අක්කලා

විවාහ වෙලා අවුරුදු පහක් යනකල්ම දරුවෙක් නැති එක ඉශංකාටයි, තිසරටයි වඩා ප්‍රශ්නයක් වෙලා තිබුණේ වටේ පිටේ අයට. දැන් දෙන්නගේ වයසත් තිහේ මැද දශකයට එළඹෙමින් තියෙන එක මාතෘකාව තව රසවත් කලා. ඉශංකාගේ නංගී, නිශංකාට  නිවුන් දරුවෝ ලැබුම ආරංචියත් නෑදෑයෝ දැනගත්තාට පස්සේ ඉශංකා ඉබේම වඳ ගැහැණියක තත්වයටම පත් කරා. 

නිශංකාට දරුවෝ ලැබුණ ගමන් නිශංකා අම්මව එහෙ ගෙන්නගත්තා. නිසංකාගේ හස්බන්ඩ්ගේ දෙමාපියෝ නැති වෙලා තිබුණ නිසා ඒ පැත්තෙන් සහයෝගයක් දෙන්න කෙනෙක් නොහිටි තරම්. ඒකෙන් පස්සේ  විශාල ගෙදර නිශංකාගේ තාත්තා තනි වුණා.

“තාත්තාත් මෙහෙ එන්නකෝ.. ඔය වතු පිටි වලට ලෝභකම් කර කර ඉන්නෙ….”

අම්මා තාත්තා ගෙදර තනියෙන් ඉන්න එක ගැන විස්සෝප වෙන හැම වතාවකම නිශංකා කලේ තාත්තා ට ඇමතුමක් දීලා ඔන්න ඔහොම කියන එක. පස්සේ පස්සේ අම්මා නිශංකාට ඒ ගැන කියන එක නැවැත්තුවා.

ඊට පස්සේ මාස හයක් විතර ගියා. නිශංකා ආයෙම වැඩට යන්න ගත්තා. අම්මට තියෙන මහන්සිය දෙඟුණ තෙඟුණ වුණා. දවල් වරුවට ඉශංකාට තමා අම්මගේ දුක අහන්න වුණේ. අම්මා ඒ කතා කරත් විනාඩියක් කතා කරන්න වෙන්නේ නෑ, පොඩි එක්කෙනෙක් අඬනවා ඇහෙනවා. 

 කොහොමටත් විවාහ වුන දා ඉඳන්  ජීවිතේ හැම දවසක්ම එකටම හිටපු අම්මයි තාත්තයි මෙහෙම දෙපැත්තට කරලා දාපු එක ගැන ඉශංකා  තිසර එක්ක අවලාද කිය කියාමයි උන්නේත්.

“බබා බලාගන්න එකට කෙනෙක් අරගෙන ඒ දේ කරත්, අම්මලාට ඒ වදෙත් දෙන්න බෑ තිසර… අපිට දැනට මාසෙට ඒ වෙනුවෙන් තිස් හතලිස්  දාහක් වෙන් කරන්න බෑ.. අනෙක අපේ ගේ මෙහෙම එක කාමරයක් තියාගෙන, හදන ගමන් පැටියෙක් ගෙනල්ලා දුක් දෙන්න ඕනිත් නෑ..  එයාට එන්න ඕනි වෙලාව එටා තීරණය කරාවි තමා.. ඒත් අනේ අපි තව සෙට්ල් වෙලා ඉමු…”

විවාහ වෙලා මාස කිහිපයක් යනකොට ඉශංකා එහෙම් කීව විදිය තිසරට මතක් වෙනවා. තිසර හිටියෙත් ඒ මතේම නිසා දෙන්නටම රටේ ලෝකේ කතන්දර අදාල වුනේම නැහැ

ඉශංකා සෙනසුරාදා දවසක නිශංකාගේ ගෙදර ගියා. ඒ යනකොට නිශංකා ගෙදර නෑ. අම්මා දරුවෝ දෙන්නා මාරුවෙන් මාරුවට නළව නළවා ඉන්නවා. දෙන්නම එක ගානට ඇඬුම්. අම්මාගේ වෙහෙස මුහුණ දැක්කම ඉශංකා ටත් දුකයි. ඉශංකා පොඩි දෙන්නාගෙන් එක්කෙනෙක් වඩා ගෙන නැලෙව්වා.

“කෝ නංගී …”

“සැලූන් එකට යන්නම් කියලා ඔය ගියේ… පැය තුන හතරක් යාවි කිව්වා…”

“මල්ලි..?”

“ඒ ළමයා අද ඔෆිස් එකේ මොකක්ද මන්දා එකක්… ..”

ඉශංකාට නංගී ගැන පුදුම තරහයි. අම්මට පොඩි දෙන්නව එක වතාවේ බලාගන්න එක කොච්චරක් අමාරුද කියලා දැන දැනම, සෙනසුරාදා දවසේවත් අම්මට නිවාඩුවක් නොදී මෙහෙම් කරන එක ගැන ඉශංකා කෝපයටම පත් වෙලා හිටියේ.

“සල්ලි නැතිව නෙවෙයි නෙහ් අම්මේ මේ දෙන්නට…. දැන් පොඩි දෙන්නාට මාස හතක් නෙහ්… කාව හරි ගෙන්නගන්න කියමු.. ඕනි නම් අම්මත් මාසයක් විතර ඉන්න… තාත්තා ත් අරහෙ පව්… කඩෙන් කකා … මොන දුකක්ද මේ….”

ඉශංකාගේ ආවේගයට අම්මට බය හිතුණා.

“නංගී බයයි දරුවෝ පිට කාටවටත් දාන්න….. අර ළමයාත් කියනවා උදව්වට කාව හරි ගමු කියලා .. නංගීගේ නේ අකමැත්ත ….”

අම්මා එහෙම කිව්වා. නිශංකා ගෙදර එනකොට දොළහත් පහු වෙලා.  ඉශංකා ඉන්නවා දැක්කම නිශංකාගේ මූණ වෙනස් වෙලා යනවා දැක්කේ අම්මා විතරයි.

“ඔයාට මොකද මේ මෙහෙ මතක් වෙලා..”

නුහුරටම කතා කලා.

“මට අමතක වෙලා නෙවෙයි . ආවම ඇඟේ ලේ කෝප වෙන නිසා මම මේ පාඩුවේ ඉන්නේ…”

“ඔයා මොකටද ඇඟේ ලේ කෝප කරගන්නේ ?”

“නංගී.. අම්මට මෙහෙම මහන්සී වෙන්න බෑ… දැන් ආයේ කොන්දෙ අමාරුවත් ඇවිල්ලාලු…. අනෙක තාත්තා දැන් මාස කීයක් කඩෙන් කනවද ? තාත්තා අසනීප වෙනවා වැඩි කල් නොගිහින් ඔය වැඩේ නිසා… ඒකයි කියන්නේ.., උදව්වට කෙනෙක් ගන්න…. උදේ ඇවිල්ලා හවස යන්න හරි කාවහරි හොයාගන්න… “

නිශංකා කෝපයෙන් කෑ ගහන්න ගත්තා. ඉශංකා ට දරුවෝ නැති නිසා ඒ ඉරිසියාවෙන් තමන්ගේ දරුවොන්ට සාප කරනවා කිය කියා ඇඬුවා. ඉශංකා නිශංකා ගේ ඒ රඟපෑම බලාගෙන හිටියේ පිළිකුළෙන්.

“තව හය්යෙන් කෑ ගැහුවත් මට කියන්න තියෙන්නේ එච්චරයි …  අම්මාලා අපි වෙනුවෙන් ඇතිවෙන්න නැහුණා.. දැන් ආයේ අපේ දරුවෝ වෙනුවෙනුත් එහෙමම නැහෙන්න ඕනි නෑ කියන එක ඔයාට තේරන්න ඕනි… අම්මලාට සැනසීමෙන් , එයාලා ආස විදියට ටිකක් ජීවත්වෙන්න දෙන්න ඕනි නංගී … ඔයා ඔය කරන්නේ අම්මාව හිර කරනවා වගේ වැඩක්…. අම්මාට ඉස්පාසුවක් තියෙන වෙලාවට ඇවිල්ලා පොඩි දෙන්නා බලා කියාගන්න එක වෙනයි.. ඔයා මේ කරන වැඩේ වෙනයි ..  මල්ලිත් කැමති නම් ඇයි ඔය වැඩට කෙනෙක් නොගන්නේ..?”

ඉශංකා ඉවසීමෙන් පැහැදිලි කරනකොට නම් නිශංකා මෙල්ල වුණා. 

“අම්මා ඉන්නේ පැයේ දුරනේ.. අනෙක මල්ලිට යමින් ගමන් අම්මව එක්ක එන්න යන්නත් පුලුවන් හයිවේ යනවා නම්…  එතකොට තාත්තාටත් පාලුවක් නෑ… ඔයාට විකෙන්ඩ් අතෑරෙන්නම බැරි වැඩ තියෙනවා නම් කියන්න . තිසරලෑ අම්මත් කිව්වා සති අන්තේ ඒගොල්ලෝ ලොකු අය්යලෑ ගෙදර යන නිසා ඕනි වෙලාවක් ආවොත් පොඩි දෙන්න  බලාගන්න උදව්වක් දෙන්නම් කියලා …. ඔයාගේ මේ හිතුවක්කාර කම් වලට තරහ නිසාමයි මං වගක් නැතුව හිටියේ….. අම්මලට මෙහෙම වද දෙන එක පව් හලෝ…”

“අනෙක, මේ පොඩි උන් දෙන්නටට මං සාප කරනවා කියලානේ කිව්වේ.. ඒකට උත්තර දෙන්නේ නෑ මම. කල්පනා කරලා බලනවකෝ මං එහෙම කරනවද කියලා …”

එහෙම කියලා ඉශංකා කුස්සියට ගියා. 

ඊළඟ සතියේ නිශංකා අම්මව ගෙදරින් බස්සවගෙනම ඉශංකලාගේ ගෙදර ආවා. 

“මෙයා ආන්ටිලා දෙන්නෙක් හොයාගෙන. .. අක්කයි නංගියි දෙන්නෙක්.. දෙන්නාගෙම හස්බන්ඩ් ලා නැති වෙලා..දරුවෝ බැඳලාලු… ඉතින් ඒ දෙන්නට කෑම බීම එක්ක තිහක් ඇති කිව්වා… මෙයා කියලා තිස්පහක්ම දෙන්නම් කියලා …. උයලා පිහලා ඒ වැඩ ටිකත් කරගන්න පුලුවන් වේවි කිව්ව අක්කේ…”

නිශංකා එහෙම කියනකොට තිසර ඉශංකාට හිනා වුණා.

“දැන් හරිනේ ඉතින් …”

“අම්මා කිව්වා පෝය නිවාඩුවෙන් පස්සේ දවසක් දෙකක් සතියට එන්නම් කියලා .. අර දෙන්නාට වැඩ ටික හුරු වෙනකල් අම්මා ඉන්නම් කිව්වා.. තාත්තා නා කියන්නේම සතියම ඉඳලා සති අන්තේ එන්න කියලා .. මං කිව්වා එහෙම ඕනි නෑ කියලා …”

“අම්මලට නිදහසේ ඉන්න දෙමු ඕයි… එහෙම කරන්න.. අම්මාව ඇරලවගෙන යන්න පුලුවන් නෙහ් මල්ලිට…”

“ඔව්…. අපි අද මෙහෙ…”

පහුවෙනිදා යන්න පිටත් වෙනකොට ඉශංකා බැංකු ගිණුම් දෙකක් නිශංකාගේ අතේ තිව්වා.

ලක්ශ තුන  හමාරක් ගානේ දාපු ගිණුම් දෙකක්.

“හැම මාසේම මං කීයක් හරි දානවා… ඔය අර පහළ පොල් ඉඩම විකුණපු සල්ලි වලින් දැම්මේ… “

නිශංකා අක්කව බඳාගත්තා.  පොඩි කාලේ අක්කගේ රැකවරණය අඩු නැතිව දැනෙන්න ගත්තා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles