ලංකාවේ නත්තල

නත්තල කියන්නේ කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය බව අපි ඉගෙන ගත්තේ ඉතා පුංචි කාලෙදි. අපි කුමන ආගමකට හෝ ජාතියකට අයත් කෙනෙක් වුණත් නත්තල ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ‍මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාස කරනව වගේම බයිබලයේත් ඒ බව සඳහන් වෙනවා.

ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට දාව සුරැකි පියා වන ජුසේ තුමාගේ රැකවරණය මැද ඉපදුණු බව එහි සඳහන් වේ.

“කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

ශුද්ධ වූ නගරේ

ජේසු මෙලොවට බිහිවුනේ

පුංචි ගවමඩුවේ”

කියන ගීතයෙන් අපූරුවට ගැයෙන්නෙත් ඒ කතාව ගැන විස්තර
ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් සියයට 7ක්පමණ ඉන්නෙ කතෝලික බැතිමතුන්. ඒ බැතිමතුන් කතෝලික දේවස්තානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේදී සහ දෙසැම්බර් විසි පස් වන දා උදෑසන ආගමික වතාවත් වල නිරත වෙමින් තමාගේ ආගමික ශාස්තුවරයානන් වන ජේසු තුමන්ව සමරනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ඉතිහාසය 16 වැනි සියවස් ඈත විදේශ ආක්‍රමණ පාලන සමය දක්වා දිවයනවා. ශ්‍රී ලංකාවේ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි මිනිසුන් කතෝලික ධර්මය වැලඳ ගත්තේ.  බොහෝ දුරට එය ව්‍යාප්ත වුනේ වෙරලබඩ ප්‍රදේශ වලදි මොකද ඒ කාලයේ විදේශ රටවලින් මිනිසුන් ආවේ මුහුද ඔස්සේ නැව් වලින් නිසා. එදා ඉඳන් මිනිස්සු නත්තල් සමරනවා. 

නත්තල කියන්නෙ දීම සහ බෙදාගැනීම කියන සංකල්පය මූලික කරගත්ත උත්සවයක්නේ. ඒ නිසාම කිතුණු බැතිමතුන් නත්තල් කාලෙදි තමන්ගෙ ආදරණීයයන් සමග තෑගි හුවමාරු කරගනිමින් නත්තලේ අපූර්වත්වය විඳිනවා. ඒවගේම මේ විදියට තෑගි බෙදා හදා ගැනීම කිතුණු බැතිමතුන්ටම ආවේණික දෙයක් නෙවෙයි. ඕනම ආගමක, ජාතියක කෙනෙකුට නත්තල් කාලයෙදි තව කෙනෙකුට තෑග්ගක් දීමේ සහ තෑග්ගක් ලැබීමේ හැකියාවක්, ඉඩක් තිබෙනවා. ඉතින් නත්තල කියන්නෙ හැම කෙනෙක්ම සතුටෙන් පිරී ඉතිරී ගොසින් සිටින කාලයක් කියල හඳුන්වන්න පුලුවන්.

2016 අවුරුද්දෙ ලොව උසම කෘතිම නත්තල් ගස සැකසීමේ ගිනස් වාර්තාවට හිමිකම කිව්වෙත් ලංකාව බව ඔබට මතක ඇති. නත්තල් කාලයට මිනිසුන් සූදානම් වෙන්න පටන් ගන්නේ නත්තල එළඹෙන්න සති දෙකකට පමණ පෙර සිට.

ගාලු මුවදොර පිටිය සහ කොළඹ  කියන්නෙ නත්තලට සාප්පු එන මිනිස්සුන්ගෙන් පිරෙන ස්තාන දෙකක්. නත්තල් ගස් සමරන්න අවශ්‍ය කරන දේවල්වලින් වගේම තෑගි භාණ්ඩ වලින් මේ කාලය වනවිට කඩ සාප්පු පිරි ඉතිරි යනවා. ඉටිපන්දම්, සේද සාරි, ස්වර්ණාභරණ, නත්තල් සැරසිලි වෙළෙඳපොළෙන් වැඩිපුරම මිලදී ගන්නා භාණ්ඩ අතර වේ.

නත්තල් තෑගි, නත්තල, නත්තල් ගස, නත්තල් සීයා කියන වචන මේ දෙසැම්බර් මාසයේ අපිට හොඳින්ම අහන්න දකින්න ලැබෙන දේවල්.

කොළඹ කියන්නෙ නත්තලේ කේන්ද්‍රස්තානය වගේ. නත්තල් උත්සව, තේ සාද, රාත්‍රී සාද රැසකින් කොළඹ හෝටල් සහ ආපනශාලා දෙසැම්බරයේ පිරී ඉතිරෙනවා. කේක් කියන්නෙ ඉතින් නත්තලේ අනිවාර්‍ය කෑමක්නේ. ඉතින් කොළඹදි නත්තල වෙනුවෙන් විශේෂ කෑම සකසන හැම තැනකම වගේ මේ නත්තල් කේක් අපිට දකින්න ලැබෙනවා.

නත්තල් කාලේ හදන කෑම බීම අතර තව වැදගත් තැනක් ලැබෙනවා මස් වර්ග, වයින් වර්ග සහ විවිධ නත්තලටම විශේෂිත කෙටි කෑම වලට.නත්තල කියන්නෙ යුරෝපීය ආභාශය අරගත්ත උත්සවයක් උනාට ලංකාවෙ නත්තල සමරද්දි කෑම බීම වලටත් ලාංකේය බව එකතු වීම සාමාන්‍ය දෙයක් වෙලා.කුකුල් මල්, කලුකුම් මස් වගේ මස් වර්ග, සුප් වර්ග, කේක් වර්ග වගේම නත්තල වෙනුවෙන් විශේෂයෙන් සකසන මුද්දරස්පලං වගේ දාමු රසවත් බත් වලටත් නත්තල් කෑම මේසයේ වැඩි ඉඩක් වෙන් වෙනවා.

ඊට අමතරව වම්බටු මෝජු, අච්චාරු වගේ ලාංකේය රස පදමට සැකසුණු කෑම වර්ගත් මේ නත්තල් කෑම මේසයේ අඩුපාඩු මකනවා.

මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වන දින රාත්‍රී 11:30 ට ආරම්භ වෙනවා. මේක හරිම විශේෂ වගේම ඉතාම සුන්දර අවස්තාවක්.  කැරොල් ගායනය, දෙවියන්ට යාඥා කිරීම වගේ දේවල් මේ කාර්‍යයට ඇතුළත් වෙනවා.  නගරවල සෑම පල්ලියකම පාහේ දෙසැම්බර් 25 මධ්‍යම රාත්‍රී යාඥාවන් සංවිධානය වෙනවා වගේම ඒ සඳහා කැමති ඕනෑම අයෙකුට සහභාගි වෙන්න පුලුවන්. 

කැරොල් සේවා සංවිධානය කිරීමෙන් පල්ලිය නත්තලට සූදානම් වන අතර කැරොල් ගායනා කිරීමට මිනිසුන් කණ්ඩායම් රාත්‍රියේ නිවෙස්වලට යනවා. නගරයම තියෙන්නෙ නත්තලේ සුන්දරත්වය සහ ආලෝකයෙන් පිරිලා. හරිම ගීතවත්. වර්ණවත්.  සුහදත්වය සහ බෙදාගැනීම යන සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායම් මෙම කාලය තුළ අනාථ නිවාස, වැඩිහිටි නිවාස සහ රෝහල් වෙත ආහාර හා තෑගි බෙදා දීම සාමාන්‍ය දෙයකි. 

ඉතින් කාලයක් සමග යුරෝපීය කිතුණු බැතිමතුන්ගෙන් මෙරටට සම්ප්‍රාප්ත වූ මේ අපුරු නත්තල් උත්සවය අපේ විදියට සකසාගෙන, එහි අපූර්වත්වය තවදුරටත් වැඩිකරමින් සමරන්න අපේ ලාංකේය කිතුණු බැතිමතුන්ට ඉඩ ලැබිලා තිබෙනවා.

COVID-19 වසංගතය නිසාවෙන් මීට පෙර නත්තල් සහ අනෙකුත් සැමරුම් පැවැත්වූ ආකාරය වෙනස් කරන්න අපට සිදුවූ බව ඔබට මතක ඇති.  සාමාන්‍යයෙන් නිවාඩු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඥාතීන් සහ මිතුරන්ට එසේ කිරීම සීමා කරන්න වුනා වගේම, රටේ අයට දේශසීමා තරණය කිරීමට නොහැකි වීම නිසා අපි නත්තල ඒ කාලයේ සැමරුවේ ගෙදරටම වෙලා වගේ.

ඉතින් මේ 2023 අවුරුද්දෙ නත්තල සුපුරුදු විදියට ඉහළින්ම සමරන්න සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉඩ ලැබෙන්න කියමින් අපි ලිපිය නතරකරනවා.

ඔබ සැමට සුබ නත්තලක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles