පරණ වුනත් තාම අලුත් Pop Music!

Pop සංගීතය කිව්වම නිකන් අපිට හිතෙන්නෙ “අපෝ මේ අපේ වයසේ අයට ඕව හරියනවද?” කියලනෙ.

අපිට නිකන් මේ Pop කියන වචනෙ ඇතුලෙම තියෙනවා නිකන් අපිට ගැලපෙන්නෙ නැති, අපිට වඩා තරුණ සෙට් එකකට තමයි මේක හරියන්නෙ කියන අදහස.

“මම නම් අනේ Pop අහන්නෙ නෑ, මම අහන්නෙ මාර ක්ලැසිකල් ඒව” කියල මේ Pop සංගීතෙ ගැන මේ ලිපිය ලියන මමත් කියල තියෙනව අනන්තවත්.

ඒ වුණාට දන්නවද, මේ Pop සංගීත කලාව ලෝකෙට ඇවිල්ල තියෙන්නෙ 1950 ගණන් වල මැද කාලෙ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයෙදි.

(ලියන එක්කෙනාට ඉතින් තාම විසි නවයයි නේ. ඉතින් මං ඒ කාලෙ හිටියේ නෑ. සමහර විට කලින් ආත්මෙ Pop band එකක වැඩ කරා වෙන්නත් ඇහැකි)

ඔය Pop Music කියන එකේ තේරුම තමයි Popular Music කියන එක. ඒ කාලේ විශේෂයෙන්ම තරුණ කොල්ලො කෙල්ලො අතරෙ Popular වෙච්ච Music කාණ්ඩයක් තමයි මේ Pop Music කියල පස්සෙ කාලෙක කලඑලි බැස්සෙ. Pop Culture එකක් කියල දෙයක් බිහිවුණේ.

ආරම්භයක් තිබ්බට මේ Pop Music වලට අවසානයක් නම් තාම ලැබිල නෑ. වෙනස් වන සමාජ රටාවන්, සංස්කෘතින් එක්ක එක්කහු වෙවී මේ Pop Music කියන එක තවමත් හැමදාම අලුත් වෙවී ඉස්සරහට ඇදිල යනවා.

ශකීරගේ “Wherever, Whenever” කියන සිංදුව අයිතිවෙන්නෙ මේ Pop Music කියන කාණ්ඩෙට.

ආ ඒ විතරක් නෙවෙයි ඔයාලා අහලා ඇතිනේ Who Chali, Who Chali සිංදුව? 90 සෙට් එකනම් ඉතින් ෂුවර් එකටම දන්නවනේ මේ සිංදුව? ඒ සිංදුව කිව්ව Bombay Wikings සංගීත කණ්ඩායමේ Kya Surat Hai සිංදුව අයිතිවෙන්නෙත් මේ Pop Music කියන ගොඩටම තමයි.

ඔන්න ඉතින් දැන් මේ සිංදු අහල තියෙනව සහ මම මේ සිංදු වලට මාර ආස නිසා ආයෙ මට කියන්න බෑ “මම Pop Music අහන්නෙ නෑ අනේ, මම අහන්නෙ රාගධාරි සංගීතය” වගේ කියල.

Pop Music ඇයි Special?

මේ Pop Music වල තියෙන විශේෂත්වය තමයි ආයෙ නෑ ලේසියෙන් අමතක වෙන්නැති බොහොම සරල හැබැයි දෙකට කැපිච්ච පණුවෙක් වගේ නටන්න ඇහැකි සුපිරි රිදම් එකක් තිබීම.

ආයෙ වයසක මනුස්සයෙක්ට වුනත් තමන්ගෙ තරුණ කාලෙ මතක් කරන්න සුපිරි ඩාන්ස් එකක් දාන්න පුලුවන් විදියෙ Melodies තියෙන එක මේ Pop Music වල තියෙන ලොකුම ලොකු විශේෂත්වයක්.

ඒ දවස්වලා උන්නු Frank Sinatra, Bing Crosby වගේ මිනිස්සුන්ගෙ උත්සාහය නිසා තමයි මේ Pop Music අපිට අදටත් Radio ඔස්සේ හරි අහන්න පුලුවන් කම ලැබිලා තියෙන්නෙ.

Rock n Roll කියන්නෙ Pop Music වල කෑල්ලක්ද?

Rock n Roll Soniye කිව්වලු! ඔව් ඔව් Rock N Roll කියන්නෙ Pop Music වල එක දරුවෙක් කිව්වොත් හරි.

1950 ගණන්වලදි මාර විදියට හිට් වෙච්ච මේ උද්වේගකර හැඟීම් බිහිකරපු  Pop Music වල කොටසක් තමයි මේ Rock n Roll කියන්නෙ. ඒ කාලෙ තමයි ඔය Rock n Roll සංගීතෙට මිනිස්සු වහ වැටෙන්න පටන් ගත්තෙ. ඒකෙ ක්‍රෙඩිට් එක නම් ඉතින් යන්නෙ, ඒ කාලෙ ලෝකෙම පිස්සු වට්ටපු එල්විස් ප්‍රෙස්ලි, චක් බෙරී, ලිට්ල් රිචඩ් වගේ මිනිස්සුන්ට.

එයාලගේ සංගීත සංදර්ශන වලදි මිනිස්සුන්ව පිස්සු වට්ටන්න එයාල මේ සංගීතයන් යොදාගෙන තියෙනව. (කියන කට්ටිය අතරත් ඇති නේද ඔය එල්විස් ප්‍රෙස්ලිගෙ පින්තූර හෙම ඒ දවස්වල කාමරේ ගහන් උන්නු අය?)

ඉන්පස්සෙ ආවෙ කවුද?

ඉන්පස්සෙ ආවෙ ඉතින් බ්‍රිතාන්‍ය රැල්ල. කොහෙ ගියත් ඉතින් සුද්දන්ගෙ අඩියක් දකින්න තියෙන එකේ මෙතනත් එහෙම වෙන්න එපයි නේද?

The Beatles, The Rolling Stones, and The Who කියන සංගීත කණ්ඩායම් වල එකතුවීමත් එක්ක මේ Pop Music කියන දේ ලෝකෙ පුරාවටම විසිරෙන්න පටන් ගත්ත කිව්වොත් හරි. ඒ ඔස්සේ තව තව රටවල් මේ සංගීත කලාව වැලඳගත්තා කිව්වොතින් වඩාත් හරි.

ඒ මැදිහත්වීම එක්ක තමයි ඇත්තටම Pop Music කියන දේට ගොඩක්ම දුර යන්න පුලුවන් උනේ.

The Beatles සංගීත කණ්ඩායම Pop Music වලට එකතු කරපු rock, folk, සහ psychedelia කියන අලුත් අංග එක්ක මේ Pop Music එක Pop Culture එකක් වුණා.

ඩිජිටල් වෙච්ච Pop Music

මේක වුණේ 1980 ගණන් වලදි. (මං ඒත් නෑ)

Synthesizers සහ electronic instruments පාවිච්චි කරල Pop Music ඩිජිටල් ලෝකෙට අරන් ආව වෙනසෙන් තමයි අපි මම හිතන්නෙ අදටත් මේ පැරණි, වටින සංගීත කලාව රස විඳින්නෙ.

තාක්ෂණය එක්ක මේ සංගීතය එකතු කරන වැඩේට මුල පිරුව අය අතර ඉස්සරහින්ම ඉන්නෙ Michael Jackson, Madonna, සහ Prince වගේ ලෝකෙ මිනිස්සු ආදරෙන් වැලඳගත්ත කලාකරුවො.

අදටත් මේ මිනිස්සු බිහි කරපු සංගීතයන් Music Charts වල මොනතරම් ඉස්සරහින් තියෙනවද කියන එක අමුතුවෙන් මතක්කරන්න ඕන නෑනෙ.

කාලයත් එක්ක එළියට ආව Music Videos මේ Pop Music ඉස්සරහට අරගෙන යන්න තවත් ලොකු හේතුවක් වුණා. Pop Stars ලව බිහිකරන්න MTV එක ගත්ත වෑයම නම් එතනදි ඇත්තටම අගය කරන්නම වටිනවා.

මොකද දැන් වගේ නෙවිනෙ ඒ කාලෙ. තරු බිහිවුණේ හරි අඩුවෙන්. ඒත් ඒ තරුවලට තිබුන මාසෙන් දෙකෙන් නොමැකෙන දීප්තියක්.

කරළියට ආව Pop Divas

1990 ගණන්වල බිහි වූ විට්නි හූස්ටන්, මරියා කේරි සහ සෙලීන් ඩියෝන් කියන්නෙ මේ Pop Diva කියන කැටගරි එක බබලවපු මිනිස්සු.

R&B, hip-hop කියන දේවක් එක්කහු කරපු එයාලගෙ සංගීතය මිනිස්සු වැලඳගත්තෙ පිස්සුවෙන් වගේ. දැන්වගේ ලොකුවට සමාජ මාධ්‍ය නැති ඒ කාලේ ලෝකෙ සමහර මිනිස්සු තමන් කවදාවත් ඇහැට නොදැකපු ලෝකයක් දැනගත්තෙ දැකගත්තෙ මේ සංගීතය ඔස්සේ. ඒකයි සංගීතය Universal Language එකක් වෙන්නෙ.

 Spice Girls සහ Backstreet Boys වගේ ලෝකෙක හැමෝම ආදරේ කරපු කාන්තා, පිරිමි සංගීත කණ්ඩායම් 1990 ගණන් වලදි ලෝකෙ මොනතරම් නම් ප්‍රසිද්ධ වුණාද කියන එක අපි හැමෝම දන්න කාරණාවක්!

එච්චර පරණ වෙලත් තාම අලුත්!

අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ 21 වන සියවසේ ඩිජිටල් ලෝකෙ ඇතුලෙත් Pop Music ඉන්නවා උඩින්ම.

Spotify, Apple Music වගේ දේවල් එක්ක අත්වැල් බැඳගත්ත Pop Music යන්නේ කවදාවත් නවතින්නෙ නැති ගමනක් වගේ කියල තමා මට හිතෙන්නෙ.

බියොන්සේ, ටේලර් ස්විෆ්ට්, ඇඩ්ලේ වගේ අද කාලේ ජනප්‍රිය මිනිස්සු පවා වාර්තා පිට වාර්තා තබමින් අදටත් මේ Pop Music එක්ක තමන්ගෙ සංගීත චාරිකාව ලස්සනට කරගෙන යනවා.

ඉතින් ලෝකෙ කොච්චර පරණ වුණත් සංගීතය කවදාවත් පරණ වෙන්නෙ නෑ.

ඒ වගේම තමයි මේ Pop Music වලට ආදරේ කල මිනිස්සු මේ සංගීතය අහන කම් කවදාවත් වයසට යන්නෙත් නෑ!

Related Articles

Don't Miss


Latest Articles