“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?”
සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස් අස්සට එබිල නෙවෙයි. කොහෙදෝ කෙලවරක් නොපෙනෙන ඈතක් දිහාව බලාන. ඒ බැල්ම දිහා කොච්චරක් වෙලා බලාන උන්නත් සන්ධ්‍යාට තේරුම්ගන්න ඇහැක් උනේ නෑ අසෝකගේ ඇස් ඉස්මත්තේ තැවරිල තිබිච්ච කතාව මක්කද කියන එක.
මහ හයියෙන් පල්ලෙහට අතෑරපු අසෝකගෙ හුස්මෙ තිබ්බෙ කියාගන්න බැරි කතාවක් බව සන්ධ්‍යාට තේරුම් ගියා. ඒ කතාව මක්කද කියල දැනගන්න උවමනා උනත් හිත අස්සෙන් බයක් මෝදු උනේ “අනේ අසෝක මගෙ හිත රිද්දන දෙයක් කියයිද?” කියන සැකේ එක්කමයි.
“අපිට ආයෙ හම්බෙලා කතාකරන්න දෙයක් ඉතිරිවෙලා තියෙයිද කියල මං මේ කල්පනා කරන්නේ”
අසෝක පපුව උඩට ගෙනවිල්ලා අතෑරල දැම්මේ මහාමෙරක් හේ බර දුක් කන්දරාවක් උනාට ජීවිතේ දුකම විඳල පුරුදු සඳට පුරුදු විදිහටම ඒ කතාව හිනාවකින් පිලිගන්න බැරිකමක් තිබුනෙ නෑ. හිත අස්සෙ මොනතරම් දුකක් පැලපදියම් වෙලා තිබ්බත් සන්ධ්‍යා අසෝක දිහාව බැලුවෙ සුපුරුදු හිනාවෙන්මයි.
“අර මක්කෙයි එහෙම කියන්නේ?”
“අපේ තාත්තල මට කටයුත්තක් කතා කරලා”
අසෝක එහෙම කිව්වෙත් ගඟට එහායින් බැහැන් යන ඉර දිහාවම බලාගෙන. රත්තරන් පාට ඉර එලිය වැක්කිරිල ගඟ දිස්නෙ ගහ ගහ උන්නට මොකෝ හිත තිබ්බෙ මහ අන්දකාරෙකින් වැහිල බව සන්ධ්‍යාට හිතුනා.
ඒත් මක්ක කරන්නද? මේ කතාව මීට කලින් අහල නුපුරුදු කතාවක් නෙවෙයි නෙව. දැන් මේ සම්බන්ධෙ පටන් අරන් අවුරුද්දක් දෙකක් විතර වෙච්චි කාලෙන් කාලෙට අසෝක ඔය “අපෙ අප්පච්චි කටයුත්තක් ලැහැත්ති කරලය” කියන කතාව කී වංගියක් නම් අහන්න සැලැස්සුවද? ඒත් ඉතින් මුල් කාලෙ නම් අඬල දොඩල අනේ මාව දාලා යන්න එපාය කියල සන්ධ්‍යා පොලොවෙ හැප්පුනාට මොකෝ එහෙම කටයුත්තක් නම් සිද්ද වෙච්ච නැති ගාණයි.
අනික් අතට නිතර දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන්නැහේ සන්ධ්‍යත් ඔය කතාවට කාලෙ එක්කම පුරුදු වෙච්චි.
“කලින් කටයුත්ත වගේමෙයි?”
සන්ධ්‍යා එහෙම ඇහැව්වෙ ඔලුව පැත්තක් ඇල කරල අසෝක දිහා බලාගෙනමයි. ඒ උනාට මොකෝ අසෝක නම් උන්නෙ මූන දෙන්න බැරි මක්කහරි දෙයක් තමන් අතින් සිද්ද උනා හේ අහක බලාගෙන.
“මෙදා පාර නම් කලින් වතාවල වගේ මගාරින්න බැරි වෙයි මයි හිතේ”
අසෝක එහෙම කිව්වෙ හිතේ කිසි තෙතමනයක් නැතුවද කියලත් සන්ධ්‍යට නොහිතුනා නෙවි. ඒත් ඉතින් මොකෝ ආය මේ කැලෑ රොද අස්සෙ ඕකට බැණ අඬ ගා ගන්න කියලද?
කවුරුවත් නොදකින්න, කාටවත් නොඇහෙන්න මේ ඉසව්ව සන්ධ්‍යාගේ කෙඳුරුම් සද්දයි අසෝකගෙ කන්කෙදිරි ගෑමුයි අහන් උන්නට ඒ විදියටම ඉතින් රණ්ඩු සරුවල් වෙන්න ගෑණියෙකුටයි පිරිමියෙකුටයි පුලුහන් කමක් නෑ නෙව. ආන් ඒ හන්දමයි සන්ධ්‍යා කට වහන් ඉන්නවය කියල තීරණේ කොරේ.
“අර මොකෝ එහෙම කිව්වේ?”
“ඒ කාණ්ඩෙ අපිට පෑහෙන්නත් බැරි තරමෙ වංසක්කාරයොලු”
“පෑහෙන්න බැරි නම් ඉතින් මක්කටෙයි පෑහෙන්න තනන්නේ?”
වෙන ගෑණියෙක් උනා නම් ඔය කතාව අහන්නෙ තමන් අහන තාලෙට නෙවෙයි කියල දැන උන්නට මොකෝ ලුණු ඇඹුල් පදම ගානට දැන මැනගෙන ඉවුම් පිහුම් කොරන සන්ධ්‍යාට තමන්ගෙ හඬේ ලුණු ඇඹුල් පදම අඩු කරගන්න ආය අමුතුවෙන් කියන්න ඕනය.
ඒ වුනාට අසෝකට නම් ඒ කතා කරපු විදියත් හිතට නෑල්ලුවද කියල හිතුනෙ උන්දැ බලපු බැල්මට.
“එහෙම තමයි. ලොකු පවුල්වල මිනිස්සු බලන්නෙ තමන්ටත් වඩා ඉහල පවුල්වල මිනිස්සු එක්කල පෑහිල තමන්ගෙ වංසක්කාරකම වැඩි කොරගන්න”
කියල සන්ධ්‍යාට ඇහෙන්න කිව්ව අසෝක “කොහෙද ඉතින් මේ ආතක් පාතක් නැති උඹලට ඔව්ව තේරෙනවද?” කියල නොකිව්වට මොකෝ හිතෙන් හිතුවා.
අර ඇස්වලින් ඒ නොකිව්ව එව්ව සන්ධ්‍යාට තේරෙවිය කියන බයට වෙන්නැති ගඟ දිහාවමයි බැහැන් යන ඉර දිහාවමයි බලාන උන්නේ.
“ඉතින් දැන් ඔයැයි මක්කද කොරන්න හිතාගෙන ඉන්නේ?”
අසෝක බලන් ඉන්නෙ තමන් ඒ පුරස්නෙ අහනකම් බව සන්ධ්‍යාට නිච්චියක් තිබුනා. ඒකමයි එහෙම ඇහුවෙ. අනික ඉතින් තමන් ඔය පුරස්නෙ ඇහුවත් නැතත් අසෝක මේ වෙද්දි ගන්න ඕන තීරණේ අරන් ඉවර බව සන්ධ්‍යාට තේරිලයි තිබ්බේ.
ගෑණු ඉව වෙන්ටැ. හිත මෙල්ල කොරන් කඳුලු වක්කොරන්නෙ නැතුව තමන් ඉන්නෙ කොහොමද කියන එක හැබැවටම සන්ධ්‍යාටම පුරස්නයක් වෙලා තිබුනේ.
“මං හිතන්නෙ මට ආපහු එන්න වෙන් නෑ. අනික ආවත් පලක් වේය කියල මම හිතන්නෙත් නෑ. අනික අපෙ තාත්තල මෙව්ව දැන ගත්තොතින් නිවනක් වෙන එකක් නෑ ඔයැයිලටත්. එහෙම එකේ මං නං කියන්නෙ අපි හිත හදාගෙන වෙන අතක් බලාගන්න එක හොඳය කියල”
තමන් අතර වෙච්ච එව්ව, කතා කරපු ඔක්කොම මේ නොවිච්ච ගානට අමතක කොරල දාලා හේ අසෝක එහෙම කතා කොරේ කොහොමද කියල සන්ධ්‍යාට නොහිතුනා නෙවෙයි. ඒත් අසෝකල වගේ බලපුලුවන්කාර මිනිස්සු එක්කල හැප්පෙන්න වත් පෑහෙන්නවත් තමන්ට බැරිබව දැන දැනම නේද තමන් මේ වලට පැන්නෙ කියලත් සන්ධ්‍යාට නොහිතුනා නෙවි.
“දැන් ඒ කියන්නෙ මෙතනින් එහාට අපි මුලිච්චි වෙන්නෙ නැතෙයි?”
ඇස් අස්සෙන් කඳුලු නොවැක්කුරුනට, කටහඬ නම් තිබ්බෙ බැරැණ්ඩි වෙලා. ඒත් සන්ධ්‍යා උන්නෙ හිනාවෙලාමයි.
“නෑ. මම දැන් යනවා. ඔයැයි මා එක්කල අමනාප වෙන්න එපා. මම ඔයැයි ගැන හිතලමයි මෙහෙම තීරණයක් ගත්තෙ. මෙව්ව දැනගත්තොතින් අපෙ තාත්තල ඔයැයිලගෙ පැල් හෙමත් ගිනි තියල දාවි. මක්ක උනත් එහෙම දෙයක් වෙන්න අරිනවට වඩා අපි මේ වෙච්ච එව්ව අමතක කරන එක ලේසියි කියල මං හිතුවා”
අසෝක එහෙම කිව්වම “ඔයැයිට එහෙම කියන්න කොරන්න ලේසි උනාට මට බෑ” කියල කියන්න තිබ්බ උවමනාව සන්ධ්‍යා මෙච්චල් කරගත්තෙ අමාරුවෙන්. කිව්වයි කියල පලක් නැති හන්දමයි.
එතනින් එහාට කතා කරන්න දෙයක් නැති හේ අසෝක කැලෑ රොදෙන් මෑත්වෙලා යනව සන්ධ්‍යා බලාන උන්නා. එච්චර වෙලා ඇස් අස්සෙන් එලියට පනින්න පොරකකා උන්නු කඳුලු වැස්සක් ගං දියට වැටිල හැංගිල ගියා.