අහිංසා මහ ගෙදර යන එක තිත්ත වෙලා තිබුණේ. ඒ නිසාම පුලුවන් හැම වෙලේම මහ ගෙදර යන අවස්ථා අහිංසා මඟ ඇරියා. අහිංසාගේ මේ මඟ හැරීම දැනගෙන උන්න සසංකත් අහිංසාට ඒ වෙනුවෙන් බල නොකර තරම්. තමන්ගේ මහ ගෙදර යන්න අකමැති වුනාට අහිංසා සසංකගේ මහ ගෙදර යන්න නම් ලෑස්ති වුණේ කඳමළු බැඳගෙන. අහිංසාද අවුස්සගන්න ඕනි වෙලාවට සසංක කියන්නේ මුලින් ආව අඟට වඩා පස්සේ ආපු කන ලොකු වෙලා කියලා.
අලුත් අවුරුදු සතියේ අග දවසක යෙදුණ බක් පුර පෝයට අහිංසාගේ මහ ගෙදර දානමය පිංකමක් සූදානම් කරලා තිබුණා. තම තමන්ගේ ගෙවල් වල අවුරුදු චාරිත්‍ර ඉවර කරන නෑදෑයෝ ඔක්කොම සති අගට මහ ගෙදර ට එකතු වෙන බව අහිංසා දන්නවා. ඒ නිසාම අහිංසා සැලසුම් හැදුවේ ඒ ගමන මඟාරින්න.
“අහිංසා..උඹ අපිට ලැජ්ජ කරන්න නම් තියාගන්න එපා.. අලුත් අවුරුද්ද ට මහ ගෙදර ට එන්න බැරි තරමට උඹලට වැඩ නැහැනේ… මං අවුරුදු පාලොවක් තිස්සේ උඹට කන්න අඳින්න දීලා හදාගත්ත ගුණේ තියන්නවත් දවස් දෙක තුනක් ඉන්න බලාගෙන එන්න…”
ලොකු නැන්ද පළවෙනි වෙඩි මුරේ පත්තු කලා. අහිංසා මුකුත් නොකියාම ඇමතුම විසන්ධි කලා. එහෙමම ඔලුවත් අල්ලගෙන ඇඳට වැටුණා.
“උඹේ මූසලකමට තමා මල්ලියි නෑනයි දෙන්නම නැති වුණේ…”
“කෙල්ලේ.. උඹට තවම වෙනසක් නැද්ද ? දැන් අවුරුදු පහකට කිට්ටුව නේහ්.. බේතක් කරන්න වේවි…… “
“අවාසනාව තියෙනකොට දරු ගැබ් හිටින්නේ කොහෙද ඉතින් …”
“ඉගෙනගන්න කැම්පස් යැව්වම කරගත්තේ ඔය යස මඟුලක්….”
“උඹේ මේ නෙය්යාඩගම් දකින්න මල්ලී නොහිටි එකමයි හොඳ… යසට ලැබුණ ඟුරු පත්වීම අතෑරලා දෝණියැන්දා කේක් ගෙඩි තම්බනවා දැක්කා නම් ඌට ලැජ්ජාවට පණ යාවි…”
දකින හමුවෙන හැම වෙලාවකම එක එක වචනවලින් එකම කතාව ඇණුම් පද විදියට අහිංසාට අහන්න වෙනවා. අහිංසාගේ අම්මයි තාත්තා යි රිය අනතුරකින් මිය ගියේ අහිංසා දහය වසරේදි. ඊට පස්සේ අහිංසාහේ බාරකාරීත්වයට ඉදිරිපත් වුණේ ලොකු නැන්දා. ඒ අහිංසාට තිබුණ ආදරේ ට වඩා අහිංසාට උරුම වෙල තිබුණු තේ, රබර් වතු වලට ආසාවට. අහිංසා ඒ හැම දේම උපේක්ෂාවෙන් අතෑරලා දාලා ජීවත් වුණා. ඉගෙනගත්තා. කැම්පස් ගියා. සසංක මුණ ගැහුණේ ජපුරේදි. උපාධි ප්‍රධානෝත්සවයටත් කලින් අහිංසා සසංක එක්කල විවාහ වුණා. ඒ වැඩිහිටියන්ට දැනුම් දීමක් විතරක් කරලා. නැන්දලා මාන බලන්නේ නෑදෑකමින් මස්සිනා වෙන සහෝදරයෙක්ට තමන්ව විවාහ කරලා දිලා දේපළ බුක්ති විඳින එක කියලා දැනගෙන උන්න නිසාම අහිංසා වෙන විකල්පයක් හිතුවේම නැහැ.
සසංකගේ දෙමාපියන්ට වැඩිපුරම වැදගත් වුණේ සසංක ගලපගන්න ජීවිතය. ඒ නිසාම ඔවුන් අහිංසාව හරි ආදරෙන් පිලිගත්තා. අහිංසාට පවුලක් ලැබුණා. විවාහ වෙලා අවුරුදු පහක් ගෙවෙනකම්ම දෙන්නට දරුවෙක් ගැන වගකීමක් වෙනුවෙන් සූදානමක් තිබුණේ නැහැ. ඒ ගැන නොදන්න අහිංසාගේ නෑදෑයෝ අහිංසාට දුන්නේ වඳ ගෑනියෙක් කියන නම.
“අහිංසා.. මේ පාර දානෙට අපේ අම්මලයි, අක්කලයි එන්නම් කියනවාඅ. ලොකු මස්සිනා වෑන් එකක් ඉල්ලගන්නම් කිව්වා යාලුවෙක්ගෙන්… අපි ගිහිල්ලා දවස් දෙක තුනක් ඉඳලා එමූ..”
අහිංසාගේ මූණේ මල් පිපුණා.එදයින් පස්සේ මහ ගෙදර යම්ම අහිංසා ලෑස්ති වුණේ හරි උද්දාමයෙන්.
ලොකු වෑන් එකකින් හාල්, පොල්, මාලු උස්සගෙන අහිංසා මහගෙදර මිදුලෙන් බැස්සේ පිරිවර එක්ක. ලොකු නැන්දාගේ මූණ ඇඹරිලා යනවා අහිංසා දැක්කා. ඒ බවක් නොපෙනෙන්න හිනාවෙලා කට්ටිය පිළිගත්තා.
“අරකි අරුන් පිරිවරාගෙන ආව උජාරුව…”
ලොකු නැන්දා පොඩි නැන්දා එක්ක කියනවා ඇහෙද්දී අහිංසාට දුක හිතුණේ නැහැ.
“එහෙ මහ එවුන් මේකි එළවගනීවි කියලා මම නම් හිතුවේ.. ඒකට බලාපල්ලකෝ..”
උත්තර ඇහෙනකොට අහිංසාට තව හිනා රැල්ලක් මැවුණා.
“ඒකිට දැන් අපි නොනෑයෝ ගානයි . මට බය ඔය ආව වේගෙට රබර් කෑලි ටිකයි තේ කෑලි ටිකයි බලන්න මෙහෙන් මුරකාරයෝ දාලා යාවිද කියලා .. මහ එකා බිස්නස්කාරයා…”
“අනේ මන්දා අක්කේ… ඒ සල්ලි ටික නැති වුනොත් නම් අපේ ළමයි දෙන්නගේ වැඩ කොහොම කරගන්නද මන්දා…”
“හරි හරි.. මං කෙල්ලට කිට්ටු කරලා මේවා බලාගන්න අපි වෙහෙසෙන තරම මතක් කරන්නම්.. අනෙක දැන් ඔය මහ එවුන් ඉන්න හින්දා කෙල්ලට පුලුවන් තරමින් සලකන්න ඕනි…”
“අක්කා යන්නකෝ.. මං තේ මේසේ හදන්නම්..”
අහිංසා අඩියට දෙකට මිදුලට ගිහින් නෑදෑයෝ මැදට වුණා. නෑදෑකම් වල ඇත්තම නිර්වචනය හැදෙන්නේ ලේ වල ඝනකමින් නෙවෙයි කියලා අහිංසා තේරුම් ගත්තා.
| අපේක්ශා ගුණරත්න |