ඔබේ දෙතොල් ඉරි තැලී ගිහින් ද ?

දෙතොල් ඉරිතැලීම සහ පැලීම හුඟක් දෙනෙකුට තියෙන ගැටලුවක්. මේ සඳහා විවිධ සත්කාර , ආලේපන සහ විසඳුම් තිබෙනවා. නමුත් ඔබ ඔබේ තොල් වල තිබෙන ගැටළුව හරියාකාරව හඳුනා ගෙන , ඒවාට නිසි ප්‍රතිකාර  භාවිතා නොකරනවා නම් ඔබ හොඳ විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා අතර කථා බහ වෙන මේ ගැටලුව ගැන තමයි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ .

දෙතොල් ඉරි තැලීමට සහ පැලීමට හේතු මොනවද ?

කාලගුණය 

දෙතොල් වියලීමට ප්‍රධාන හේතුවක් ලෙස සීතල සහ උණුසුම් කාලගුණය අතර ඇති වේගවත් වෙනස බලපානවා.වේශයෙන්ම සීතල කාලගුණයක් ඇති විට දෙතොල් පැලීම බහුලව දක්නට ලැබෙනවා. 

වැරදි පුරුදු 

සතියකට වරක් වත් ඔබ දෙතොල් වල මැරුණු සම ඉවත් නොකරනවා නම් , දෙතොල් වලට නිසි සත්කාරයක් නොකරනවා නම් සහ ලිප් බාම් භාවිතා නොකරනවා නම් ඔබේ දෙතොල් ඉරි තැලීම සහ පැලීම සිදු වනවා.

ගුණාත්මක භාවයකින් තොර ආලේපන 

ඔබ තොල් ආලේපන තෝරා ගන්නා විට ගුණාත්මක භාවයකින් යුතු හොඳ තොල් ආලේපන වර්ගයක් තෝරා ගත යුතුයි.තොල් ආලේපන බොහෝ වේලාවක් තොල් මත රදා පවතින නිසා ඒවා වියළීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. ඔබ භාවිතා කරන තොල් ආලේපන බාල වර්ගයේ ඒවා නම් ඒවා ඔබේ දෙතොල් වලට හානි පමුණුවනවා.

ආතතිය 

දවසේ වැඩි වේලාවක් කාර්යබහුල වීම සහ මානසික ආතතිය උත්සන්න වීම අපේ සමේ තත්ත්වය කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කරනවා. අධික ආතතිය නිසා තොල් පැලී යාම සහ ඉරිතලා යාම බොහෝ විට දැකගන්නට පුළුවන්. 

විජලනය 

ඔබ දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමත් ඔබේ තොල් පැලීමට හේතු වනවා.

පරිභෝජනය කරන දේවල් ගැන සැලකිලිමත් වන්න 

ඔබ අධික ලෙස මත්පැන් සහ දුම් පානය කරනවා නම් , ඉතා සැර හෝ ආම්ලික ආහාර අනුභව කරනවා නම් ඒවාත් ඔබේ දෙතොල් වල ඉරි තැලීම සහ පැලීම සිදුවිය හැකියි.

මේ සඳහා කල හැකි විසඳුම් මොනවද ? 

Exfoliate කරන්න 

මෘදු දෙතොලක් සඳහා ඔබ අනිවාර්යයෙන්ම දෙතොල් වල මැරුණු සෛල ඉවත් කළ යුතු වෙනවා. ඒ නිසා සතියකට දෙවරක් වත් මෘදු ස්ක්‍රබ් එකක් මගින් දෙතොල් ස්ක්‍රබ් කර ලිප් බාම් එකක් ආලේප කරන්න

හොඳ ලිප් බාම් එකක් භාවිතා කරන්න

මෙන්තෝල් , කපුරු හෝ ෆීනෝල් අඩංගු ලිප් බාම් වර්ග හෝ විවිධ රස වලින් යුතු , විවිධ සුවඳ වර්ග වලින් යුතු ලිප් බාම් භාවිතයෙන් වැළකී සන්සුන් සහ මොයිස්චරයිසින් අඩංගු ලිප් බාම් එකක් භාවිතා කරන්න

සජලනය වන්න

දවස පුරා ඉතා හොඳින් ජලය පානය කිරීම මඟිනුත් දෙතොල් වියළී යාම වළක්වා ගන්නට පුළුවන්. 

අධික ලුණු හෝ කුළුබඩු සහිත ආහාරවලින් වළකින්න 

අධික ලෙස ලුණු සහ කුළුබඩු යෙදු ආහාර , කෘතිම ආහාර වර්ග සහ සැකසූ ආහාර වර්ග පරිභෝජනය කිරීම අවම කිරීම මගිනුත් දෙතොල් වල ඇති විය හැකි බොහෝ ගැටලු වළක්වා ගන්නට පුළුවන්. 

තොල් ආලේපන 

වර්තමානයේ ජනප්‍රිය තොල් ආලේපන වර්ගයක් වන මැට් ලිප්ස්ටික් ආලේප කිරීම මඟින් දෙතොල් විශාල වශයෙන් වියලීමට ලක් වෙනවා. මේ නිසා ඔබ matte lipstick තෝරා ගන්නවා නම් හොඳ වෙළඳ නාමයක් සහිත ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන තෝරා ගන්න 

ස්වාභාවික පිළියම් උත්සහ කරන්න

කෝමාරිකා ,පොල් තෙල් , මී පැණි ,පිපිඤ්ඤා වැනි දෙතොල් සන්සුන් කරන ස්වාභාවික පිළියම් දෙතොල් සඳහා භාවිතා කිරීමට හැකි තාක් උත්සහ කරන්න 

බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන දෙතොල් ඉරිතැලීම සහ වියලීම ගැනයි මේ ලිපියෙන් අපි අද කතා කලේ.ඉතින් ඔබේ දෙතොල් වල ඇති ගැටලුව හරියාකාරව හඳුනා ගෙන ඒ සඳහා පිළියම් යෙදුවොත් හොඳ විසඳුමක් ලබා ගන්න ඔබට පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles