හතුරු මිතුරු

පහනිගේ හොඳම යාලුවා තරණි.දෙන්නා මොන්ටිසෝරි ගියේ එකට. ඉස්කෝලේ ගියෙත් එකට. උසස්පෙල සමත් වෙලා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට ආවෙත් එකට. ඊට පස්සේ තේ මණ්ඩලයේ රැකියාවට වැටුනෙත් එකට. අවුරුදු විස්සක් විතරම දෙන්නා එකට ගෙවලා තිබුණා. ඒත් එකපාරටම ඒ යාලුකමට කණ කොකා  අඬන්න ගත්තේ දෙන්නාගේම හිත් එකම ආදරයක් ළඟ නැවතුණ දවසේ ඉඳන්. දෙන්නාට දෙන්නා එකිනෙකාට හොරෙන් ඒ ප්‍රේම කුරුල්ලට බැල්ම දාන්න ගත්තා. අචින්ත; පහනියි, තරණියි වැඩ කරපු තැනම වැඩ කරපු  කඩවසම්, සමාජ අවධානය අඩු නැතිව තිබුණු, දක්ශ තරුණයා නිසා මිතුරියෝ දෙන්නා සීතල යුද්ධෙකට පැටලුණා.

වෙනදා නිවාඩුවට එකට ගෙදර යන දෙන්නා වෙන වෙනම ගෙදර යන්න පටන් ගත්තා. ආයෙම වැඩට එනකොටත් දෙන්නා ආවේ වෙන් වෙනම. පහනි වෙනම බෝඩිමකට මාරු වුණා. දෙන්නාට දෙන්නාගේ අඩුපාඩුකම් දෙන්නම අහුවෙන අය එක්ක කියවන්න  පටන් අරගෙන තිබුණා. කිරියි පැණියි වගේ උන්න යාලුවෝ දෙන්නාගේ වෙනස්කම් කිහිප දෙනෙක්ම අඳුනගත්තා වුනත් ඒ කිසිම කෙනෙක්ට ඒ ගැන හාරා අවුස්සලා අහන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ හිත් නොහොඳකම් එහෙමම කල් ඇදුණා.

මාසයක් විතට යනකොට දෙන්නාම සතුටින් ඉන්න බව පෙනුණා. දෙන්නාට දෙන්නා හිටියේ එකිනෙකාට පෙන්නන්න උවමනා වුම සතුටකින්. පවනි හිටපු ගමන් සතිය මැද ගෙදර ගියා. තව සතිවල එහෙම නිවාඩු වැරුණේ තරණිට. 

කාලේ ටිකෙන් ටික එහෙම ගෙවුණා. එක පාරටම බෝම්බයක් පිපිරුනා.

“අචින්තගේ නෝනා දරුවත් අරගෙන අචින්ත හොයාගෙන ඇවිල්ලා…”

තරණිට ඒ පණිවිඩේ ඇහෙනකොට තරණි හිටියේ සාම්පල් වගයක් පරීක්ෂණාගාරයට අරගෙන යන ගමන්. සාම්පල් ටික පැත්තකට තියලා තරණි එහෙමම ඒ කතාව අහගෙන හිටියා. ඇඟ ඇතුලෙන් පටන් ගත්ත කරන්ට් එකක් මුළු සිරුරම වහගෙණ පැතිරෙන බව තරණිට දැනුනා. තරණි කාටවත් නොපෙනන අස්සක වාඩි වුණා. ඒ ඇහුණේ මොකක්ද කියලා ආයේ ආයෙම හිතුවා. ඒත් ඒ ඇහුණ දේ වෙනසක් වෙන්න විදියක්නැති බව තේරුණා. 

අචින්තගේ බිරිඳ දරුවාවත් අරගෙන කාර්‍යාලයට ඇවිල්ලා කියන ආරංචියේ සිද්දිය සිද්ද වුණේ පවනිගේ ඇස් ඉස්සරහ. කොටින්ම අචින්තගේ බිරිඳ, අචින්ත ගැන විමසුවේ පවා පවනිගෙන්. පවනි ආයාසයෙන් ඇයට මුහුණ දීලා කෙලින්ම විවේක කාමරය ඇතුලට රිංගගත්තා. පුටුවක ඉඳගත්තේ දෑත් කුස මත තදින් බැඳගෙන. තමා තමාට අවනත නැති බව පවනිට දැනුණා. දෑත් දෙපා අවසඟ බව දැනුණා.  ඒත්, ඒ දැක්ක හැමදේම ඇත්ත.

ඒ වෙද්දී රාජකාරියක් වෙනුවෙන් නගරයට ගිහිල්ලා හිටපු අචින්ත ආයෙම කාර්‍යාලයට ආවේ පැය තුනකට විතර පස්සේ. බිරිඳත් දරුවාවත් දැක්කාම අචින්ත පුදුම වුණ තරම තරණිත්, පවනිත් දෙන්නා වෙන වෙනම ඒත් එක්ම ප්‍රමාණයෙන් දැන ගත්තා. අනෙක් කිසිම කෙනෙක්ට් ඒ තිගැස්ම නොපෙනෙන තරමේ සංයමයක් අචින්ත නඩත්තු කරා.  එදා සිකුරාදාවක් වුණ නිසා, හවස අචින්ත බිරිඳයි, දරුවයි එක්ක ගමේ ගියේ කිසිම ප්‍රශ්නයක් නොවුන ගානට.

බෝඩිමට ගියපු පවනි අචින්ත ට ඇමතුම් කප්පරක් වෙනුවෙන් උත්සාහ කලා. ඒ අංකය තිබුණේ ක්‍රියා විරහිතව. තරණි ඇය ළඟ තිබුණ අංකයට උත්සාහ කලා. ඒත් ඒ අංකයෙන් කියවුනෙත් ක්‍රියා විරහිත බව. ජීවිතේ අර්ධයක් නාය ගිහින් බව දැනෙද්දී, ඉතිරි හය්ය අල්ලගන්න කවුරුම් හරි ඕනෑ වුණා. 

පවනි හිතේ හය්ය අරගෙන තරණිගේ බෝඩිමට ආවා. තරණි දොර ඇරියා. තම තමන් තනි තනිව මුලා වුණ වග විතරක් දැනන් උන්න නිසා, දෙදෙනාගේම හිත් වල තිබුණේ තමන් ගැන  වේදනාව. තමන් ගැන අනුකම්පාව. 

“අර මිනිහා මාව රැවැට්ටුවා තරණී… අනේ… මාව නැත්තටම නැති කලා……”

ඉස්සෙල්ලාම පුපුරගෙන වැටුණේ පවනි. තරණිගේ ඔලුව  උඩ පිපිරුවේ ලේසි පහසු හෙණයක් නෙවෙයි. තරණි ඒ කිව්වේ මොකක්ද කියලා ආයෙම කියන්න කියලා වගේ බැල්මක් එක්ක පවනි දිහා බලාගෙන හිටියේ නිහඬවම. තරණි කිසිම දෙයක් නොකීවත් පවනි අඬ අඬා හිතේ තිබුණ වේදනාවෙන් අංශුමාත්‍රික කොටස් එළි දැම්මා. තරණි ඒ කොටස් වල මහා පරිමාණික ප්‍ර්මාණ හිතේ අස්සේ තද කරගන්න පටන් ගත්තා. 

“මට කිව්වේ මට ආදරේ කියලා ..  ඔයා මට ඉරිසියා නිසා ඔයාට කියන්නෙපා කිව්වා…”

පවනි එහෙමත් කිව්වා.

“දැන්ම මේ ගැන පවනිට කියන්නෙපා.. එය ඔයා ගැන ඉරිසියාවෙන් ඉන්නේ..තේරුනාද ?”

අචින්ත ගේ ගැඹුරු හඬ තරණිගේ හිතේ එක පාරටම ඇහිලා, නෑහිලා ගියා. තරණිඇස් දෙක තදට පියාගෙන වේදනාව අස්සටම තල්ලු කරා.

පවනිගේ ළඟින් ඉඳගෙන පවනිගේ උරිස්සෙන් අල්ල ගත්තා. 

“ජීවිතේ පැටලෙනවා පවනි.. එහෙම තමා…. අපි මේ පැටලුම් හෙමින් ලිහාගමු…”

අතාරින්න බැරි යාලුකමක් වෙනුවෙන් තරණි මහා බරක් කරට ගත්තා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles