නිහඬ දඩුවම

කංචන තුන් වෙනි දවසටත් මාව මඟෑරලා ඉන්න ගත්තා. මාසයක් ඇතුලේ එයා මට මෙහෙම කරන තුන් වෙනි වතාව මේ. සතියකට දවස් හතරක්වත් කතා නොකරම අරිනවා. ඇමතුම් මඟ අරිනවා. කෙටි පණිවිඩ කියවලා, පිළිතුරු නොදී අරිනවා. සමහරවෙලාවට දවස දෙක සියළු සන්නිවේදන මාර්ග වලින් මාව අවහිර කරනවා. 

ඇත්තටම එයාට එහෙම වෙන්න මගේ අතින් වෙන වැරැද්ද ගැන මට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. සමහර දවස් වලදී මම එයාගෙන් ඇහුවේ, ඔයා දවල් බිසි වුනාද? මම කිහිපවතාවක්ම කෝල් කරා, ඔයා  මැසේජ් එකක්වත් තිව්වේ නෑනේ කියලා විතරයි. එහෙම අහපු ගමන්, ඇමතුම විසන්ධි කරලා ජංගම දුරකතනය විසන්ධි කරලා එයා අතුරුදන් වෙනවා.  සමහරවෙලාවට කෙටි පණිවිඩයක් විතරක් එනවා, මට අප්පිරියයි සී අයි ඩී වගේ පස්සෙන් එන ගෑණු. ඔයාගේ ඔය හිතළු එක්ක ජීවත් වෙන එක මට එපා වෙල කියලා. 

එහෙම කියන හැම වතාවකටම පස්සේ මම එහෙම ඇහුවේ වැරදි අදහසක් හිතාගෙන නෙවෙයි කියලා එයාට පැහැදිලි කර කර පස්සෙන් යන එක පුරුද්දකට ගියා. එහෙම දවස් දෙක තුනකට පස්සේ එයා කිසිම දෙයක් වුණේ නැහැ වගේ සාමාන්‍ය විදියට ආයේ ආවා. කතා බහ කරා. ආදරේ පෙන්නුවා. ඒත් ආයෙම පුරුදු චක්‍රේටම වැටෙන දවසක් ආවා. 

මේ වතාවේ මම ඉන්නේත් මානසිකව නොසෑහෙන්න ඇදගෙන  වැටිලා. නොහිතපු විදියට යාලුවෝ දෙන්නෙක්ම මට එකම විදියේ වංචාවක් එක පිට දවස් දෙකක කලා. ලක්ශ ගානක මුදලක් මට දවස් දෙකෙන් අහිමි වුනා. ඒ ගැන කියන්න හිටිය එකම කෙනා කංචන. ඒ නිසාම දිගින් දිගටම කංචන ට ඇමතුම් ගන්න එක නවත්තගන්න මට පුලුවන් වුනේ නැහැ. හවස් වෙනකල්ම එකම ඇමතුමකටවත් පිළිතුරු දෙන්නෙත් නැතුව, එකම එක පණිවිඩයක්වත් බලන්නේත් නැතුව උන්න කංචනව ඉවසගෙන දරාගන්න මට තිබුණ හැකියාව ශුන්‍ය වෙලා ගියේ රෑ අටට විතර. එක දිගට  විසන්ධි කරපු ඇමතුම් පහ හයකට පස්සේ මම ජීවිතේ කවදාවත් නැති තරමේ තදට කංචන ට බැණ වැදුණා. කෙටි පණිවිඩය පෝලිමක් යවන්න ඇති. මට වැදගත් වුණේ එවෙලේ මගේ මානසිකත්වය අල්ලගන්න ඔහු ළඟ නොහිටීමම විතරයි. 

ඊට පස්සේ මම කංචන ට මට ළං වෙන්න තිබුණ හැම මාර්ගයක්ම අවහිර කලා. කලින් වුණ වංචාවෙන් ගැලවෙන්න තිබුණ ඉඩ ගැන හිතලා පශ්චත්තාප වෙන එකත් නැවැත්තුවා.හැබැයි ඒ යාලුවෝ දෙන්නටම කල දේ ගැන පසුතැවෙන්න ඉඩක් දෙන්න කියලා මගේ හොඳම යාලුවෙක් කීව නිසා දිග පණිවිඩය දෙකක් දෙන්නට වෙන වෙනම යවලා ඔවුන්ට පිළිතුරු දෙන්නත් ඉඩ තිව්වා. ඒත් ඒ දෙන්නම නිහඬ වෘත අනුගමනය කලා විතරයි. ඒගොල්ලෝ නිදහසට කරුණු කියන්න ආවේ නැති එකෙන් මට තව සැනසීමක් දැනෙන බව හිතාගන්න මම උත්සාහ කලා. අත් හැරීමේ  සුවය හොඳින්ම වින්දා. පුදුමාකාර තරමින් කාර්‍යබහුල වෙලා වැඩ කලා.

ඒ අතරේ කංචන මගේ යාළුවෝ කිහිප දෙනෙක්ටම කතා කර කර මාව හොයනවා කියලා ආරංචි වුණා. ඒ හැමෝම මට පණිවිඩ ගෙනාවා වුනත්, මගෙන් ආයෙම පණිවිඩ අරගෙන ගියේ නැහැ. කංචන දිගටම මාව හොය හොයා යාලුවෝ සම්බන්ධ කරගෙන තිබුණා. 

සෙනසුරාදා උදේ කිලෝමීටර් සීයක් ගෙවාගෙන කංචන නුවර ඉඳන් මගේ බෝඩිම ඉස්සරහ ඉන්නකොට මට හිතාගන්න බැරි වුණා. දඩිබිඩියේ ඇඳුමක් දාගෙන එයා එක්ක එලියට ආවේ ඒ වෙහෙස ඇස් වලට ඇලෙන්නේ නැතුව ඉන්න තරම් හය්යක් නොතිබුණු නිසා. 

“මාව මරාගන්නද හදන්නේ ?”

කංචන හෙමින් ඒත් තදින් ඇහුවා. මම ඒක වැටහුනේ නැති ගානට එයා දිහාවම බලාගෙම හිටියා.

“යකෙක් වැහිලා වගේ බැනලා බැනලා, ඔක්කොම බ්ලොක් කරලා දාලා සයිලන්ට් වුණාම මට මොකද වෙන්නේ කියලා හිතුණේ නැද්ද පබළු… ඒ මදිවට එකෙක්වත් ඔයා ගැන පණිවිඩයක් කියන්නේත් නැහැ….”

මං ඒත් නිහඬවම හිටියා.

“ඔයාට මං කිව්වා ඒ දෙන්නා  එක්ක ගණුදෙනු පරෙස්සමින් කියලා … ඒක ඇහුවේ නෑ. පස්සේ බොරුවට නහයෙන් අඬනවා…”

ඒ අතරට එහෙමත් කිව්වම, මම නිහඬව ඉන්න එක තව දිග්කලා.

“මුකුත් නොකියා ඉන්නේ ඇයි පබළු .. මේ එදා ෆෝන් ආන්සවර් නොකල නිසාද ? හරි …සොරි… ඒත් මොනදේ වුනත් එහෙම කතා නොකර ඉන්නෙපා … බය වෙනවනේ…”

මං කංචන දිහා බලාගෙන් හිටියේ ඇස් ලොකු කරගෙන. එයා කරන දේම මට කරන්න එපා කියනවා.

“ඔයා සතියට දවස් දෙක තුන මා එක්ක කතා නොකර ඉන්නේ ? එතකොට ??”

“මං කතා නොකරාට ඔයාගේ මැසේජ් බලනවනේ.. මං ඔයාගැන අවධානෙන් නේ ඉන්නේ…”

“ආත්මාර්ථකාමී වෙන්නෙපා කංචන … ඔයා අවධානෙන් , ආදරෙන් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ ඔයා.. එහෙම නැතුව ඇත්තටම එහෙම නෙවෙයි …. මට කොච්චරක් මානසික වදයක්ද ඒක..? ඔයාට තේරෙන්නේ නෑ ඒක… මට දැනෙන්නේ ඔයා මට දඬුවම් දෙනවා වගේ.. ඒක මහ මරණීයයි.. ඔයාට ඇති කියලා හිතුනම දවස් දෙක තුනකින් කිසිම දෙයක් වුනේ නෑ වගේ ඔයා එනවා කංචන… මට හරි අමාරුයි .. ඔයාගේ විදිය මේක නම්, මට හරි මහන්සියි… ජීවිතේ ඉස්සරහට තනියෙන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා මට … ඇත්තටම …”

මට ඇඬුණා. කංචන මාව පපුවට ගුලි කරගත්තා. එයාගේ පපුව නොසෑහෙන්න හය්යෙන් ගැහෙනවා. මං ඔලුව උස්සලා ඇස් වල එල්ලුණා. එයාගේ ඇස් ගින්දර රතු පාටයි. මහ වේදනාවක් තිබුණා. කලකිරීමක් තිබුණා.

“ඔහොම ඉන්න … මට පොඩ්ඩක් ඉඩ දෙන්න…මං කල්පනා කරේ නෑ එහෙම… ප්ලීස්.. යන්න එපා පබලු….”

එයා අමාරුවෙන් එහෙම කිව්වා. මම හරි ලේසියෙන් කංචන ට ලං වුණා. 

ජීවිතේට ඉන්න ඕනි, තේරුම් ගන්න මිනිහෙක්. අඬවන්නේ නැති මිනිහෙක් නෙවෙයි, අඬන හේතු තේරුම් ගන්න මිනිහෙක්. 

මං ඩයරියේ එහෙම ලිව්වා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles