම ඇය හැමෝගේම හිත් දිනාගන්න පුලුවන් තරමේ පෞරුෂයක් පෙන්නුවා. කැම්පස් එකේම ළමයෙක් නිසා මධුකාත් ඇයව පිලිගත්තේ කැමැත්තෙන්.

 කලින් ඒ තනතුරේ උන්න තරුණිය පූර්ව දැනුම්දීමක් පවා නැතිව විදෙස්ගත වීම නිසා කාර්‍යාලයේ ගිණුම් අංශයේ වැඩ නොසෑහෙන්න හිර වෙලා තිබුණේ. සමහර කාරණා වලදී ගණකාධිකාරිනිය විදියට උන්න මධුකාටත් හිර වෙන්න සිදු වුණේ ලිපිගොනු සැකැස්ම හොඳින්ම දැන උන්නේ පැරණි කෙනා නිසා. 

අලුතින් ඇසිස්ටන් තනතුරට ආව විහාරා හරි ඉක්මනට ඒ හැමදේම පිළිවෙල කරා. සමහර දාට  හවස හය විතර වෙනකල් මූලික සැකසුම් වෙනුවෙන් වැය කලා. මධුකා පොඩි කෙල්ල දිහා බලාගෙන හිටියේ සතුටින්. විහාරත් මධුකා ළඟ දැවටුණේ හරි ආදරෙන්. ආසාවෙන්.

ඒත්  මාස පහකට විතර පස්සේ මේ කෙල්ල, විහාරා තමන් ළඟ අමුතු හැසිරීමක් දක්වන බවත් මධුකට කිහිප වතාවක්ම වැටහුණත්, මධුකා ඒ ගැන වැඩිපුර නොහිතා හිටියා. කාර්‍යාලයේ අනෙක් හැමෝම එක්ක හිනාවෙලා, කතා බහ කරලා ඉන්න විහාරා තමන් ළඟ ඉන්නේ හිර වෙලා වගේ කියලා දිගටම වැටහෙනකොට නම් මධුකාට නිකම්ම බලාගෙන ඉන්න බැරුව ගියා. එකම කැබින් එක ඇතුලට ඒ හැසිරීම් වදයක් වගේ මධුකාට දැණුනා..

“ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද විහාරා ?”

“නෑ..මැඩම්…”

“එහෙනම් මොකද ඔයා මගෙත් එක්ක වැඩ කරනකොට කලබලෙන් වගේ ඉන්නේ. මට ඒක දැනෙන්නේ ඔයාට කම්ෆටබල් නැහැ වගේ…”

“අනේ එහෙම නැහැ මැඩම්…”

“දරුවෝ… ඔයා මගේ ජූනියර් කෙනෙක්… ඔයාට ඔෆිස් එකෙදි බොස් වුනාට, ඉන් එහාට ඔයාව මාව සහෝදරියක්, අම්මා කෙනෙක්  වගේ හිතාගෙන කතා කරන්න පුලුවන් ..”

“ඔව් මැඩම්…ස්තූතියි …”

විහාරා මධුකාට සමුදුන්නා. මධුකා ඒ ගැන හිතන එකත් නවත්තලා දැම්මා. විහාරාගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් යම් උදව්වක් අවශ්‍ය බව ඇය පවසන තෙක් යළි ඒ ගැන නොවිමසන්න මධුකා තීරණය කලා.

කල් ගතවෙනකොට විහාරා  මධුකාගේ දෙවෙනියා විදියට බොහෝමයක් වැඩ කටයුතු ඉගෙන ගනිමින් සිටියා.  එහෙත්, මධුකා අසල දී වන වෙනස එලෙසම, යම් උච්චාවචනයන් එක්ක එලෙසින්ම තිබුණා.

මධුකාට ජීවිතේ වැදගත්ම තීරණයක් වෙනුවෙන් වන ඉවසීම ප්‍රගුණ කරන්න වෙන සිදුවීමට විහාරා සම්බන්ධ වුනේ නොහිතපු විදියට. හිටි හැටියේම විහාරා ට තමා ඉදිරියේ හිස ඔසවාගෙන එන්න බැරි වුණ හේතුව මධුකාට වැටහුණා. 

මධුකාගේ වැඩිමහල් පුතාගේ පෙම්වතිය විහාරා. මධුකා දෙන්නව අහම්බෙන් දැක්කේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයට ගියපු වෙලාවේ. මිලයට ගන්න ගිය පොත් අමතක කරලා මධුකා ගෙදර ආවා. ස්වාමිපුරුෂයා ට ඇමතුමක් දෙන ගමන්ම හිතේ කලබලය අඩු කරගන්න උත්සාහ කලා.

“කලබල නොවී ඒ දෙන්නට ඉඩ දීලා බලමු මධූ… ලොකූ මේ තීරණය ගන්න ඇත්තේ අවබෝධයක් , සැලැස්මක් එක්ක… අනෙක ඔයාමනේ කියන්නේ විහාරා කියන්නේ ලෝබ හිතෙන ළමයෙක් කියලා …”

“ඒ පවුල් කොහොමද කියලාවත් දන්නේ නෑ විජේ…”

මධුකාට කියවුණා.  විජේබණ්ඩාර හිනා වුණා.

” පවුල් ගැලපෙන්න කලින් ඒ දෙන්නා ගැලපෙන්න ඕනි නේ මධූ…”

මධුකා කිසිම වෙනසක් නොපෙනෙන්න ඉන්න තීරණය කලා. මුල් දවස දෙක පහසු වුණේ නැහැ. ඒත් ටිකෙන් ටික විහාරා වෙනුවෙනුත් දාරක ස්නේහය නවත්තගන්න මධුකාට පුලුවන් වුණේ නැහැ. ගෙදර හදන කෑම එක්ක විහාරත් එක්ක බෙදුණා. විහාරා කන්න කැමති කෑමක් සතියකට වතාවක් හරි හැදුණා. පුතාට නොදැනෙන්න විහාරා ගේ ජීවිතේ ඉහළට යන පාරවල් පාදලා තිබ්බා.

ටික කාලෙකින්,

“පුතා… විහාරට කියන්න රෙසිග්නේශන් දෙන්න කියලා … “

“අම්මා ?”

“ඔයා එයා එක්ක සෙට්ල් වෙනවා නම්, මගෙත් එක්ක වැඩ කරන එක එයාට හොඳ නෑ පුතා.. මම එතනින් අයින් වෙනවට වඩා, විහාරා අයින් වෙලා යන එක හොඳයි නේද ? “

ලොකු පුතා මධුකාව බඳාගත්තා.

“අම්මා කවදාද දන්නේ ?”

“අවුරුද්දකට එහා…”

“මං හිතුවේ අම්මා අකමැති වේවි කියලා අම්මේ… එයා අම්මා යටතේ නිසා.. පස්සේ වෙන තැනකට ට්‍රාන්ස්වර් කරගෙන, අම්මට කියන්න හිටියේ …. එයා අකමැති වුනා අම්මග්‍ර්න් ඉගෙනගන්න තියෙන දේවල් අතෑරලා ට්‍රාන්ස්වර් වෙන්න.. ඒකයි කල් ගත්තේ තව… අනෙක… එයා බයෙන් හිටියේ……”

” විහාරා දක්ෂ දරුවෙක්…”

“එයා හරිම ආදරණීය කෙනෙක් අම්මේ…හරි අමාරුවෙන් කැමති කරගත්තේ … අම්මව පික් කරන්න එනකොට දැක්කේ අහම්බෙන්… ..”

“ඊළඟ ඇසිස්ටන් කවුද බලලා, මල්ලිටත් කියන්නෝනා මාව පික් කරන්න එන්න කියලා … එහෙම ලේලිලා හොයාගත්තම මටත් පහසුයි ..”

මධුකා විජේබණ්ඩාර ටත් ඇහෙන්නම කියලා හිනා වුණා. 

දරුවන්ගේ  හිනාවට එහායින්  අනෙක් කිසිම දෙයක් වටින්නේ නැති බව, ඒ වෙලාවේ දැනුන සැනසීම එක්ක මධුකාට හිතුණා. දෙන්නාගේ සම්බන්ධතාවය ගැන හදිසියේම දැනගත්ත වෙලේ කලබල වෙලා, විහාරව රැකියාවෙන් ඉවත් කරන යමක් කලානම් කියලා හිතුණ සිතුවිල්ල මධුකා ඈතටම විසි කරල දැම්මා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles