“ඒ ළමයිව ආස්‍රය කරන්න එපා කියල කොච්චර කිව්වත් මේ මෝඩ ළමය අහන්නෙම නෑනෙ”
ඒ ඇහෙන්නෙ බලවර්ධන නෝනගේ කටහඬ. බලවර්ධන නෝන බලවත් නමට විතරක්ම නෙවෙයි. එඩ්වින් බලවර්ධන කියන්නෙ මාතර පැත්ත හොල්ලන් උන්න ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයගෙ නෝන මහත්තය විදියට බලවර්ධන නෝනටත්, සල්ලි ද, දේපලද, බලයද ඕන පදං තිබ්බා.
බලවර්ධන පවුලට උන්නෙ එක ළමයයි. ඒ මිශාලි. මිශාලි දැන් සාමාන්‍ය පෙල කරන ළමයෙක්. ඉස්කෝලෙ යන්නෙ එන්නෙ එහෙම ස්කූල් වෑන් එකක.
ඒ ස්කූල් වෑන් එකේම යන කේතකී තමයි මිශාලිගෙ හොඳම යාලුවා උනේ. බලවර්ධනලට තරම් සල්ලි නැති මිශාලිගෙ අම්මා කරේ ගුරු රස්සාව. කේතකී පුංචි කාලෙම එයාගේ තාත්තා නැතිඋනාට කේතකිගෙ අම්මා දරුවව ඉතාම හොඳට හදල තිබුනා. තමන්ට ලැබෙන පඩියට අමතරව ඇඳුම් මහල ගෙදර වියදම් පිරිමහ ගන්න කේතකී අම්මාව මිශාලිගෙ අම්මා දැක්කෙ හිඟන්නෙක් විදියට.
“කවූරු ගැනද ඔය කියන්නේ?”
බලවර්ධන මහත්තය එහෙම කිව්වෙ රෑ කෑම මේසේ තිබ්බ සන්තෝසෙ බිඳින්න වගේ බලවර්ධන නෝන කතාකරද්දි.
“අර ගුරීගේ ළමයා”
“ගුරී කිව්වේ?”
“අනේ අර සෝමරත්නලහ”
“ඉතින් මොකද වෙලා තියෙන්නෙ?”
“මුකුත් වෙන්න කලින් මම මේ කියන්නෙ. අපේ එක්කෙනාගෙ කච කචේ වැඩි ඒ ගෙදර කෙල්ල එක්ක. මං අහන්නෙ අපිට ගැලපෙන මිනිස්සුද? මනුස්සය නැති හන්දා ලැබෙන ආධාරවලින් හෙම ජීවත් වෙන්නෙ. ඇඳුම් මහනව ලැජ්ජාවක් නැතුව. උගන්නන්නෙත් අර පියරතනෙ”
“ඒ ළමය නරකද?”
“නරකක් නෙවි මම කියන්නෙ අපිට ගැලපෙන්නෙ නෑ කියල. අපි කොහොමද ගෙදරකටවත් යන්නේ? බලවර්ධනලට ආස්‍රය කරන්න සුදුසු ද මං අහන්නෙ. ආධාර ලැබිච්ච සල්ලි වලින් ස්කූල් වෑන් එකට දාගෙන නෙ. ඒකනේ මේ ඔක්කොම කරදර”
“ඉතින් ඔයා ඒ ළමයි දෙන්නගෙ යාලුකමට ඔච්චර අකමැති නම් ස්කූල් වෑන් එක මාරු කරන්න”
ඒ කතාවට නම් බලවර්ධන නෝන මහත්තය දිහා බැලුවෙ කන්න වගේ. ඒත් බත් පිඟානට ඔලුව නවාගෙන උන්න බලවර්ධන මහත්තය නම් ඒක දැක්කෙ නෑ.
“ඔයත් මාර කතානෙ කියන්නෙ. මේ කොහෙවත් ඉන්න එකියක් හන්දා අපි මොකටද අපෙ ළමයව ස්කූල් වෑන් එකෙන් අයින් කරගන්නෙ. අනික පැත්තෙ ඉන්නෙ ඔක්කොම ළමයි වගේ යන්නෙ ඒ වෑන් එකේ. අර මිසිස් කුලවංසල පවා දරුව යවන්නෙ ඒකේ”
“එහෙනම් ඉතින් ඔයා සද්ද නැතුව ඉන්න. තව අවුරුදු කීයද අනේ ඉස්කෝලෙ යන්නෙ. ඉන්පස්සෙ ඉවරනෙ ඕව”
“ඒ අවුරුදු දෙක ඇතුලෙ තව මොනව මොනව වෙයිද කියන්න තමයි මම දන්නෙ නැත්තෙ?”
ඒ කතාබහ එදා ඉවර උනාට බලවර්ධන නෝනගෙ හිතෙන් ඒ තරහ අයින් කරගන්න නම් එච්චර ලේසි උනේ නෑ. කරන්න දෙයක් නැතිකමට මිශාලිව ස්කූල් වැන් එකේ යැව්වට මොකෝ කේතකී එක්ක කතා කරන්න එපා කියල මිශාලිට තරවටු කරන්නත් බලවර්ධන නෝන අමතක කරේ නෑ.
“කතා කරන්නෙ හෙම නෑ ඒ කෙල්ල එක්ක”
“ඕන නෑ එයා ළඟ වාඩිවෙන්න. වාඩි උනාමනෙ කතා කරන්න වෙන්නෙ”
“මොකටද ඔයා එයාගෙන් නෝට්ස් ඉල්ලගන්නෙ? වෙන කාගෙන්හරි ඉල්ලගන්න”
මේව කියනවට අමතරව පාරෙදි දැක්කත් නොදැක්ක වගේ යන්න බලවර්ධන නෝන අමතක කරේ නෑ.
කාලෙ ගෙවිල ගිහින් සාමාන්‍ය පෙල විභාගෙ ඉවර උනා. ඒත් ඉතින් තිබුන අධ්‍යාපන තරගෙ එක්ක මිශාලිල කේතකිල ගෙදර නතර උනේ නෑ. ප්‍රතිපල එන්න කලින්ම උසස් පෙලට තමන් කරන්න හිතන් ඉන්න විෂය ධාරාවට අමතර පංති යන්න පටන් ගත්තා.
මිශාලි බයෝ කරද්දි කේතකී ආට්ස් කරන්න ගියේ කවදහරි ලෝයර් කෙනෙක් වෙන්න බලාගෙන. ස්කූල් වැන් යාලුව උසස් පෙලදි වෙනස් උනාට මිශාලිට යාලුවන්ගෙන් අඩුවක් උනේ නෑ. ඒත් ඒ යාලුකම් මැද්දෙම ලස්සන, දුඹුරු පාට, ගැඹුරු ඇස් දෙකක් තමන් පස්සෙ පන්නන බව මිශාලි නොදැක හිටියෙත් නෑ.
එයාගෙ නම කෝසල. කෝසලව මිශාලිට හම්බුනේ තමන්ගෙ ෆිසික්ස් වලට ගියපු උපකාරක පංතියෙදි. හැබැයි කෝසල ඉගෙන ගන්න ආව ලමයෙක්වත්, පංතියෙ ගුරුවරයෙක්වත් නෙවෙයි. කෝසල තමයි මිශාලි ගිය ෆිසික්ස් පංතියෙ කාඩ් මාක් කරේ. ඒත් ආදරේ අන්ධයි කියන්න වගේ මිශාලිට තම තමන් අතර තිබුන නොපෑහීම් ගලපගන්න අමාරු උනේ නෑ. කවදහරි හොඳට පාඩම් කරල යුනිවසිටි ගිහින් හොඳ රස්සාවක් කරන්න වගේම, කෝසලවත් හොඳ තැනකට අරගෙන එන්න මිශාලි හීන දැක්කා.
ඒ හීන කඩං වැටුනෙ මිශාලි කෝසල එක්ක රවුම් ගහ ගහ ඉන්නව කේතකීගෙ අම්මා දැක්කයින් පස්සේ.
වචනෙකින්වත් මුකුත් නොකිය මිශාලිගෙ අතෙන් අල්ලගෙන ගෙදර එක්ක ගෙන ආව කේතකීගෙ අම්මා බලවර්ධන නෝන එක්ක හෙමින් සැරේ ඒ ගැන කතා කරා.
මිශාලිට බනින්න, ගහන්න එපා, ළමයි ඔය වගේ මෝඩ තීරණ ගන්නවා, ඔක්කොටම වඩා වටින්නෙ අපි මේ ගැන දැනගත්ත කාරණාව නේද කියල කියද්දි බලවර්ධන නෝනගෙ රැස් බස්සගෙන ඇෂ් වලින් වැක්කිරිල ගියේ තමන්ගෙ දූ කරගන්න ගිය මෝඩකම ගැන දුකද, මෙච්චර දවස් කේතකීලා ගැන හිතෙන් මවාගෙන උන්නු අඩුපාඩුද කියල දන්නේ බලවර්ධන නෝනම තමයි.
කේතකීගෙ හොඳම හොඳ යාලුකම එක්කල හොඳට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලෙ ගිය මිශාලිගෙ වෙඩින් එකට කේතකීලට තමයි ඉස්සෙල්ලම ආරාධනාව ලැබුණෙ.
නිකන්ම නෙවෙයි මිශාලිගෙ පැත්තෙන් අත්සන් කරන්න කියන ඉල්ලීමත් එක්කම.