බිමල් ගේ හිත වගේම සරළාගේ හිතත් තෝන්තුවෙන් පිරිලා. මෙදා නත්තලට දරුවෝ දෙන්නට හරි හැටි ඇඳුමක් කැඩුමක්වත් ගන්න බැරිව ගියා. බිමල් කල්පනා කරේ කොහොම හරි ඉරිදා ට කොස් දෙල් ටිකක් අරගෙන පොළට යන්න. පොළේ බඩු විකුණන එක බිමල්ට හුරු දෙයක් නෙවෙයි. බිම්ල් කරේ ගමෙන් පොළට යන ට්‍රැක්ටරේට එළව්ලු කෑලි ටික දෙන එක. ඒත් මෙදා වතාවේ වගා දෙකම විනාස වෙලාම ගිය නිසා සති තුනකින් මුකුත් කැඩුණේ නැහැ.
ඒ අල්ලපනල්ලේ පොඩි දුව අසනීප වුනා. අතේ තිබුණ හැම සතයක්ම එතනට යට කරන වුණා. හිතේ සැනසීමට ඉතුරු වුනේ දරුවා සුවපත් වුණ එක.
හිතපු නැති විදියට සේනා දළඹු ආක්‍රමණයකට මුහුණ දෙන්න සිදු වුණ නිසා ඉරිඟු වගාවම සතියෙන් දෙකෙන් විනාශ වුණා. ඒකට වියදම් කරපු සල්ලි වතුරේ ගියා වගේ දැනෙණ හැඟීම අර කිව්ව තෝන්තු ගතිය තව වැඩි කරනවා.
බිමල් මේ පොළට යන්න සූදනම් වෙන්නේ පොඩි උන් දෙන්නට නත්තල් සමරන්න කීයක් හරි හොයාගන්න . ඒ සූදානමට සෙනසුරාදා හවස් වරුවම දෙන්නා කලේ කැළේ රිංගගෙන දෙල් කඩපු එක. ඒ අතරට තුඹ පංගු විස්සා විතරත් කඩා ගත්තා.
වත්තේ දෙහි ගස් දහයෙන් දෙහි පංගු හතලිහක් හදාගත්තා. කංකුන් මිටි විස්ස බැන්දා. කොළ කැඳ මිටි විසි පහක් බැඳගත්තා. සරළාගේ කොහිල වලෙන් කොහිල කෑලි පහළොවක්ම හදාගන්න පුලුවන් වුණා. අලු කෙසෙල් ඇවරි හයක් තිබුණා. කුරක්කන් මලු පහක් හදාගත්තා. සරළා හදලා තිබුණ ලුණු දෙහි බෝතල් පහකුත් දුන්නා.
සරළා අම්මලාගේ ගෙදර ගිහින් කොස් ගෙඩි පහක් කඩාගෙන ආවා. අම්මා මුකුණුවැන්න මිටි පහලොවක් විතර හදලා දුන්නේ තව රුපියල් පන්සීයකුත් සරළාගේ අතේ ගුලි කරලා. අම්මා මල්ලීගේ කැම්පස් වැඩ වලටත් වියදම් කරන ගමන් ලේසි සුමයක් නෙවෙයි කරන්නේ කියලා දන්න නිසාම සරළා අම්මගෙන් උදව්වක් ඉල්ලන්නේ නැති තරම්. ඒත් හෙට පොළට යන්න වීල් එකට තෙල් ගහගන්න අතේ කීයක්වත්ම නැති බව මතක් වෙලා සරළා ඒක මිටමොළවා ගත්තා
.
සුද්ද කරලා බෑග් වලට හදලා ගත්තේ පහුවෙනිදා පාන්දර. හන්දියේ කඩේ විමලවීර ගෙන් පොඩි වීල් එක ඉල්ලගත්තා.
“තෙල් ඩිංගක් ඇති.. මදි පාඩුව තෙල් උඹ ගහගනින්.. ආයේ මට වෙන කීයක්වත් ඕනි නෑ… උඹට එක දිගට ආව කරදර මම දන්නවනේ…”
විමලවීර එහෙම කියනකොට බිමල් මිතුරාව තදින් වැළඳගත්තා.
ටවුමේ පොලේ ඉඩක් වෙන් කරගන්න බැරි නිසා බිමල් වීල් එක මඟ නවත්තගෙන තමයි විකුණුම් පටන් ගත්තේ. නත්තල වෙනුවෙන් මිනිස්සු කොච්චරක් සූදානම් වෙනවද කියනවා නම්, දවල් දොළහ වෙනකොට ඔක්කොම බඩු ටික විකිණිලා ඉවරයි.
අටදාස් පන්සිය තිහක්….,
බිමල් වීල් එකට නැග්ගේ සතුට පුරෝගෙන. මෙහෙමම ගෙදර ගිහින් සරළයි, දරු දෙන්නයි එක්කම නගරේට ඇවිල්ලා බඩු අරගෙන යන්න තමයි බිමල්ගේ කල්පනාව තිබුණේ.
ඒත් නගරේ ඉඳන් වැඩි දුරක් එන්න ලැබුණේ නැහැ. සුදු පාට කාර් එකක් ළඟ කවුරු හරි වැටිලා ඉන්නව බිමල් දැක්කා. මඟ ඇරලා යන පුරුද්දක් කොහොමටත් නැති නිසා බිමල් තකහනියේම කලේ වීල් එක නවත්තලා බැහ්ළා බලපු එක.
තරුණ පිරිමියෙක්.
වැටිලා ඉන්නේ මුනින් අතට.
බිමල් වහාම වැටිලා හිටපු කෙනාව අනෙක් පැත්තට හැරෙව්වා.
“හත් ඉලව්වයි… වලව්වේ ගෙදර ඉන්ජිනේරු මහත්තයා … “
බිමල් කලබලෙන් වටපිට බැලුවා. ඒත් උදව්වක් ගන්න කියලා කිසිම කෙනෙක් නැහැ. කල්පනා කර කර ඉන්න වෙලාවකුත් නැහැ. බිමල් කලේ තරුණයාව උස්සලා වීල් එකේ පිටිපස්සේ අසුනේ ඇල කරවපු එක. ඊට පස්සේ ආයෙම වීල් එක හරවගෙන හැල්මේ, ඒත් පරෙස්සමින් රෝහලට ගෙනාවා.
වැඩි විස්තර නොදන්නවා වුනත්, දන්න විස්තර වලින් ඇතුළත් කිරීමට අදාල විස්තර පිරෙව්වා. ඊට පස්සේ සූදානම් වුණේ ආයෙම ගමට ගිහින් විස්තර කියන්න. ඒත් හෙදියක් ඇවිල්ලා කතා කල නිස ආයෙම නැවතුණා
“අර වැටිලා ඉඳලා ඇඩ්මිට් කල පේශන්ගේ බාරකාරයා නේද ?”
“ඔව් මිසී..”
“මෙන්න මේ බෙහෙත පුලුවන් ඉක්මනට ඕනි.. ඉස්සරහට ෆාර්මසියේ නැත්නම් අර තුන්මංහන්දියේ එකේ බලන්න…”
බිමල්ට දැනුණේ අකුණක් වැදුණා වගේ. බිමල් තුණ්ඩුව අතේ තියාගෙන එහෙමම හිටියා.
“ඕක ඉක්මනට ඕනි..”
හීනෙන් වගේ එහෙම ඇහෙනකොට බිමල් කඩිමුඩියේ වීල් එකට නැග්ගා.
“හත්දාස් අටසීයයි..”
ෆාර්මසියේ තරුණිය එහෙම කිව්වා. බිමල් ඉස්සරහ කමිස සාක්කුවෙන් සීයේ, පන්සීයේ , පනහේ කොළ එකතු කරලා ගාන ගෙව්වා.
බෙහෙත දීලා, වීල් එකට රුපියල් පන්සීයක තෙල් ගහලා ඒකත් විමලවීර ගේ ගෙදර දාලා පයින්ම ඇවිදන් ගියා.
විස්තරේ කිව්වම සරළා නම් හූම් කිව්වේ නෑ. ඒත් දරුවෝ දෙන්නාම උඩ පැන පැන කැ ගැහුවා.
“ශෝක් තාත්තේ… ඉංජිනේරු මහත්තයා ඉස්පිරිතාලෙ ගෙනිච්චේ නැත්නම් එතනම ඉඳලා මැරෙන්නත් තිබුනා. එහෙම වුනා නම් ශකිලාට තාත්තා කෙනෙක් කෝ…එතකොට ශකිලා අඬාවි….. එතකොට අපි කොහොමද නත්තල් සමරන්නේ…”
බිමක් හය වසරේයි, අට වසරෙයි ඉන්න දරුවෝ දෙන්නා ආදරෙන් ගුලි කරගත්තා . ඒ පිම්මේම වලව්වේ ගෙදර දුවලා පණිවිඩේ කියලා ආවා.
පහුවෙනිදා ට පස්සෙන්දා නත්තල්. හවස සරළා හතර දෙනාට පල්ලි යන්න ඇඳුම් කැඩුම් හොයන ගමන් හිටියේ. කාර් එකක් නැවතුණ සද්දෙව්ට එළියට එබුණා
ඉංජිනේරු මහත්තයාගේ නෝනායි , දරුවයි, තාත්තයි. සරළා කඩිමුඩියේ කට්ටිය පිලිගත්තා.
“අපි මෙහෙමම ඉස්පිරිතාලෙ යන්න ඕනි සරළා.. මං ගැන මුකුත් නොහිතා මේ පාර්සල් ටික ඇතුලට ගමුද ?”
ඉංජිනේරු මහත්තයා ගේ නෝනා එහෙම කියනකොට, සරළා වටපිට බැලුවා. බිමලුත් ඇවිල්ලා එබුණා. ඉංජිනේරු මහත්තයා ගේ තාත්තා කාර් එකෙන් මලු වගයක් උස්සගෙන ඇවිල්ලා ඉස්තෝප්පුවේ තිව්වා.
බිමල් ඒ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.
“රෑට පල්ලි යන්න අඳින්න මේවා.. අද කසුන්ගේ ටිකට් කැපුවම අපිත් පල්ලි එනවා. ඒ ගිහින් උදේ නත්තල් සමරන්න අපිත් මෙහෙ එනවා…”
එහෙම කියනකොට සරළා පපුවට අත තියාගත්තා.
පුංචි ශකිලා දරුවෝ දෙන්නා ළඟට ගියා.
“මහීන්… ඔයාගේ තාත්තා තමා මගේ හැම නත්තලකම නත්තල් සීයා.. විමලවීර මාමා අපිට කිව්වා, බිමල් මාමා ඔයාලට ඇඳුම් ගන්න එකතු කරගත්ත සල්ලි වලින් තමා තාත්තා ගේ බෙහෙත අරන් තියෙන්නේ කියලා … නත්තල් සීයා ආවත් මට ඒ තරම් ලොකු තෑග්ගක් නම් දෙන්නේ නෑ…”
සරළයි, ශකිලාගේ අම්මයි, ආච්චියි ඔක්කොමලා කඳුළු පිහිදනවා.
ඊට පස්සේ ශකිලා බිමල්ට වැන්දා.
“බිමල් මාමා , ඔයා තමා මට ලැබුණ ලොකුම නත්තල් තෑග්ග දුන්නේ…”
| අපේක්ෂා ගුණරත්න |