“පාරමී පැනල ගිහින්ලු නේද?”
උදේම මේ කිචි බිචිය ආවෙ ඉස්කෝලේ උසස්පෙල පංතියක කෙලවරකින්.
කතාව උනේ සුධාරියි,මලීශායි, ගෝතමියි අතරෙ. පාරමී කියන්නෙ මේ තුන් කට්ටුව හතරක් කරපු තව එක යාලුවෙක්. හැබැයි යාලුවෙක් කිව්වට දැන් නම් ඒක එහෙම නෑ වගේ තමයි.
“පැනල ගිහින් නෙවෙයි, එයා ඒ බෝයි එක්ක යන්න හදද්දි අම්මල අල්ලගෙන”
සුධාරි එහෙම කිව්වෙ ඔච්චමට වගේ හිනා වෙවී.
“ඔයා කොහොමද විස්තරේ දැනගත්තෙ?”
“එයාලා ඉන්නෙ අපේ ගමට අල්ලපු ගමේනේ. එක පාරකින් නෙ වෙනස් වෙන්නෙ. අනික මට ඒක ආරංචි උනේ අරවින්දගෙ යාලුවෙක්ගෙන්මයි”
“අරවින්ද කිව්වෙ පාරමී යාලුවෙලා හිටපු කොල්ල නේද?”
“ඔව් ඔව්, අර කාර් සේල් එකේ කොල්ලනෙ”
“ඌ කාර් එකකින්ද ඇවිල්ල තියෙන්නෙ එක්කන් යන්න?”
ගෝතමී එහෙම ඇහුවෙ හරිම කැතට හිනා වෙවී.
“ඒකනෙ හොඳම කතාව”
“ඇයි ඇයි මොකද්ද?”
“ඌ පෙන්නගෙන හිටියෙ ඌ කාර් සේල් එකේ අයිතිකාරය කියල උනාට ඒ ඒකෙ වැඩ කරන කොල්ලෙක් ලු. පාරමීත් හිතන් ඉන්න ඇත්තෙ ඌ තමයි අයිතිකාරය කියල”
“දැන් එතකොට පාරමී ආයෙ ඉන්නෙ ගෙදර ද?”
“ඔව් අම්මල අල්ලගෙන එයා රෑ අරූ එක්ක යන්න හදද්දි”
“පව් වැඩේ, දැන් එතකොට ආය එයා ඉස්කෝලෙ එන එකක් නැද්ද?”
“කොහෙ එන්නද අනේ? අපේ අම්මා කිව්ව ප්‍රින්සිපල්ට කියනව කියල එයාව ආයෙ ගන්න එපා කියල. මිනිස්සු හිනා වේවි අනේ අපේ ඉස්කෝලෙ එහෙම පැනල ගිය කෙල්ලෙක්ව ගත්තොත්. අනික මම නම් ආයෙ කොහොමත් එයා එක්ක කතා කරන්නෙ නෑ. මිනිස්සු හිතාවි මමත් ඒ වගේ කියල”
මූණ ඇඹුල් කරගත්ත සුධාරි එහෙම කිව්ව. සුධාරිගෙ අම්ම සුධාරිලගෙ ඉස්කෝලෙම ටීච කෙනෙක්. ඉතින් එයා අතේ ඔය පණිවිඩේ මුලු ඉස්කෝලෙ පුරාම යන බව කවුරුවත් නොදැන උන්න දෙයක් නම් නෙවෙයි.
කොහොම කොහොමින් හරි කට්ටියට පාරමීව අමතකම වෙලා ගියා. පාරමීට ආයෙ ඉස්කෝලෙ එන්න බැරි උනා වගේම ගමේ මිනිස්සු මේ සිද්දිය දැනගෙන කිව්ව කතා එක්ක පාරමීලා කොළඹ පදිංචියට ගිය බව තමයි ආරංචි උනේ.
පළවෙනි පාර හිතුව තරම් ප්‍රතිපල උසස් පෙළට ගන්න බැරිඋන හන්දා සුධාරියි, ගෝතමියි, මලීශයි තුන් දෙනාම ආයෙ දෙවන පාරටත් බයෝ වලින්ම උසස් පෙළ කරා.
දෙවනි පාර කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකට තේරිච්ච එකම ලොකු වාසනාවක් කියල හිතාගෙන කැම්පස් ගමන ආරම්භ කලයින් පස්සෙ තමයි නැවතිච්ච පාරමීගෙ කතාව ආයෙ එලියට ආවෙ.
පාරමීත් ඇවිත් තිබුනෙ මේ තුන්දෙනා ගිය කැම්පස් එකටමයි. ඒත් ෆැකල්ටි එක වෙනස්. සුධාරියි, මලීශයි, ගෝතමියි තුන් දෙනාටම හිතාගන්න බැරි විදියට පාරමී එයාලගෙ කැම්පස් එකේම මෙඩිකල් ෆැකල්ටි එකට තේරිල තිබ්බා.
කැම්පස් පටන් ගන්න දවසෙ පාරමීගෙයි එයාගෙ අම්මලගෙයි සතුට පිරිච්ච මූණු වලට යටින් ඒකට හේතුවෙලා තිබිච්ච කාරණාව දැනගත්තම පුදුමයෙන් වගේ මූණට මූණ බලාගත්ත අම්මල දූලා හිටියේ මේ විපර්‍යාසෙ උනේ කොහොමද කියල දැනගන්න තියෙන ලොකුම ලොකු උවමනාව එක්ක.
“කොහොමද පාරමීලගෙ අම්මේ?”
ඒ විදියට කතාව පටන් ගත්තෙ සුධාරිගෙ අම්ම වෙච්ච කල්‍යාණි ටීච.
“හොඳින් ඉන්නව ටීච. කොහොමද ඉතින්?”
“හොඳයි හොඳයී ඉතින්? පාරමී දැන් හොඳින් ඉන්නවද?”
ඒ වචන අස්සෙ හැංගිල තිබ්බෙ සමච්චලයක් බව තේරුම්ගන්න පාරමීගෙ අම්මට අමාරු උනේ නෑ. ඒත් ඉතින් කොළඹ ආවෙ ඒ අතීතෙ ගමේම තියල නිසා ඒ සමච්චලේ නිහඬ සිතින් දරාගන්න පාරමීගේ අම්මට අමාරු උනේ නෑ.
“අනේ ඔව් ඉතින්, සෙකන්ඩ් ශයි එකේ මෙඩිසින් එන්නම පාස් වෙච්ච එකම ලොකු දෙයක් නේ”
“ඔව් ඉතින් ෆස්ට් ශයි එකේ වෙන වෙන එක්සෑම් නෙ කරේ, නේද?” කියල සුධාරිගෙ අම්මා ඔලොක්කුවට අනිත් අම්මල දෙන්නගෙ මූණත් බැලුවා.
කතා ඉවර වෙලා අම්මල ගියයින් පස්සෙ තමයි පරණ යාලුවො කට්ටියට ආයෙ කතාකරන්න පුලුවන් උනේ. ඒත් පාරමී එක්ක කතා කරනවට වඩා සුධාරිටයි, මලීශටයි, ගෝතමීටයි ඒ තුන්දෙනා අතරෙ කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබුනා.
“මට හිතාගන්න බෑ පාරමී කොහොමෆ්හ මෙඩිසින් සිලෙක්ට් උනේ කියල”
“එයා ඉස්කෝලෙ යන කාලෙත් හැබැයි හොඳට වැඩ කරා නේද?”
“ඔව් ඒ උනාට අනේ එයා නටපු පිස්සු එක්ක අර අරවින්ද එක්ක මෙඩිසින් එන්න පාස් උනේ කොහොමද?”
“රිසල්ට් වැරදිලද දන්නෙ නෑ?”
“මං හිතුවෙ එයා කරපු ගොන් කම් වල හැටියට එයාට මුලු ජිවිතේම වරදීවි කියල”
“අන්තිමේ බලද්දි වැරදිල තියෙන්නෙ අපිට නේද?”
මෙච්චර වෙලා සුධාරිගෙයි ගෝතමිගෙ කතාවටයි වචනයක්වත් නොකිය අහන් උන්න මලීශා එහෙම කිව්වම සුධාරියි ගෝතමියි දෙන්නම එයාගෙ මූණ බැලුවෙ කුතුහලයක් එක්ක.
“ඇයි ඔයා එහෙම කිව්වේ?”
“අපි පණ දාගෙන පාරමීගෙ වැරදි අඩුපාඩු හොය හොය ඉද්දි ඒ ළමය ඔක්කොම ප්‍රශ්නවලින් මිදිලා, තමන්ගෙ අතීතෙ වෙච්ච වැරදි අමතක කරල දාලා මහන්සිවෙල ඉගෙන ගෙන.
අපි තාම එයාගේ අතීතෙ කරේ තියාගෙන ඉන්න.
ඉතින් අපිට නෙවෙයිද වැරදිල තියෙන්නේ?”
මලීශාගෙ ඒ කතාව අස්සෙ හිතන්න ගොඩක් දේවල් තියෙන බව තේරුම්ගත්ත නිසාමද මන්දා ගෝතමියි සුධාරියි හීන් සැරේ වාඩිවෙලා කල්පනා කරන්න පටන් ගත්තේ…