“තාත්තෙ මම කියන්නෙ දැන් ඔයා ඔය අවුරුදු ගාණක් රට ඉඳිය ඇති. මල්ලියි මමයි දෙන්නම හොඳට හම්බ කරන නිසා ඔයා ගෙදර ඇවිල්ල ඉන්නකො දැන්. අවුරුදු කීයක් ඔයා පිටරට වැඩ කරාද? ගෙදර ඉඳියෙ කොච්චර පොඩි කාලයද?”
සඳනි එහෙම කිව්වෙ සුපුරුදු විදියට හැමදාම රෑ නවයට තාත්තට ගන්න කෝල් එකේදි. සඳනිගෙ තාත්තා වැඩ කරේ පිටරට. ලොකු රස්සාවක්, ලොකු පඩියක් හම්බුවෙන රස්සාවක් උනාට අවුරුදු ගාණක් තිස්සෙම තාත්තා වැඩි හරියක් හිටියෙ රට. ගෙදර ඉඳපු කාලෙ හරිම අඩුයි. තාත්තාගෙ අඩුපාඩුව නොතේරෙන්න අම්මා හැමදෙයක්ම බලල කරාට තාත්තා කෙනෙක් නැති ගෙදරක් කියන්නෙ මොනතරම් අඩුපාඩුවක්ද කියල සඳනිලට අමුතුවෙන් තේරුම් කරල දෙන්න උවමනාවක් තිබුනේ නෑ.
ඉහෙන් බහින ලෙඩක් නොතිබ්බට තාත්තා දැන් අවුරුදු 58ක මනුස්සයෙක්. අවුරුදු ගානක් මහන්සි වෙලා හම්බ කරල දරුවො දෙන්නට ඉගෙන ගන්න උදව් කරගත්තට රස්සාවට ගිහින් හොඳට හම්බ කරන්න ගත්තට පස්සෙ සඳනියි එයාගෙ මල්ලියි කසුනුයි ගෙදරටත් වියදම් දුන්නා.
ඒත් ආයෙ ගෙදර එන්න තාත්තාටනම් උවමනාවක් තිබ්බෙ නැති තරම්.
“ඔයාලා හම්බ කරන දේවල් ඔයාලට. ඒව අපි වෙනුවෙන් වියදම් කරන්න ඕන නෑ. අනික මට තාම හොඳට වැඩ කරන්න පුලුවන් කම තියෙනවනෙ තාම. මෙහේ එහෙම ෆිසිකල් ෆිට්නස් එක තියෙනම් අවුරුදු හැත්තෑව වෙනකම් උනත් වැඩ කරන්න පුලුවන්”
“අනේ තාත්තේ ප්ලීස් මොකද්ද අපි කියන දේ අහන්නකො. මොනතරම් හම්බ කරත් ඔයාට ගෙදර ඉන්න බැරි නම් , අපි එක්ක ට්‍රිප් එකක් යන්න බැරි නම් වැඩක් තියෙනවද?
අනික පොඩ්ඩක් අම්මා ගැනත් හිතන්නකො.මේ අවුරුදු කීයක් නම් අම්මා තනියම දැන් හැමදේම කරගන්නවද? ඔයා වෙනුවෙන් නෙවෙයි අඩුගානෙ අම්මා වෙනුවෙන්වත් ගෙදර එන්නකො”
“මම ආසයි ඔයාලගෙ වෙඩින් එහෙම ලස්සනට වියදම් කරල දෙන්න, අනික කවදහරි ඔයාලගෙ දරුවන්ටත් යම් දෙයක් දෙන්න තමයි මගෙ බලාපොරොත්තුව.”
“තාත්තෙ අපෙ දරුවො හම්බෙන්නෙ තව අවුරුදු කීයකින්ද? එයාල වෙනුවෙන් හම්බ කරන්න අපිට පුලුවන්. ඔයා දැන් ගෙදරඑන්න. ලෙඩක් හැදුනත් ඔයාට ඔය රටේ කවුරුවත් නෑනෙ”
ඒත් සඳනිගෙ තාත්තා උන්නෙ නම් ඔව්වට එකඟ වෙන මානසිකත්වයක නෙවෙයි. අනික කොහොමත් අපිට කලින් පරම්පරාව ඒ කිව්වෙ අපෙ දෙමව්පියොත් එක්තරා විදියක මුරණ්ඩු මිනිස්සු බව සඳනි දැනං උන්නා. ඒකතාව තව ඔප්පු කරන්න වගේ තමයි තාත්තගෙ කෝල් එක ඉවර උනාට පස්සෙ අම්මගෙ කතාව පටන් ගත්තෙ.
“ඔයාලා තාත්තට ගෙදර එන්න කිව්වට එහෙම එන්න බෑනෙ”
“ඇයි එන්න බැරි?”
“ඇවිත් කොහොමද ජීවත් වෙන්නේ?”
“ජීවත්වෙන්න තාත්තා ඉතුරු කරපු සල්ලි ඇතිනෙ. ඒවයින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න”
“එතකොට ඔයාලගෙ ඉස්සරහ වැඩ කරන්නෙ කවුද? වෙඩින් දෙකක් ගන්නව කියන්නෙ කොච්චර ලොකු වියදමක්ද?”
“එතකොට දැන් ඔයාලගෙ ප්ලෑන් එක මේ ඔයාලගෙ සේවින්ස් වලින් අපෙ වෙඩින්ස් කරල දෙන්නද? පිස්සුද? ඒව කරගන්න තමයි අපි හරිහම්බ කරන්නෙ”
“ඒ උනාට තාත්තා අකමැති නම් එන්න කියල බලකරන්න එපා”
“මම කියන්නෙ තාත්තා වයසක මිනිහෙක් දැන්.ෆිසිකල් ෆිට්නස් එක හොඳ උනාට ඕනම මනුස්සයෙක්ට රෙස්ට් එකක් ඕන. තාත්ත දැන් ඉන්නෙ ඒ රෙස්ට් එක ගන්න ඕන වයසක”
“රෙස්ට් එකක් ගන්නත් ළමයො සල්ලි තියෙන්න ඕනනෙ. කවුද මේ ගෙවල් දොරවල් නඩත්තු කරන්නෙ?”
“අම්මේ අපි උදව් කරන්නෙ නෑ වගේනෙ ඔයාලා කතාකරන්නෙ?”
“අනේ අපිට බෑ ලමයො ඔයාලගෙ සල්ලිවලින් කකා බිබී ඉන්න”
අම්මාගෙ ඒ වචන කතාව නතර කරන්න හේතුවක් උනාට කතාවට නැවතීමෙ ලකුණ තියන්න කලින් දෙයක් කියන්න සඳනිට උවමනා උනා.
“මම මේ දැන් කියන එක ඔයයි තාත්තයි පිලිගන්න එකක් නෑ. ඒත් අම්ම හිතල බලන්න කොච්චර හම්බ කරත් තේරුමක් තියෙනවද කියල අපිට පවුලක් විදියට එකට ඉන්න බැරි නම්.කොවිඩ් නිසා තාත්තට අවුරුදු දෙකහමාරක් විතර ගෙදර එන්න බැරි උනා. අපි තාත්තව අන්තිමට දැක්කෙ කොච්චර කාලෙකට කලින්ද? අපි අන්තිමට ට්‍රිප් එකක් ගියේ මම නවය වසරෙ ඉද්දි. අපි අන්තිමට එලියට ගිය දවසක් මතකවත් නෑ. කොච්චර හම්බ කරත් එහෙම ජීවිතයක් වැඩක් තියෙනව කියල අම්ම හිතල බලන්න.
සල්ලි හම්බකරගන්න පුලුවන් අම්මෙ. ඒත් මේ ගෙවිල යන කාලෙ අපිට ආයෙ කවදාවත් ගන්න බෑ”
ඒ අතීත කතාව මතක් වෙද්දි සඳනි ඉඳියෙ ගෙදර සාලෙ තියල තිබ්බ තාත්තගෙ මිණිය දිහා බලාගෙන.
මීට මාස කීපෙකට කලින් තමන් කිව්ව දේ පිලිගත්ත නම් තාත්තට නොදන්න රටක අඳුරන මනුස්සයෙක් ලඟ නැතුව මැරෙන්න වෙන්නෙ නෑ කියල හිතුනට දැන් ඒව හිතල වැඩක් තියෙනවද කියලත් සඳනිට අනිත් පැත්තට හිතුනා.
හදිසියෙ ආව හදවත් අමාරුවකින් තාත්තා මිය ගිහින් කියල තාත්තාගෙ යාලුවෙක් කතා කරල කියද්දි ඒ පණිවිඩේ අම්මට කියන වගකීම භාරගන්න උනේ සඳනිට.
රට ඉඳන් තාත්තව ලංකාවට ගෙන්න ගන්න ගෙවිච්ච දවස් තුන හතර හීනයක් වගේ දැනුනෙ. තමන් මහමෙරක් වගේ ආදරේ කරපු, බබී කියල ආදරෙ නලල උඩ හාදු තිබ්බ, පැය ගනන් දොඩමලු වෙච්ච තාත්ත වචනයක්වත් නොකිය සදාකාලික නින්දක වැතිරිල ඉන්න දිහා බලාගෙන කල්පනා කරන්න දෙයක් සඳනිට තිබුනා.
තාත්ත ළඟ පුටුවක වාඩිවෙලා කඳුලු පිරිච්ච ඇස් වලින් තාත්තා දිහා බලාන උන්න අම්මාව සඳනිගෙ ඇස්වල ඇඳුණා.
“සල්ලි හම්බකරගන්න පුලුවන් අම්මෙ. ඒත් මේ ගෙවිල යන කාලෙ අපිට ආයෙ කවදාවත් ගන්න බෑ”
ඒ කතාව තාමත් වලංගුද කියල ආයෙ වතාවක් සඳනිට හිතුනා.