මන්දාරා නුවරින් බස් එකට නැගලා කවුළුවක් ළඟ අසුනක්ම අල්ලගෙන වාඩි වුණා. දැන් කඩවතට යනකල්ම නිස්කාංසුවේ යන්න පුලුවන් කියලා හිතාගෙන හෙඩ් සෙට් දෙකත් පැළඳගත්තා. ගමනාන්තයට ටිකට්පත් මිලයට ගත්තාට පස්සේ , මන්දාරා ඇස් පියාගෙන අසුනේ පිටිපස්සට හේත්තු වුණා. එහා පැත්තේ ඉදගත්තේ තරුණයාත් මන්දාරා වගේම හෙඩ් සෙට් පැළඳ්ගෙන ඔහුගේ ලෝකයකට ගිය සූදානම ඇස් අග්ගිසෙන් දැක්ක නිසා මන්දාරාට කලබලයක් තිබුණේම නැහැ.
විනාඩි පහළොවක් යන්න වුණේ නැහැ.
“මල්ලී….. මට ශීට් එක දෙන්න…”
මහ හඬින් එහෙම ඇහෙනකොට මන්දාරාත් ඇස් ඇරලා බැලුවා. අත් බෑගයක් කරේ දාගත්ත වයස හතලිහක විතර කාන්තාවක් හිටගෙන ඉන්නවා. මන්දාරාට ඇහුණට අර තරුණයාට ඇහිලා නැහැ වගේ. වේලාසනම ටව්න් එකට ඇවිල්ලා ශීට් එකක් අල්ලගත්තාම ගමන පටන් ගත්ත ගමන් මෙහෙම ඇහෙන එක කොහොමටත් ප්‍රසන්න හැඟීමක් නෙවෙයි.
“මේ… මගේ මේ කකුල් අමාරුවක්…පොඩ්ඩක් වාඩි වෙන්න දෙන්නකෝ…”
ඒ පාර ඒ කාන්තාව අර තරුණයාගේ උරහිසට තට්ටු කරා. ඔහු ගැස්සිලා අවදි වෙනවා මන්දාරා දැක්කා. කිසිම දෙයක් ඇහිලා නැතුව ඇති කියලා මන්දාරා ට හිතුණේ ඔහු වටපිට බලපු විදියෙන්
“ශීට් එක දෙන්නකෝ මල්ලී…”
අර කාන්තාව නොරිස්සුම් බවක් පෙන්නගෙනම කියනවා පෙනෙද්දි මන්දාරට පුදුමාකාර තරහක් ආවා. ඒත් ඒ ගැන අහන්නත් කලින්ම අර තරුණයා දඩිබිඩියේ නැගිටලා ඒ කාන්තාවට අසුණ දුන්නා. උකුලේ තිබුණ ලැප් බෑග් එක කරේ හරහට දාගෙන, අනෙක් බෑග් එක වදෙන් පොරෙන් උඩ රැක් එකට දානවත් මන්දාරා බලාගෙන.
“ශිට් එක දෙන්නවෙයි කියලා මේ පිරිමි බස් එකට නැග්ග වෙලේ ඉඳන් නිදි… අනේ ඉතින් මුන්ට අම්මලා, ගෑණු නෑ වගේ හැසිරෙන්නේ…”
මන්දාරා ට අප්‍රසන්නම හැඟීමක් හද හදා අර කාන්තාව තනියම කියවනවා. මන්දාරා අර තරුණයා දිහාව බැලුවා. ඔහු ඉන්නේ ඉතා දැඩි වෙහෙසක බව මන්දාරාට පේනවා.
“එන්න… වාඩිවෙන්න…”
මන්දාරා ඔහුට තට්ටුවක් දාලා කතා කරා. ඔහු මන්දාරා දිහාව බැලුවේ ඒ ඇහුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව වගේ. මන්දාරා හිසින් ඔහුට සන් කරන ගමන් අසුනෙන් නැගිට්ටා. ඔහු ඇය දිහාව බැලුවේ පුදුමෙන් වගේ.
“වාඩිවෙන්න…”
ඔහු ඉඳගත්තේ පුදුමය හින්දාම කතා කරගන්න බැරුව වගේ. ඊට පස්සේ මන්දාරාගේ බෑග් එකත් ගත්තා.
“ස්තූතියි…”
ඔහු එහෙම කියලා ඉවර වෙනකොට එහා අසුනේ උන්න කාන්තාව ඒ දෙන්නා දිහාම බෙල්ල හරවා හරවා බැලුවා. මන්දාරා ඇය දිහා බැලුවේ මුහුණේන් කිසිම හැඟීමක්වත් පෙන්නන්නේ නැතුව.
පැය දෙකකට විතර පස්සේ, එක පාරටම ගැස්සිලා ඇහැරිලා අර තරුණයා මන්දාරාට කතා කලා.
“ඔයා ඉඳගන්න…”
“නෑ.. මට මහන්සී නෑ.. ඔයා යමු..”
“කමක් නෑ. එන්න… ටිකක් ඉඳගන්න…”
ලොකු වෙහෙසක් නොතිබුණ නිසාම මන්දාරා ඉඳගත්තේ නැහැ. තරුණයා ආයෙම නින්දට වැටුණා. අර කාන්තාව බිස්කට් කන ගමන් , බීම බෝතලේකුත් බොන ගමන් හරි සැහැල්ලුවෙන් ඇමතුම් ගන්න ගමන් තමයි ගමන අවසන් කලේ.
කඩවතින් බැස්සාට පස්සේ මන්දාරායි , අර නන්නාඳුනන තරුණයයි බස් නැවතුමේ කොනකට වුණා. මන්දාරා ට අමුතු හැඟීමක් දෙන හිනාවක් එක්ක තරුණයා මන්දාරා ඉස්සරහට වුණා.
” ස්තූතියි ..සෑහෙන්නම …”
“ඒක සුළු දෙයක් නේ… අවුලක් නෑ….”
මන්දාරාට ඒ ඇස් වලින් නම් ලේසියකට ගැලවෙන්න ලැබුණේ නැහැ.
“මම දවස් හතරක් නිදි නෑ.. අපේ අම්මාගේ ඔපරේෂන් එකක් තිබුණා පේරාදෙණියේ… ඊයේ අම්මාව වෝර්ඩ් දැම්මේ.. අද අක්කා අම්මා ළඟ… මම අද ඔෆිස් එකට රිපෝර්ට් කරන්න යන ගමන්…
ස්ටෑන්ඩ් එකටම ඇවිල්ලා බස් එකට නැග්ගේ නින්දක් දාන් යන්න ඕනි නිසා… අදත් ෆුල් නයිට් එකක් අදින්න තියෙනවා …. කොහෙද ඉතින් …”
කාලෙක ඉඳන් දන්න කෙනෙක්ට විස්තර කරනවා වගේ ඒ තරුණයා මන්දාරට කිව්වා. මන්දාරා හිස සැලුවා විතරයි.
“එවෙලේ ඉතින් කොල්ලෙක් ට ශීට් එක දෙන්න හිතෙන්නේ නෑ ලේසියෙන් කෙනෙක්ට.. ඒ උනාට මම මාරම ටයර්ඩ් හිටියේ .. ඔයා සෑහෙන්නම අන්ඩර්ස්ටෑන්ඩින් මනුස්සයෙක්…”
මන්දරා ආයෙම හිනාවුණා. සමනල්ලු පියාඹන හැඟීමකුත් දැනෙනවා. මන්දාරා වටපිට බැලුවා.
“එනිවේ…ඔයාට පරක්කුද ?”
“ඕ.. මේ…මම යන්න ඕනි…”
දැනෙමින් තිබුණ අපහසුව හංගගන්න මන්දාරා සෑහෙන්නම උත්සාහ කලා. මෙච්චරක් ඇස් ඇලවිල්ලක්…..,
“මම අයේශ්මන්ත… ඩයලොග් එකේ නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක්… මේං නම්බර් එක… මැසේජ් එකක් දාන්න… “
මන්දාරා හිනා වුණා. ආයෙම වතාවක් ස්තූති කරලා යන්න හැරුණ අයේශ්මන්ත ආපහු හැරුණා.
“අවුලක් නෑ නම් හොයාගන්න පුලුවන් විදියකට නම කියනවද? මට හිතෙනන්නේ නෑ ඔයා ඔය නම්බර් එකට මැසේජ් එකක් දාවි කියලා …”
මන්දාරා ඒකටත් හිනා වුණා.
“ෆේස්බුක් ?”
“මන්දාරා සමරවීර…”
අයේශ්මන්ත හිනා වෙලා ආපහු හැරුණා. මන්දාරා පික් මී ත්‍රීරෝද රියක් වෙන් කරන්න අන්තර්ජාලයට එබුණා.
ෆේස්බුක් මිතුරු ඇරයුමක් ආව හඬ ඇහුණා.
“අයේශ්මන්ත සිරිවර්ධන ..”
මන්දාරාට ආව හිනව දෙතොල් අග්ගිස්සෙන් දෙපැත්තටම වැගිරෙන්න ඇති. හිතට දැනුණ නොසන්සුන්කම නිසා ආයෙම වටපිට බැලුවා.
අර කාන්තාව උනන්දුවෙන් තමන්ගේ දිහා බල බලා යම හැටි මන්දාරා දැක්ක.
“Facebook request accepted.”