අචින්ත එක්ක ප්‍රේම සම්බන්ධතාවය නැවතුනාට පස්සේ රුවිනිගේ ජීවිතේ හරියට අමාරු වුණා. අවුරුදු පහක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙවෙයි. ඒ අවුරුදු පහ තිස්සේම අචින්ත යි, රුවිනියි හිටියේ ඉදිකට්ටට නූල වගේ.
ඒ තියා උසස් අධ්‍යාපන කටයුතු ඉවර වෙලා රැකියාව වෙනුවෙන් විදෙස් ගත වුනාට පස්සේ ගෙවුණු අවුරුදු තුනම දෙන්නා හිටියේ එකම ගෙදර. ඒත් හිටි හැටියේම අචින්ත ට ඕනි වුණා රුවිනිගෙන් වෙන් වෙන්න. ඒ වෙනුවෙන් කිසිම හේතුවක්වත් කිව්වේ නැතත්, වැඩි කල් යන්න කලින් ඒ හේතුව හැමෝම දැනගත්තා. අචින්ත විදෙස් තරුණියක් එක්ක ප්‍රේමයක පැටලිලා තිබුණා.
ඕස්ට්‍රේලියාවට ආවාට පස්සේ හැම දවසක්ම ගෙවුනේ අචින්ත එක්ක නිසාම රුවිනිට දුක කියලා අඬන උරහිසක් තිබුණේම නැහැ. දෙන්නා එකට ජීවත් වුණ ගෙදර අචින්ත ට දීලා රුවිනි තාවකාලික ලැඟුම්හළකට මාරු වුණා. එහෙම නොකර ඉන්න කියලා අචින්ත ඉල්ලුවා වුනත්, ඒ ගෙදර තව දුරටත් රැඳී ඉන්න රුවිනිගේ හිත හය්ය තිබුනේත් නැහැ. ඒ හින්දා ම රුවිනිට තිබුණ හොඳම විසඳුම ඒ හැමදේම අතෑරලා එලියට බහින එක.
ඊටත් පස්සේ, රුවිනි ටිකක් දුර තැනකින් පොඩි කාමරයක් විතරක් හොයාගත්තා. ඒක හොයලා දුන්නේ අහම්බෙන් පාරෙදි මුණගැහුණ කෙනෙක්.බඩු ටික එහෙට ගෙනිහින් දාලා දවස් දෙකක් විතරම ඔහේ හිටියා. එලියට ගිහින් මොනවා හරි කාලා ආයෙම ඇවිල්ලා නිදාගත්තා. එක්කෝ චිත්‍රපටියක් බැලුවා.
හිත හදාගන්න එක ලේසියෙන් සිද්ද වෙන්නේ නෑ කියලා තේරුම් අරගෙන ගෙනාපු බඩු ටික අස් කරන්න ගත්තේ ඇවිල්ලා දවස් හතරක් විතර ගියාම. හැම දෙයක් එක්කම බැඳුණු මතක නිසා රුවිනිගේ ඇස් වල කඳුළු එන එක නම් නැවතුණේ නැහැ. අඬ අඬා වුනත් රුවිනි නැවතෙන්නේ නැතුව වැඩ කලා.
නිවාඩු ලැබුණ සතිය ඉවර වෙලා ආයෙම වැඩට යන්න පටන් ගන්නකොටත් රුවිනිගේ හිත කලබලෙන් මිදිලා තිබුනේම නැති තරම්. එහෙම වුනත් නිවාඩු දිගු කරවගන්නේ නැතිව ඉන්න රුවිනි තීරණය කලා. සිදු වුන දේ රුවිජි හරියටම කිව්වට පස්සේ, සේවා ස්ථානයේ හිටපු ඉන්දීය මිතුරියන් කිහිපදෙනා රුවිනිට ශක්තිමත් වෙන්න ඉඩ හදලා දෙන්න පුදුම තරමින් උත්සාහ කලා. ඔවුන් රුවිනිව තනි නොකල තරම්.
ඒ අතරේ තමයි රුවිනිට කල්පනව මුණ ගැහෙන්නේ. කල්පන රුවිනි ඉස්සරහට ආවේ අහම්බෙන් වගේ වුනාට, ඒ හමුවීම රුවිනිට නම් හරි හුරුවට දැනුණා. සැලසුමක් වගේ කියලාම හිතුණා. ඒත්..;
ඉන්දීය මිතුරියන් කිව්වේත් කල්පනව කොහේදී කොහේදී හරි දැකලා පුරුදු මතක තියෙන බව.ඒත් ඒ කොතැනකද කියලා අවස්ථ සම්බන්ධතා ගොඩ නඟන්න නම් ඔවුන්ට මත වුනෙත් නැහැ.
“ඉතින්…,”
කල්පනගේ එක වචනේකින් පස්සේ අචින්තගෙයි, තමන්ගෙයි ජීවිතේ බිඳිලා ගියපු විදිය රුවිනි අඬ අඬා කල්පනට කිව්වා. කල්පන කියන්නේ ලංකාවේ ඉන්නකොට අචින්ත ගේ හොඳම යාලුවෙක්. ඒත් එකපාරටම කල්පන අතුරුදන් වුණා. පස්සේ තමයි දැනගත්තේ ඩුබායි ගිහින් කියලා. ඊට පස්සේ රුවිනිට කල්පනව් මුණ ගැහෙන්නේ අද.
“යන්න ගිය එකාට යන්න දෙන්න. ඔයාට පුලුවන් ජීවිතේ හදාගන්න…”
කල්පන එච්චරයි කිව්වේ. ඒ කියලා රුවිනිගේ හිස් මුදුනෙන් අත්ල තියලා, රුවිනි දිහාව බලලා හිනා වුණා. රුවිනිටත් කාලෙකින් දුක් කඳුළු පිහිදිලාම වැටෙන්න තරමේ හිනාවක් වැටුණා.
එදා ඉඳන් කල්පන රුවිනිගේ දිනය ගෙවෙන සැලැස්මේ කොටසක් වෙන්න එකතු වුනා. අහම්බෙන් වගේ කල්පන හිටියේ රුවිනි හිටපු අපාර්ට්මන්ට් එකට එහා අපාර්ට්මන්ට් එකේ. ඉතින් දෙන්නාට එන යන එක පවා එකට කරන්න ලැබුණා. රුවිනිට ගෙදර ඉඳන් තනියම කෑම කන එක මානසික කරදරයක් කියලා දැනගත්තාම, හැමදාම උදේ රෑ කෑම එලියෙන් කාලා යමු කියලා කල්පන යෝජනා කරලා ස්ථිර කරා. රුවිනිට කල්පනගේ මිත්‍ර සමාගම ඇතුලේ දැනුණ සුව පහසු කම නිසාම රුවිනි ඒ යෝජනාවට එකඟ වුණා.
මාස පහක් විතර යනකොට රුවිනි අම්මලාට අචින්ත සහ තමා අතර වුන බිඳීයාම ගැන කිව්වා. තමන් ඒ සිදුවීම පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා හිත හදාගෙන ඉන්නේ බව වැඩිපුරත් එක්කම ඇඟෙව්වා.
අම්මලා කොහොම කිව්වාත් ආයෙම ලංකාවට එන දවස මේ සිදුවීම නිසා හදිසි කරන්නේ නෑ කියන තීරණේත් ඒ එක්කම ගත්තා. තව සතියකට විතර පස්සේ අචින්ත ගේ අම්මලාටත් කතා කරා.
“මට අද හරිම සැනසීමක් දැනෙනවා කල්පන… දැන් හැමදේම නිරවුල්…”
එදා රුවිනි කල්පනට කිව්වාම කල්පන රුවිනිග්‍ර්‍ර් හිස එදා ට වෙනස් තාලෙකින් පිරිමැද්දා.රුවිනිට ඒ වෙනස වැටහුණත් රුවිනි ඒකට අනුබල නොදී වහාම පැත්තකට වුනා.
කල්පනට තව ඕනි තරම් කල් ඉවසන්න පුලුවන් කම තිබුණා. කල්පනට වැඩියෙන්ම වැදගත් වුණේ රුවිනිගේ බිඳුම් හා වෙලා රිදුම් පිරිමැදෙන එක.
කල්පන රුවිනිගේ ජීවිතේ ට ඇලෙන්න ඉඩක් හෙව්වේ මීය අවුරුදු ගානකට ඉස්සර. ඒ ගැන අචින්තට කිව්වේ අචින්ත තමන්ට ද්‍රෝහි වේවි කියලා කීයටවත් හිතලා නෙවෙයි. ඒත් අන්තිමට අචින්ත රුවිනි එක්ක යාලු වෙලා කියලා දැනගන්න ලැබුණා. කල්පන උපාධියේ දෙවෙනි අවුරුද්දේ හිටියේ. ඉන් එහාට ඒ දෙන්නා පෙනි පෙනි අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න කල්පනට ශක්තියක් තිබුනේ නැහැ.
කල්පනගේ තත්වේ තේරුම් ගන්න කල්පනගේ දෙමාපියන්ට පුලුවන් වුනා. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කල්පන විදෙස් ගත වුණේ ඊට පස්සේ. රැකියාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ ගෙවෙන්නේ දෙවෙනි අවුරුද්ද. රුවිනිව දැකලා ගෙවෙන්නේ මාස හයක් විතර. අචින්ත ගේ පෙම්වතිය කියලා දැන දැන වුනත්, රුවිනි පස්සේ කල්පනගේ ඇස් දිව්වා. හැබැයි, ඒ ඇස් රුවිනි ගේ ජීවිතේ කිසිම බාධාවක් නොවී තියෙන්න කල්පන වග බලාගත්තා.
කල්පනගේ ඇමතුම එනකොට රුවිනි නිදාගන්න සූදානම් වෙලා හිටියේ. දෙවෙනි වතාවටත් අමතනකොට රුවිනි පිළිතුරු දුන්නා.
“තමුසේ එකපාරටම උස්සගෙන කරගෙන ගෙවල් මාරු කරනකොට මම දැනගත්තා මොකක් හරි එකක් ඇති කියලා .. ඔය අහු උනේ අතටම… කොච්චරක් කල්ද තමුසේ කල්පනව දන්නේ ? අන්තිමේදී මාව නරක එකා කරලා ඌට ප්ලග් උනා නේද ..??”
කල්පන රුවිනිට ආදරේ කල තැන ඉඳන් හැමදේම අචින්තගේ කෝපය එක්ක කියවුණා. රුවිනි ඒ හැමදේම අහගෙන හිටියේ වචනයක්වත් නොකියා. අචින්ත ගේ හැසිරිම් ගැන දැනුනේ පිළිකුලක් විතරයි.
අචින්තගේ ඇණුම්පද අහගෙන ඉන්න එක ඇති කියලා හිතුනම රුවිනි ඇමතුම විසන්ධි කලා. අචින්ත ව අවහිර කරලා දැම්මා.
හිත පුදුම සැහැල්ලුවකින් පිරෙනවා රුවිනිට දැනෙනවා. අවුරුදු හයකට විතර කලින් කල්පන තමන් එක්ක හිනාවෙන්න උත්සාහ කරමින් තමන්ව පහු කරපු දවස් රුවිනිට සිහිපත් වෙනවා.
“හෙට ඔයා මෙහෙ එනවද ? අපි එකට බ්‍රෙක්ෆර්ස්ට් ගමු…”
රුවිනි කල්පනට කෙටි පණිවිඩයක් තියනවා. කාලේ ගෙවිලා ගිහින් වුනත්, වස්සාන ඍතුව ආයෙම උදාවෙන බව රුවිනි දන්නවා. කල්පනගේ තාලෙන් ජීවිතේ ගෙවෙන්න ඉඩ දීලා ඉවසන එක ලස්සන වේවි කියලා හිතනවා .
“ආදරේ කියන්නේ, ඇතෑරෙන්න දීලා, ජීවත් වෙන්න දීලා මැරෙන්න යන තැනක ආයෙම හුස්ම පිඹින එක…”
රුවිනි දින පොතේ එහෙම ලියලා ඊට යටින් කල්පනගේ නම ලියනවා.
ජීවිතේ එහෙමයි; කැඩිලා කුඩුපට්ටම් උනාට පස්සේත් මැලියම් ඇවිල්ලා ඇලවෙනවා.
| අපේක්ෂා ගුණරත්න |