අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගමු

2023 අවුරුද්ද නිමා කරල 2024 අලුත් අවුරුද්ද උදාවෙන මේ වෙලාවෙ 2023 අවුරුද්ද දිහාට ආපස්සට හැරිල බැලුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ජයග්‍රහණ, පරාජයන්, හිමිවීම්, අහිමිවීම්, දුක, සතුට වගේම නින්දා ප්‍රශංසා රාශියකුත් ලැබුණු අවුරුද්දක් ඔබ පහු කරන්න ඇති. 

එ කොහොම වුනත් දැන් අතීතය අතීතයටම භාර දීලා උදාවෙන අවුරුද්දෙ අපේ ජීවිත සුන්දර කරගන්න වගකීම තියන්නෙ අපි අතේම මිසක් වෙන කොහෙවත් කා ලඟවත් නෙමෙයි.

එහෙනම් අලුත් වෙනසක්, අලුත් බලාපොරොත්තු එක්කම අලුත්ම කෙනෙක් විදිහට අලුත් අවුරුද්දට පිය නගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපේ මේ සූදානම.

එහෙනම් බලමුද ඒ කොහොමද කියල?

වෙනස් පෙනුමකින් පටන් ගමු

ඔබේ රූපලාවන්‍ය ශිල්පිනිය මුන ගැසිලා ඔබේ මුහුණට ගැළපෙන අලුත් කොණ්ඩ විලාසිතාවක් කරන්න වෙලාවක් වෙන් කරගන්න.

අන්තර්ජාලය පිරික්සලා මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන කොණ්ඩ විලාසිතා මොනවද? හිසකෙස් වර්ණක මොනවද කියල අදහසක් අරන්ම ඇයව හෝ ඔහුව මුණ ගැසීම වඩා හොඳයි. ඔවුන් සමඟ සාකච්ඡා කරද්දී ඔබේ අදහසුත් එක්කම ඔබට ගැළපෙන විලාසිතාව තෝරල දෙන්න එය ඔවුන්ට පහසුවක් වේවි.

ඒ වගේම මුහුණට සත්කාර කරන්න, නියපොතු අලංකාර කරගන්න වගේම ඔබේ අතේ ඇති මුදලට වෙනස්ම විලාසිතා කීපයකින් යුතු අලුත් ඇඳුම් පැළඳුම් කීපයක් මිලදී ගන්නත් ඔබට පුළුවන්.

ඔබේ උසට අනුව බර තියනවද? රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ට්‍රෝල් මට්ටම හොඳින් පවත්වාගෙන යනවද? වගේම දත්වල ගැටළු තියෙනවද කියල පරීක්ෂා කරගැනීම ඉදිරියේදී සංකීර්ණ සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවධානම අඩුකරන්නත් හොඳ උදව්වක් වේවි.

ඒත් එක්කම සෞඛ්‍යමත් ආහාර රටාවක් ඇති කරගන්නත් ව්‍යායාම වල නිරත වෙන්න වෙලාවක් වෙන්කර ගන්නත් අමතක කරන්න එපා. 

සිතුම් පැතුම් වෙනස් කරගන්න

ඔබ නින්දට යන්න කලින් දවස හොඳින් නිමාකරන්න ඔබට උපකාර කල කෙනෙක් එහෙමත් නැත්නම් දෙයක් හෝ සිදුවීමක් ගැන සිහිපත් කරල ඒ දේවල් වලට ස්තූතිවන්ත වෙන්න අමතක කරන්න එපා.

බස් රථයේදී ඔබට පහසුවක් වෙන්න බෑගයක් අරගත්ත කෙනෙක්, ඔබ නොදන්නව වුනත් මහ මඟදී ඔබට සිනාසුන කෙනෙක්, ඔබේ සුරතලා එහෙමත් නැත්නම් ඔබේ වත්තෙ පිපුණු මලක් හෝ සීතල සුළඟක් පවා ඔබට මතක් කරන්න පුලුවන්.

මම දක්ෂ කෙනෙක්, මම වටින කෙනෙක්, මම අභියෝග භාරගන්න සූදානම් කෙනෙක් වගේ දවස පුරාම නිතර නිතර මතක් කරන්න පුලුවන් ඔබ ගැන ධනාත්මක සිතුවිල්ලක් දවස ආරම්භයේදීම නිර්මාණය කරගන්න.

කාර්‍යාලයේදී හෝ නිවසේදී ඔබ ගැන නිතරම ඒ විදිහට හිතන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔබත් සමඟම සිනාසෙන ගමන් මේ සිතුවිල්ල නැවත නැවත මතක් කිරීම වඩා හොඳ ප්‍රතිඵල ඔබට ලබාදෙනවා.

හැකි සෑම විටම තව කෙනෙක්ට කාරුණික වෙන්න ඔබට පුළුවන්.

ඔබ කෙනෙක්ට හදවතින්ම කරන ප්‍රශංසාවක්, සිනහවක් එහෙමත් නැත්නම් සුළුවෙන් හෝ කරන උපකාරයක් ඒ පුද්ගලයාගෙ මුළු දවසම වෙනස් කරන්න උදව්වක් වේවී.

පාරෙ හමුවෙන ප්ලාස්ටික් වතුර බෝතලයක් කසළ බඳුනකට දාන්න, කුරුල්ලෙක්ට කෑම ටිකක් වතුර ටිකක් දෙන්න වගේ පුංචි උදව්වක් වුනත් කිසිසේත්ම අවතක්සේරු වෙන්නෙ නෑ.

වටපිටාව පිරිසිදු කරගන්න

ඔබ අවට පරිසරය ඔබේ මානසික වගේම ශාරීරික සෞඛ්‍යටත් ලොකු බලපෑමක් කරන බව ඔබ දන්නවනෙ. ඒ නිසා අලුත් අවුරුද්දට හොඳ ආරම්භයක් ගන්න සාර්ථකම විදිහක් තමයි අවට පරිසරය හොඳින් පිරිසිදු කර ගැනීම.

මුලින්ම ඔබේ කාමරේ තියෙන අත්‍යාවශ්‍ය නොවෙන දේවල් සියල්ලම ඉවත් කරල, ඔබ අඳින්නෙ නැති හොඳ ඇඳුම් තියෙනව නම් අවශ්‍ය අයෙක්ට දෙන්න වෙනම වෙන්කරල තියාගන්නත්, කාමරේ බිම සෝදන්න, මකුළු දැල් කඩන්න, ඇඳුම් පිළිවෙලට නමල අල්මාරිය අස්කරගන්න, පරණ ක්‍රීම් හෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඉවත්කරල පිරිසිදු කරගන්න, දොර ජනෙල් රෙදි හෝදන්න ඔබට පුළුවන්.

නිවසෙ නාන කාමරය, කුස්සිය වගේම නිවස අවට වටපිටාවත් පිරිසිදු කරල අලුත් ලස්සන මල් පැළ ටිකක්, කුරුල්ලන්ට වතුර බොන්න තැනක් හදනව වගේ මනසට සුවදායී දේවල් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. 

වැඩි වියදමකින් තොරව ඔබටම හදාගන්න පුළුවන් කුඩා මල් පැළ සහ විවිධ සැරසිලි එක්කම හැඩකර ගන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම නිදාගන්න සහ අවදි වෙන්න එකම වේලාවක් තෝර ගැනීමත් ශරීරයට අවශ්‍ය විවේකය ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා. ඒ නිසා සුවසේ නිදාගන්න උදව් වෙන නිශ්ශබ්ද, අඳුරු සහ සිසිල් පරිසරයක් නිර්මාණය කරගන්නත් ඔබ සැළකිලිමත් වෙන්නම ඕන.

ඉලක්ක හදාගන්න

පුංචි වුනත් මාසෙකට සපුරගන්න එක් අරමුණක් හෝ නිර්මාණය කර ගැනීම ඉතාම වටිනව.

මාසෙකට වගේම 2024 වසර වෙනුවෙනුත් අරමුණු සහ ඉලක්ක නිර්මාණය කරගන්න අමතක කරන්න එපා. මේ ඉලක්ක සහ අරමුණු නව නිවසක් සෑදීම, වාහනයක් මිලදී ගැනීම වගේ ලොකු ඉලක්ක වල ඉඳල වැඩිපුර වතුර බොන්න පුරුදු වීම, අඩුවෙන් කාබොහයිඩ්‍රේට් ආහාරයට ගැනීම වගේ පුංචි අරමුණු වෙන්න පුළුවන්.

එය කිසිසේත්ම ගැටළුවක් වෙන්නෙ නෑ.

ඒ වගේම ඔබ රැකියා සඳහා ඉල්ලුම් කිරීමෙදි යොමු කරන ජීව දත්ත අයදුම්පත අලුත් කරල තබා ගන්න අමතක කරන්න එපා. අවස්ථාවක් ලද සැණින් ඒ සඳහා ඉල්ලුම් කරන්න එය ඔබට හොඳ උදව්වක් වෙනවා.

එහෙනම් අලුත් වෙනස්කම්, අලුත් ඉලක්ක සමඟම අලුත් කෙනෙක් විදිහට 2024 අවුරුද්ද ඔබට යහපත සැනසීම සහ නීරෝගීබව අරන් එයි කියල අපි විශ්වාස කරනවා.

සුවෙන් ඉන්න!

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles