” මගේ සපත්තු දෙක පොලිශ් කරලා නෑනේ සඳමාලි …”
උදේ පාන්දරම චතුර උළු උඩ යන්න කෑ ගහනවා. ඊයේ වැඩ ඉවර කරලා ගෙදර එනකොට හයයි. චතුරගේ අක්කලාට පිරිත් ගෙදරක යන්න වෙලා කියලා දරුවෝ දෙන්නම අපේ ගෙදර දාලා යන්න ඒ දෙන්නා එනකොට හය හමාරයි. මම එතකොට තේක බීලා ඉවර කරා විතරයි. චතුර ගෙදර එනකල් පොඩි දෙන්නා දිහාවෙන් ඇස් පිටට ගන්න විදියක් තිබුණේ නෑ. ඒ හින්දාම උයන්න පටන් ගන්නකොට අටයි. උයපු රස්නෙන්ම පොඩි දෙන්නට කවලා ඒ දෙන්නවා සෝදලා නිදි කරවලා ඉවර වෙනකොට දහයට කිට්ටුයි.
නවයහමාරේ ඉඳන් චතුර බඩගිනියි කියලා චුරු චුරු ගඟ හිටියේ. බත් බෙදාගෙන කන්න කියලා දෙතුන් වතාවක්ම කිව්වත් ඒ කලේත් නෑ. දරුවෝ දෙන්නා නිදාගත්තාම, චතුර එක්ක කෑවේ. කන මඟඳි ජාති මදි කියලා සොසේජස් ෆ්‍රයි කරන්නත් වුණා.
කුස්සිය අස් කරලා, පොඩි දෙන්නා හැඩි කරපුවා අස් කරලා ඉවර වෙනකොටමයි අක්කලා ආවේ.
“පිරිත් ගෙදර ගියාට මොකද බඩගින්නේ බෑ… කෑවේ අටට නෙහ්හ්.. “
අක්කා කිව්වේම තේකක් හරි බොන්න බලාගෙන කියලා දන්න නිසා, කට්ටියටම කෝප් හදලා සැන්ඩ්විච් හදන්න වුණා. අක්කා ගියේ ඉතුරු සැන්ඩ්විච් ටිකත් ඔතාගෙන. නිදාගන්නකොට එකයි.
ආයේ තුනට ඇහැරුණා. බ්ලොග් එකට යවන්න ආර්ටිකල් දෙකක් ලියන්න තිබුණා. ඒ දෙක ලියලා ඉවර වෙනකොට පහයි. ඊට පස්සේ මේ උයන ගමන්.
මම ඔච්චර සුමයක් කරනකල් චතුර කලේ සෙටියේ හාන්සි වෙලා ෆෝන් එක් ඔබපු එක. එහෙම නැත්නම් ටීවී එක බලපු එක. ඒ වෙලත් උදේ මෙහෙම කෑ ගහන්නේ. .
මම චතුරව නෑහුණ ගානට හිටියා. ඊළඟට ගිගිරුම ඇහුණේ කන පාමුලින්.
“ඒ මේක පොලිශ් කරලා නෑනේ ..”
“ඊයේ මහන්සියට නින්ද ගියානේ ඉතින් .. ඕක පොලිශ් කරගන්නකෝ.. තවම චිකන් එක හැදුවෙත් නෑ.. මටත් අද පරක්කු වෙන්න බෑ……”
මං එහෙම කිව්වත් හරි, චතුර පරළ වෙලා වගේ කෑ ගහන්න ගත්තා. ඔෆිස් එකේ අනෙක් යාලුවන්ගේ නෝනලා කරම හැටියි, මල්ලිගේ නෝනා කරන හැටියි ඔක්කොම එක හැල්ලට කියවනවා. වැඩේ පැත්තකට තියලා මම සපත්තු පොලිශ් කරන්න යනකොට බැණ බැණම චතුර සපත්තු පොලිශ් කරගන්නවා. මම සද්ද නැතුව ආපහු හැරුණා.
ඔෆිස් ගියත් හිතේ වැඩ කලේම චතුරගේ ඇණුම්පද. චතුර ගේ මල්ලිගේ බිරිඳ විවාහ වෙනකොටම රැකියාවෙන් ඉවත් වුනා. ඉතින් ඒ නිසා එයාට ගෙදර වැඩ වලට ඕනි තරම් වෙලාව තියෙනවා. අනෙක ඒ ගෙදර උයන්න උදව්වට කෙනෙක් උදේ හවස යනවා එනවාත් එක්ක. එහෙම මිනිස්සු එක්ක මාව සසඳන එක මට පුදුම වේදනාවක් වුණා.
ඒ නිසාම දවල් කන වෙලාවේ සමන්මලි අක්කා එක්ක හිතේ වේදනාව කියන්න මං තීරණය කළා.සමන්මලි අක්කා මම කියන දේ අහගෙන හිටියේ කිසිම දෙයක් නොකියා.
“මේ සති අන්තේත් අල්ලලා උඹ අසනීපෙන් ඇඳටම වැටෙන්න…”
සමන්මලී අක්කා එහෙම කිව්වට මට එකපාරටම හිතාගන්න බැරිව ගියා. කොහොමහරි එදා හවස අපි ශෝර්ට්ලීව් එකක් දැම්මා. සමන්මලි අක්කා මාව එක්කන් ගෙදර ආවා. ඒ එන මඟ සමන්මලි අක්කගේ යාලු වෛද්‍යවරයෙක් මුණගැහිලා විටමින් වර්ගෙකුයි, යකඩ පෙතියි ලියවගත්තා. මට ඇඳෙන් බහින්නේ නැතුවම ඉන්න කියලා සමන්මලි අක්කත් කියව කියව හිටියා.
ඒ ඉඳලා චතුර ගෙදර එන වෙලාවට කිට්ටු කරලා කැඳ එකක් හදලා ඒක මට පොවන්න ගත්තා. ගෙදර එනකොට සමන්මලි අක්කා මට කැඳ පොව පොවා ඉන්නවා දැකලා චතුර ගේ ඇස් උඩ ගියා. හරියට කලබල වුණා.
සමන්මලි අක්කව පැත්තකට වෙන්න කියලා මගේ ළඟ ඉඳගත්තා.
“එකපාරටම වෙව්ලන්න වගේ අරගෙන වැටුණේ.. අපි එහෙම ඉස්පිරිතාලෙ අරන් ගියා … ඇඟ දුර්වලයි කිව්වා.. විටමින් එකක් එහෙම දුන්නා… ටිකක් විවේක ගන්න කියලා කිව්වේ…”
මම ඇස් පියාගෙන සමන්මලි අක්කා කියපුවා අහගෙන හිටියා.චතුර හොඳටම බය වෙලා උන්නේ.
ඊට පස්සේ සමන්මලි අක්කා ගියා. චතුර මට ඇඳෙන් බහින්න එපා කියලා කාමරෙන් ගියා.
“දැන් ඉතින් කෑම ඕර්ඩර් කරාවි…”
මං එහෙම හිතලා ඇස් දෙක පියාගත්තා. සමන්මලි අක්කා කිව්වට අද මෙහෙම ඉන්නවා. සති අන්තෙත් මෙහෙම හිටියොත් එහෙම සඳුදා වෙනකොට කඩවල් වලට සල්ලි පූජ කරලා ඉවරයක් නැති වේවි.
“සඳා… නැගිටින්න .. මම චිකන් එකක් හැදුවා.. පාන් ටෝස්ට් කලා… කාල බෙහෙත් බොමු…”
ඒ හීනයක් කියලා හිතලා මම කලේ තව ගුලි වුණ එක. ඒත් මාව උස්සලා වගේ ඇහැරෙව්වා.
මට අදහාගන්න ,බැරි උනා. ඇස් වලට කඳුලුත් උනනවා.
“සැර වැඩිද? .. පිරිය එන්න ඕනි නිසා මම සැරට හැදුවේ…”
චතුර එහෙමත් කියනවා.
“රසම රසයි … “
මං ඇඬේවි බයට එහෙම කියලා ඇස් පියාගත්තා.
“සැලඩ් එකට අයිස් ක්‍රීම් දැම්මේ නෑ….”
විනාඩියක් යන්න කලින් චතුර ආයෙම කාමරෙන් මතුවෙනවා. දැන් නම් මට මේ මවාපෑම කරන්න බෑ. මම නැගිටින්න හැදුවා.
“ඔයා කාලා ඉමු… යං…”
“මේ ..ගුටි නොකා ඇඳට වෙනවා .. මේක කාලා ඉන්න… මං කන්නම් ඊට පස්සේ…”
ලොකු සැලඩ් කෝප්පේම කවනකල් චතුර කලේ එයාලා කැම්පස් යන කාලේ කැම්පස් එකේ පළතුරු ගස් වලින් හොරෙන් පළතුරු කඩපුවා. බඩ පිරුනට වඩා සතුටුයි ඒ විස්තර අහනකොට.
ඊට පස්සේ චතුර මට පේන මානෙටම ඇවිල්ලා කෑවා. නාන කාමරේ ට මම යනකල් පස්සෙන් ඇවිල්ලා ඇතුලට එනකොට මම එහෙම නොකරන්න බැල්මක් එක්කයි බැලුවේ.
“අනේ.. මේ…මම නොදැකපුවා නේ.. ඩොක්ටර් කිව්වලුනේ ඇවිදින්නවත් එපා කියලා …”
මට චතුරගේ මේ ආදරණීය සැලකීම් දරාගන්න එක ලේසි නැති බව එක පැත්තකින් වැටහෙද්දී, අනෙක් පැත්තෙන් හිතෙනවා චතුර එක්ක ජීවිතේ බෙදෙනවා නම් කොච්චරක් සැහැල්ලුද කියලා.
උදේ මට ඇහැරුණේ චතුර තේ බොන්න කතා කලාම. එයා කඩල තම්බලා. කට්ට සම්බලයකුත් හදලා.
“මට උදේ ඔෆිස් එකට දුවලා එන්න වෙනවා.. මම පැයෙන් එනවා.. මං සැන්ඩ්විච් හැදුවා..මෙන්න …ඒක… තිබහ ආවොත් කෝපි එක මෙන්න බෝතලේ..ඇඳෙන් බහින්නේ නෑ හරිද?..”
චතුරගේ කාරෙක යන සද්දේ ඇහුණ ගමන් මම කලේ සමන්මලි අක්කට ඇමතුමක් අරගෙන විස්තරේ කීව එක. සමන්මලි අක්කා කීවේම මේ දවස් දෙකේම රඟපෑම කරන්න කියලා.
මගේ හිත කොච්චරක් රිදෙනවා වුණත් ඒ දවස් දෙක එහෙම ගෙවන්න මම තීරණය කලා
චතුර එකොළහ වෙනකොටම ගෙදර ආවා. පතෝලයි පරිප්පුයි එකට දාලා කිරට හදලා,
ඉස්සෝ කෑලි කපලා ඒකට තක්කාලි, ලූණු, මාලු මිරිස් දාලා ලොකුවට සුදු ළූණු එහෙම තලලා දාලා තෙම්පරාදු කරලා, පොල් සම්බෝලක් කොටලා කැකුළු බත් එක්ක දවල්ට උයාලා කවනකොට නම් මට නාඬා ඉන්න බැරි වුණා.
“ඔයා කොහොමද මෙහෙම රසට උයන්නේ ?
මම අඬ අඬා ඇහුවා.
“නාඩගමක්නේ … රසට උයනවා නම් හැමදාම උයවගෙන කන්නේ නැතුව අඬන්නේ මොකටද ?…”
චතුර ඒ අස්සේ සරදම් බස් කියනවා. එදා හවස් වරුවම, ඊළඟ දවසම චතුර මට ඇඳෙන් බහින්න දුන්නේ නෑ. ඉරිදා රෑ එයාගේ හිතවත් වෛද්‍යවරයෙක් ට ඇමතුමක් අරගෙන කතා කරනවාත් ඇහුණා.
“හෙටට නිවාඩුවක් දාමු. හෙටත් රෙස්ට් කරාම හරි…”
මට ඒ යෝජනාව ඉක්මවලා යන්නත් බැරි වුණා.
අඟහරුවාදා උදේ මං ඇහැරිලා එහෙ මෙහෙ වෙවී ඉන්නකොට චතුරත් ඇහැරිලා ආවා. එහෙන් මෙහෙන් දැවටි දැවටි හිටියා. අපි දෙන්නටම අඳින්න ඇඳුම් අයන් කරන වැඩෙත් කරලා. මම ලෑස්ති වෙලා එනකොට එයා කෑම බෙදලා.
හවස ගෙදර ආවමත් එහෙමයි. රෙදි නවන වැඩ, මොප් කරන වැඩ මට ඉතිරි වුනේ සමහර දවස්වලට
“සඳා මෙච්චර හරියක් කොහොම කරාද මන්දා ඕයි… වෙලාවකට මාර ගිල්ටි … බර්ත්ඩේ එකට මම කණ්ඩලමේ බුකින් එකක් දැම්මා.. මේ අවුරුදු දෙක තුනට දුන්න වද වලට සමාවෙන්න කියන්නෝනි එදාට…”
දවසක් රෑ චතුර මස්සිනා එක්ක සප්පායම් වෙවී ඉන්නකොට එහෙම කියනවා ඇහුණම නම් මගේ කඳුළු නැවතුණේ නැහැ.
සමන්මලී අක්කා හරි, සමහර දේවල් තේරුම් ගන්නේ නෑ. තේරුම් කරන්නම වෙනවා…!!!
| අපේක්ෂා ගුණරත්න |