හසිත ගේ රිය අනතුර සිද්ද වුණේ හසිතගේ ප්‍රොමෝශන් එකට කලින් දවසේ. සම්මුඛ පරීක්ෂණට යන අතරමඟ. සම්මුඛ පරීක්ෂණයට ගියානම් අනිවාර්යයෙන් ඒ තනතුරට හසිත තේරෙන බව හැමෝම දැනගෙන හිටියා. ඔහු ඒ තරමටම ඒ තනතුර වෙනුවෙන් සුදුසුකම් සපුරලා හිටියේ. ඒත්; දෛවය හරිම අමානුෂික විදියට හසිතගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරා. අනතුරින් මාස දෙකකට පස්සේ හසිත ගෙදර ආවේ දෙපා සම්පූර්ණයෙන්ම අවසඟ තරුණයෙක් වෙලා, රාගම පුනරුත්ථාපන රෝහලේ බාහිර රෝගියෙක් විදියට ලියාපදිංචි වෙලා අම්මගේ, තාත්තාගේ, අය්යාගේ, මල්ලිගේ ඇස් වල හැංගිලා තියෙන කඳුළු දකින්න බය නිසාම හසිත හිතේ තිබුණ වේදනාව එහෙමම හංගගෙන හිටියා.
හසිතව උස්සලා ගෙනල්ලා ඇඳෙන් තිව්වේ අය්යා. අය්යා තව මාස දෙකකින් නෑනා ඉන්න රටටම යන්න ඉන්න බව හසිත දන්නවා. ඒත්, දැන් ඒ හැමදේම ගැන දෙපාරක් හිතනවා ඇති කියලත් හසිතට හිතෙනවා.
“තමුසේ ඕනිවට වඩා හූල්ලන්න එපා … හැමදේම බලාගමු අපි…”
එදා රෑ අය්යයි මල්ලියි දෙන්නාම කාමරේ පුටු දෙකක් උඩ වාඩි වුණා. හසිත මුකුත් කිව්වේ නැහැ.
“උඹ දවල් අර කෙල්ලට කරපු වැඩේ කැතයි….”
මල්ලි එහෙම කිව්වේ හසිත කියන්නේ පොඩි අය්යා කියලා අමතක කරලා. හසිත ඒක නෑහුණ ගානට හිටියා.
වීණාවී හසිතගේ පාසැල් කාලයේ ඉඳන් ම අල්ලන් උන්න ප්‍රේමය. දෙන්නා සරසවි දෙකක අවුරුදු හතරක් අධ්‍යාපන කටයුතු කරද්දි පවා ඒ ප්‍රේමය නොවෙනස්වම තිබුණා. රැකියාවේ කටයුතු පටන් ගත්තාට පස්සේත් දෙන්නාගේ ජීවිත වල මන්ද මාරුත මිසක්, සුළි කුණාටු තිබුණේ නැහැ.
ඒත්; රිය අනතුරේ බර හරිහැටි වැටහුණාට පස්සේ හසිත තීරණයක් ගත්තා. වීණාවිගේ ජීවිතේ තමන් වෙනුවෙන් කැපවෙලා අඳුරු නොවෙන්න ඕනි බව බොහෝම පැහැදිලිව තීරණය කලා. වීණාවිට ලං වෙන්න ඉඩ නොදීම ඉන්න උත්සාහ කලා. අද ගෙදර එන්න සූදානම් වෙනකොට වීණාවි හසිතගේ කමිසය මාරුකරවන්න උත්සාහ කරපු වෙලේ හසිත වීණාවීට කෑ ගහලා බැන්නේ වීණාවී මහා වැරැද්දක් කලා වගේ. ජීවිතේ වැඩිම ආදරෙන් බලා ගත්ත ඇස් වලින් කඳුළු බේරෙනකොට,හසිත කළු ගලක් වගේ සැලෙන්නේ නැතුව හිටියා.
මල්ලී මේ දොස් පවරන්නේ ඒ නොහොඹිනා හැසිරීමට. ඒත් හසිත හොඳින්ම දන්නවා ඔහු කල දේ වීණාවිගේ ජීවිතේ යහපත වෙනුවෙන් ම විතරක් බව.
“පොඩි අය්යේ..”
“පාඩුවේ ඉන්න දීලා පලයං බං…”
හසිත මල්ලිව මඟාරින ස්වරයෙන්ම උත්තර දුන්නා. ඊට පස්සේ කවුරුත් හසිත එක්ක ඒ ගැන කතා කරන්න උත්සාහ කරේ නෑ. ඒ වගේම වීණාවී කාටවත් කතා කලෙත් නෑ. හැමදාම ඇහැරුණාම ඒ දවසේ වීණාවී එක පණිවිඩයක්වත් තියාවිද බලාගෙන ඉන්න එක ඇරෙන්න හසිත ඒ ගැන කිසිම දෙයක් කිව්වේත් නෑ.
ප්‍රතිකාර වෙනුවෙන් රාගම යන එන එක ඇරුණාම හසිතගේ ජීවිතේ එකම තැනක නැවතිලා වගේ තිබුණේ. ඒ අතරේ රැකියාවෙන් ඉවත් වෙන්න හසිත තීරණය කලේ තමන් ඉන්න තත්වය ඇතුළේ ඒ රැකියාවට සාධාරණයක් කරන්න නොහැකි බව හොඳින්ම දැනගෙන හිටපු නිසා. ජීවිතේ පුරාවටම දශමෙන් දශමේ ගොඩ නඟපු හැමදේම ඇස් ඉස්සරහම ක්ශය වෙලා යන හැටි උපේක්ෂාවෙන් දරාගන්න හසිත සූදානම් වෙමින් හිටියා. ඒත් වීණාවී ගෙන් හිස් වෙන හිඩැස පිරවෙන විදිය ගැන නම් හසිතට කිසිම අදහසක් තිබුණේ නැහැ.
උදේට කාලා, බෙහෙත් බීලා ආයෙම නින්ද ගිහින් හිටපු හසිත ඇහැරුණේ මල්ලි කාමරේ දොර ඇරගෙන ආව සද්දේට.
“ලෑස්ති වෙනවා…”
“ඒ මොකටද ?”
“කෝ…කෝ…..”
මල්ලි හසිතට කලිසමකුයි කමිසෙකුයි ඇන්දුවා අය්යා ඇවිල්ලා සපත්තු දැම්මා. කමිසේ යට කලා. ටයි පටියක් දැම්මා. කොණ්ඩේ හැදුවා. හසිත දිගින් දිගටම ඇහුවත් පිළිතුරු ලැබුනේ නැහැ. හසිතව රෝද පුටුවේ වාඩි කෙරෙව්වේ අය්යා. අම්මා කාමරේ ඇතුලට ආවේ කඳුළු පිහිදන ගමන්. හසිත අම්මාගෙන් ඇහුවම ලැබුන පිළිතුර කඳුළු වැඩි වෙන එක විතරයි.
සාලෙට එනකොට දැක්ක දේ එක්ක හසිතගේ ඇඟම හිරිවැටිලා ගියා. වීණාවී ගේ අම්මා, අප්පච්චි, ලොකු අම්මා, ලොකු තාත්තා සාලේ සෙටියේ ඉඳගෙන. ඊට එහායින් පුටු කිහිපයේ වීණාවියි අක්කයි, මස්සිනයි. හසිත උත්සාහ කලේ රෝද පුටුව ආයේ හරවගන්න. ඒත් අය්යාගෙන් ඉඩක් ලැබුනේ නැහැ.
” රෙජිස්ට්‍රාර් මිස් එකොලහ වෙනකොට එන්නම් කිව්වේ. ලොකු පුතාලා මිස් එක්කරගෙනම ඒවි…”
වීණාවී ගේ අම්මා එහෙම කිවේ පොදුවේ හැමෝටම ඇහෙන්න වුනාට, ඇයට උවමනා වුණේ හසිතට යම් අවබෝධයක් දෙන්න.
.
.
.
රෑ කෑමෙන් පස්සේ තමයි දෙන්නාට හුදෙකලා වෙන ඉඩ ලැබුණේ. හසිත වීණාවී ට මූණ ඉවතට හරවගෙනමයි හිටියේ. වීණාවී ඒ බව වගක් නැති ගානට නාන කාමරේට ගියා. ඊට පස්සේ ඇවිල්ලා හසිත ඉස්සරහින් හිටගත්තා.
“ඇඟ සෝදගෙන ඉමු ..”
ඇය කිව්වේ ටිකක් සද්දේට.හසිත කලේ නොවෙනස් රැවුම් පා කල එක. මේ ඉන්නේ තමන්ගේ පෙම්වතිය නෙවෙයි විවාහක බිරිඳ කියලා හසිතට තවම විශ්වාස නැහැ. හිත පුරා පිරිලා ඉතිරෙන හැඟිම කියාගන්නවට වඩා මේ නිහැඬියාවම හොඳයි කියලා හසිත තීරණය කලා.
“හසිත… ඔයා දැන් කොච්චරක් ඔරවගෙන හිටියත් වැඩක් නෑ… “
හසිත වීණාවී දිහා බැලුවා. කෙල්ල දිලිසෙනවා.
“අම්මලාව කැමති කරගන්න මොන නූල් සූත්තරයක්ද දැම්මේ..?”
හසිත එකපාරටම එහෙම ඇහුවා.
“ඒ මගේ අම්මයි , අප්පච්චියි… මෙච්චර තරම් කාලයක් ඔයා හොඳ පුතා වෙලා , කරදරයක් වෙච්ච වෙලේ අතෑරලා දාන්න මට බල කරන විදියේ මිනිස්සු නෙවෙයි ඒ… මාසයක් පරක්කු වුනේ නැකැත් නොතිබුන නිසා…”
වීණාවී හසිතගේ ඇඟට කඩාගෙන පැන්නා. හසිත බිම බලාගෙන නිහඬ වුණා.
“දැන් මගේ නෙහ්.. බලාගෙන ඉන්න , මට කරපු දුශ්ට කම් වලට මං පලිගන්න හැටි…”
වීණාවී හසිතගේ ඇස් වලට එබිලම කියනකොට හසිතට හිනා ගියා. වීණාවී ඒ හිනාව උස්සලා හොරකම් කරගත්තා.
“මේ ගැන විශ්වාසයිද වීණාවී ?”
“ඔව්…”
වීණාවී එක ස්වරයෙන්ම උත්තර දුන්නා. හසිත ඔලුව වැනුවා.
“හැමෝටම ජීවිතේ එකම සාන්ද්‍රණයෙන් නෙවෙයි ලැබෙන්නේ.. අපේ විදියමේක.. අපි බලමු කොහොමද කරගන්නේ කියලා ..”
වීණාවී හසිතගේ කම්මුලක හාදුවක් තිව්වා. හසිත වීණාවී ගේ ඉණ වටෙන් දෑතම දාලා ඇයව ලං කරගත්තා. ඇස් දිලිසෙනවා.
“සොරි… ඩොක්ටර් කියලා තියෙන්නේ දැන්ම දඟලන කරන වැඩ එපා කියලා …”
වීණාවී එහෙම කියන ගමන්, මහ සද්දේට හිනා වුණා.