ආදරයේ අවුරුද්ද

රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයට සුදුසුකම් ලබපු ලියුම සේවිතාගේ අතට ලැබුණේ පෙබරවාරි  හයවෙනිදා. කෘෂිකර්මය ඉගෙනගන්න, නවීන තාක්ෂණය ගමට ගෙනල්ලා ගමේ කෘෂිකර්ම කටයුතු වෙනුවෙන් උපකාර කරන්න තිබුණ ආශාව නිසාමයි සේවිතා පේරාදෙණිය, රුහුණ සහ රජරට කෘෂිකර්ම පීඨ වල තියෙන උපාධි පාඨමාලා වෙනුවෙන් ඉල්ලුම් කරේ. 

සේව්තා හිතුවේ පේරාදෙණිය ට සුදුසුකම් ලබාවි කියලා. ඒත් සේවිතාගේ ඉසෙඩ් ලකුණු ප්‍රමාණවත් වුණේ රුහුණට. 

සේවිතාගේ අම්මලා නම් පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ සේවිතාව දකුණට යවන්න. දවසක විතර ගමනක් තියෙන දුරකින් සේවිතාව තනි කරන්න අම්මගේ හිතේ තිබුණේම බයක්.

” දැන් හයිවේ තියෙනවා .. අපිට ඉක්මනට යන්න එන්න පුලුවන් අම්මා ..”

සේවිතා හරි විශ්වාසයෙන් අම්මගේ කැමැත්ත ගත්තා. තාත්තා , අය්යා , මාමලා සේවිතාගේ පැත්තේ හිටියේ. 

අය්යගේ යාලුවෙකුගෙන් ඉල්ලගත්ත වෑන් එකකින් සේවිතා මාතරට ආවේ මුළු පවුලම එක්ක. සිංහල වචනයක්වත් නොදන්න විචිකිච්චාව මාතර පහු කරනකොටම සේවිතාට දැනෙන්න නම් පටන් ගත්තා. 

රුහුණේ කෘෂිකර්ම පීඨය තියෙන්නේ කඹුරුපිටියට මෙහා මාපලාන කියන ගමේ. සේවිතාලා වරදගන්නේ නැතුවම පීඨයේ ගේට්ටුව ළඟට ආවා. වාහන අංගනයක් වෙනම තිබුණා. 

දෙවන වසරේ සහෝදර සහෝදරියන් සේවිතා ඇතුළු අලුත් කණ්ඩායම ප්‍රධාන ශාලවට එක්කගෙන ගියා. සල්වාර් එකක් ඇඳලා, කොණ්ඩේ දිගටම ගොතලා, පොට්ටුවකුත් තියලා උන්න සේවිතා කැපිලා පෙනුණා.

“සිංහල තෙරියා ?”

ඇස් හීන්දෑරි, මූණ පුරාම රැවුල වවාගත්ත ඉළන්දාරි අය්යා කෙනෙක් සේවිතාගේ මූණට එබුණේ සේවිතා දෙවන වසරේ අක්කා කෙනෙක් එක්ක යන අතරේදි. සේවිතා ඒ ඇස් වලට ගැස්සුණා. ඒ නිසාම ඇය හිස සැලුවා විතරයි.

“පාඩුවේ ඉන්නකෝ …”

සේවිතාට ඒ සිංහල වචන තේරුණේ නැහැ.  සේවිතා නොසන්සුන්කම හංගගෙන නන්නාඳුනන අක්කාගේ පස්සෙන් ගියා.

එදා පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් දවසම වෙන් කරලා තිබුණා. සංග්‍රහ කටයුතු වෙනුවෙන් අම්මලාත් සහභාගි වුණා.

“යාපනේම මෙහෙනේ…”

සේවිතාට එහෙම කියන්න ආයෙම ඉස්සරහට ආවේ අර හීන්දෑරි ඇස්. 

සේවිතා ගැස්සුණා විතරයි. 

ඒ ඇස් හිනාවෙලා අතුරුදන් වුණා.

තිස් හතර වෙනි කණ්ඩායම වෙනකල්ම මාපලානට යාපනේ පැත්තෙන් කිසිම කෙනෙක් ඇවිල්ලා තිබුණේ නැහැ. සේවිතා තිස් පහේ පලමුවැන්නිය. 

අම්මලා සමුදුන්නා. සේවිතාට තවත් තිදෙනෙක් එක්ක බෙදාගන්න නේවාසිකාගාර කාමරයක් ලැබුණා. ඒ තුන්දෙනාම කොළඹ. හතර දෙනාට තිබුණ සන්නිවේදන ප්‍රශ්න වලට ඉක්මනට විසඳුම් හොයාගන්න හතර දෙනා සමත් වුණා. හීන්දෑරි ඇස් ඉස්සරහ ගැස්සිලා, කලබල වෙලා තිබුණ සේවිතාගේ හිත අලුත් යාලුවෝ ළඟ සන්සුන් වුණා.

එදා රෑ වෙනකල්ම හතර දෙනා කලේ කාමරේ අස් කල එක. 

පහුවෙනිදා ඉඳන්ම දේශන කටයුතු. ඒ අතරේ පැයක් හමාරක් නවක නව්‍යකරණ වැඩසටහන වෙනුවෙන්. 

“පොට්ටු …”

සේවිතාට කාර්ඩ් එකක් වැටුණා. එවෙලේ අර හීන්දෑරි ඇස් සේවිතා ළඟින්ම ඉන්නවා සේවිතා දැක්කා. 

“ඒ අය්යා හැමවෙලේම මගේ කිට්ටුවම ඉන්නවනේ…”

එදා රෑ සේවිතා යාලුවෝ තුන්දෙනාට කිව්වා.

“එයාගේ නම අංජන… කාර්ඩ් එක රාමා… තර්ඩ් ඉයර්… ගෙවල් නුවර…”

සේවිතා වෙනුවෙන් උප්පැන්නෙන් භාගයක්ම විස්තර යාලුවෝ හොයලා තිබුණා. ඒත් සේවිතා හිටියේ ඒ ගැන වගක් නැහැ වගේ. මාස හයක්ම ගෙවුණා. සේවිතාලා පීඨය ඇතුලේ අධ්‍යාපන කටයුතු වල වගේම බාහිර කටයුතු වලත් කාර්‍යබහුල වුණා. අර හීන්දෑරි ඇස් ; හිටපු ගමන් මතුවෙලා අතුරුදන් වුණා. 

“මේ… රාමා අය්යා ඇක්සිඩන්ට් වෙලාලු…”

දවසක් හවස සේවිතාලා නේවාසිකාගාරයට ඇවිල්ලා තේකක් බොන්න ලෑස්ති වෙනකොටමයි එහා කාමරේකින් එහෙම ඇහුණේ. සේවිතා එක්ක යාලුවෝ ඔක්කොම ඒ පැත්තට දිව්වා. 

පීඨය ඉදිරියේදීම ඔවුන් ගමන් කල යතුරු පැදිය බස් රියක ගැටිලා තිබුණා. ආදපාන රෝහලෙන් රාමාව කරාපිටිය මාරු කරලා යවලා. අනෙක් මිතුරාට බරපතල තුවාල කිසිවක් නැහැ. ඒ තොරතුරු ගෙනාවේ සේවිතාලගේ කණ්ඩායම් නායිකාව. 

සේවිතා පාලනයෙන් ඉන්න සෑහෙන්නම උත්සාහ කලා. කාමරය ඇතුලට යනකල්ම සිද්දිය එතරම් කම්පනයක් නොවුණ විදියට දරාගත්තා. ඒත්, මිතුරියන් තිදෙනාට ඉන් එහා සේවිතාගේ හිත රහසක් වුනේ නැහැ.

පහුවෙනිදා උදේම සේවිතා මිතුරියන් එක්ක  කරාපිටිය රෝහලට ගියා. විශේෂ ප්‍රතිකාර ඒකකය ළඟ එළියට වෙලා පැය ගානක් බලාගෙම හිටියා.

“නංගිලා දැන් යන්න.. රෑ වෙනවනේ.. අපි විස්තරයක් බලලා රෙපාට කියන්නම්…”

තුන්වෙනි වසරේ කෙනෙක් සේවිතා ළඟට ඇවිල්ලා කිව්වා.  කියපු දේ යන්තමට වැටහුනා වුනත් සේවිතා මිතුරියන් ට ඉඟි කලේ යන්න නොහැකි බව කියාගෙන. 

” ඇතුලට යන්න බැරිද අය්යේ.? මෙයාට හරි ??”

මිතුරියක් සේවිතා වෙනුවෙන් ඉදිරිපත් වුණා.

අවසානයේ සේවිතා ප්‍රතිකාර ඒකකයට ඇතුළ් වුනා.

සති එක හමාරකින් රාමාව ආයෙම එක්කගෙන ආවේ නේවාසිකාගාරයටමයි. ඒ වෙනකොට ඔහු උන්නේ සෑහෙන්නම සුවෙන්.  නේවාසිකාගාරයට යන්න කලින් මිතුරෝ ඔහුව ආපනශාලාවේ තනි කලා. සේවිතා ඔහු ළඟ හිඳ ගත්තා.

“ඔයා ගෙදර යන්න ඕනි…”

“බැහැ…”

සේවිතා ඔලුව වැනුවා.

“අනිද්දා තෛපොංගල් …”

“කමක් නැහැ….”

රාමාට සේවිතාගේ හිතුවක්කාර තීරණය ඉක්මවා යන්න පුලුවන් වුනේ නැහැ.

ඒත්, තෛපොංගල් දවසට ඉර පායනකොට මාපලාන කෘෂිකර්ම පීඨයෙන් පොංගල් බත් සුවඳ ආවා. සේවිතා වෙනුවෙන් ආදරේ අවුරුද්ද මාපලානට ගේන්න සිව් වසරේම සහෝදරත්වය එකතුවෙලා හිටියේ, රාමාගේ සැලසුම් එක්ක. 

සේවිතා ගේ ඇස් තාරුකා වගේ දිලිසෙනවා. වීඩියෝ ඇමතුමක් අරගෙන අම්මලාට හැමදේම පෙන්නනවා.  දමිළ චාරිත්‍ර අනුව හැමදේම අනෙක් අයට කියලා දෙනවා. 

සේවිතා රාමා ළඟට එනකොට සෑහෙන්නම වෙලා ගිහින්. අනෙක් හැමෝම අතරේ පාවි පාවි ඉන්න නිදහස් කෙල්ල දිහා රාමා ආදරෙන් බලාගෙන හිටියා. 

“ඇත්තමයි. අය්යා….. තෛපොංගල් , ආදරේ අවුරුද්ද තමයි …”

සේවිතා රාමාගේ අතැඟිල්ලක සීරුවට එල්ලුණා.  රාමා හීන්දෑරි ඇස් වල සේවිතාගේ පංගුව සින්නක්කරවම ලියලා දුන්නා.

මාපලාන කෘෂිකර්ම පීඨයට තිස් හතර වැනි කණ්ඩායමට පස්සේ ආදරේ අරන් උතුරේ ඉඳන් ආව හැම කෙල්ලෙක්, කොල්ලෙක්ම වෙනුවෙන් ආදරෙන්. අමාරුවෙන් ගලප ගලපා කතා කරලා, අන්තිමේදී අඬන දවස් වල හිත් හදන්න පවා ළඟට උන්නට ආදරෙන්. නම් නොකියා ඉන්නේ එක නමක්වත් මඟ නොහැරෙන්න. තිස් පස් වැනි කණ්ඩායම වර්ණවත් කලාට ස්තූතියි

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles