නිවසක තිබිය යුතුම ඉඟුරු…

ඉඟුරු දාපු  තේ එකක් මොන තරම් රසවත් ද? ඈත අතීතයේ සිටම කුළුබඩුවක් ලෙසට හඳුනාගත් ඉඟුරුවලින් ප්‍රයෝජන රැසක් ගැනෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීත්  අත් බෙහෙත් වලදීත් ඉඟුරුවලට හිමි වන්නේ වැදගත් ස්ථානයක්. නිවෙසක තිබිය යුතුම දෙයක් වන ඉඟුරු ගෙදරදීම හිටව ගත්තා නම් හොඳයි නේද?

අපේ වෙළඳපොළේ සුලබව දැකිය හැකි ඉඟුරු වර්ග දෙකක් තියෙනවා දේශීය ඉඟුරු සහ චීන ඉඟුරු වශයෙන්. දේශීය ඉඟුරු ප්‍රමාණයෙන් කුඩා නමුත් එහි සුවඳ හා රසය වැඩි අතර මෙම ප්‍රභේදය දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනයේදී බහුලව යොදා ගැනේ. චීන ඉඟුරු මාංශ බහුල වුවත් රසින් හා සුවඳින් අඩුයි. මෙම වර්ගය දෝසි සෑදීමට සහ වෙනත් ආහාර වර්ග පිළීයෙල කර ගැනීමේදී යොදාගැනෙවා. ඉඟුරු දෝසි සෑදීම සදහා අමුඉඟුරු යොදා ගත්තත්, රසකැවිලි නිෂ්පාදනයේදී උපයෝගී කර ගන්නා ඉඟුරු කුඩු පිළියෙළ කර ගන්නේ වියළි ඉඟුරු ආශ්‍රයෙන්.  අමුඉඟුරු ආහාර නිෂ්පාදනයේදී කුළුබඩු වශයෙන් කෑම රස කර ගැනීමට ඉවහල් වෙනවා. අමුමිරිස් අච්චාරුවක, මාළු හොද්දක නැති නම් පොළොස් ඇඹුලක රස සුවඳ ඔබටත් මතක් වේවි.

ඉඟුරු අලයක් සිටුවිය යුත්තේ සෙ.මි 5 ක් පමණ ගැඹුරකින්. ඉඟුරු බහු වාර්ෂික බෝගයක් වුවත් සිටුවා මාස 8-10 අතරදී අස්වැන්න ලබාගත හැකිය. කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් වැලි ලෝම පස ඉඟුරු වගාව සදහා වඩාත් සුදුසුයි. ඉඟුරු ශාකයේ වායව කඳ හෙවත් පොළොවෙන් ඉහළට ඇති කොටසේ පත්‍රවල කොළ පැහැති බව ඉවත් වී කහ පැහැයට හැරී වියළි යාම සිදු වන විට අස්වැන්න නෙළාගත හැකිය.

කන්න බෝගයක් වන ඉඟුරු සෙවණ ප්‍රිය කරන ශාකයක්.  මෙය අපනයන කෘෂි බෝගයක් ලෙසට මෙන්ම දේශීයවත් හොඳ ඉල්ලුමක් ඇති නිසා මෙය ඔබගේ අතමිට සරු කරන කදිම මගක් ද වේවි.

ඔබේ ගෙවත්තෙත් සෙවණ ඇති තැනක පුංචි ඉඩක් ඉඟුරු පඳුරු කිහිපයකට ඉඩ ලබා දෙන්න ඔබටත් හැකිවේවි. නැති නම් ඉවත දමන හාල් මල්ලක්, පුංචි මල් පෝච්චියක් හෝ ටින් එකක වුවත් කාබනික පොහොර හා මතුපිට පස් මිශ්‍රණයකින් පුරවා ගත්විට ඉඟුරු අලයක් සිටුවා ගැනීමට හැකියි. මෙය ඔබේ ගෙවත්තට අලංකාරයක් මෙන්ම පසුම්බියටත් සහනයක් ගෙන දේවී.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles