“නිශී ඇයි මම කිව්ව එකට අකමැති?”
අනිත් අය ලන්ච් වලට ගියාම හෙමින් සැරේ නිශී ලඟට ආව කේතක එහෙම ඇහුවෙ වටපිට බලන ගමන් කවුරුහරි තමන් දිහා බලාගෙනද ඉන්නෙ කියල කල්පනා කර කර.
දැන් මාස කීපයක තිස්සෙ ඉඳල කේතක ෆුල් ට්‍රයිඑක දෙනව නිශීට තේරුම් කරවන්න තමන්ගෙ හිතේ නිශී ගැන තියෙන දේ. ඒ උනාට නිශී ඉන්නෙ ඒ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ වගේ. එහෙම නැත්තම් තේරුනත් තේරුනේ නෑ වගේ.
කේතක නම් හිතන්නෙ නිශීට තමන්ට අකමැති වෙන්න හේතුවක් නෑ. ගෑණු ඉතින් ශාරුක් කාන් ඇවිල්ල කැමතිද ඇහුවත් ගණන් උස්සන ජාතියනෙ කියලා.
“මොන දේ ගැනද කේතක අහන්නේ?”
නිශි කම්පියුටර් එක දිහා බලාගෙනම තමයි කතාකරේ. බොරුවට නිකන් ඇහුවට නිශී නොදන්නව නෙවෙයි කේතක මේ මොකක් ගැනද අහන්නෙ කියල. ඒ උනාට ඒ මාතෘකාව ගැන තමන්ට කේතක එක්ක තව කතාකරන්න දෙයක් තියෙනව කියල නිශී හිතුවෙ නෑ.
“මම ඔයාට කැමතියි. ඇයි ඔයා ඒකට අකමැති?”
“ඉතින් මම ඔයාට කිව්වනෙ කේතක මට වෙන අෆෙයාර් එකක් තියෙනව කියල.එක්කෙනෙක් ඉද්දි මට ඔයත් එක්ක යාලුවෙන්න විදියක් නෑනෙ. අනික මම අපේ මැරේජ් එකටත් රෙඩි වෙන ගමන් ඉන්නෙ”
නිශී එහෙම කිව්වෙ සුපුරුදු හිනාවෙන් උනාට මොකෝ කේතකට නම් ඒක හිනාවෙලා බාරගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
නිශීට කියන්න තව දෙයක් ඉතුරුවෙලා තිබුනට ලන්ච් ගන්න ගිය කට්ටිය එක්කෙනා දෙන්න ආය එන බව දැකපු හන්දා සද්ද නැතුව තමන්ගෙ ඩෙස්ක් එකට යන්න උනාට කේතක ගියේ නම් එච්චර හිත හොඳින් නෙවේ.
ඔය කතාව ඉවරයි කියල නිශී හිතාගෙන හිටියට ඒක එහෙම ලේසියෙන් ඉවර කරන්න කේතක හිතාගෙන ඉඳල නැති බව නිශී තේරුම් ගත්තෙත් ටික දවසක් ගියාට පස්සෙ.
දවසක් දවල් වරුවෙ එයාලගෙ ඩිපාට්මන්ට් හෙඩ් නිශීට එන්න කිව්වා.
“ඇයි මැඩම් මට එන්න කිව්වේ?”
“වාඩිවෙන්නකො නිශී මම ඇත්තටම කතා කරේ ඔෆිස් එකේ වැඩකට නෙවෙයි. ඔෆිස් එකටත් රිලේට් වෙන පොඩි පර්සනල් දෙයක් කතා කරන්න”
“ඔව් මැඩම්”
“නිශීගෙ හිතේ කේතක ගැන මොකක් හරි අදහසක් තියෙනවද?”
මැඩම් එහෙම ඇහුවම නිශී අන්දුන් කුන්දුන් උනා. ඇත්තටම මැඩම් අහන්න ඕන ඒ ප්‍රශ්නෙ අනිත් පැත්ත උනත් ඇහුවෙ වෙන දෙයක්නේ.
“ඇයි මැඩම් එහෙම ඇහුවෙ?”
“මට කම්ප්ලේන් එකක් ඇවිල්ල තියෙනව නිශී වැඩ කරන අතරවාරෙ කේතක දිහාම බලාගෙන ඉන්නව කියල. ඒ ලමයට ටිකක් ඒක කරදරයක්ලු.
අපිට ලස්සන බෝයිස්ල දැක්කම හිත යනව. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඒ උනාට ඉතින් ඔෆිස් ස්පේස් එකක අපිට ඒ වගේ තව එම්ප්ලොයි කෙනෙක්ට කරදරයක් වෙන දේකට ඉඩ දෙන්න බෑනෙ නිශී නේද?”
මැඩම් ඒ කතාව කරාට පස්සෙ නිශී ඔෆිස් රූම් එකෙන් එලියට ආවෙ බොහොම අමාරුවෙන් කඳුලු හිත අස්සෙම හිරකරගෙන. ඒ උනාට නිශීව පිලිගන්නත් එලියෙ බලාගෙන ඉඳපු අය කීපදෙනෙක්ම ඉඳියා.
“අනේ මන්ද බං තමන්ට කොල්ලෙක් ඉද්දි තව කොල්ලො දිහා ඔහොම බලන් ඉන්නවද?මම හිතන්නෙ නම් මානසික ලෙඩක්”
“මාත් අහල තියෙනව ඒ වගේ මෙන්ටල් ඉශූස් තියෙනව කියල. මට මතක නෑ අප්පා ඒ ලෙඩේට කියන නම”
ගෑණු විතරක් නෙවෙයි ඉතින් පද හදන්න එතෙන්ට පිරිමිත් එක්කහු වෙලා ඉඳියෙ. කතාවෙ මුල් පුටුව අරගෙන තිබුනෙ කේතක.
“මට මාර බය හිතුන බං මුලින් එහෙම බලාගෙනම ඉද්දි. පිස්සුවක්නේ”
මේ හැම කතාවක ඇහෙද්දි නිශී හිතුවෙ ඇත්තටම තමන් එහෙම කේතක දිහා බලාගෙන ඉන්නවද කියල. එයා මුලින් ට්‍රයි කරා තමන් විසින්ම එහෙම බලාගෙන ඉන්නවද කියල තේරුම් ගන්න. ඒ උනාට ඒකෙන් උනේ තවත් එයාව ඔෆිස් එකේ අය “මානසික ලෙඩෙක්” කියල ලේබල් කරපු එක විතරයි.
කරන්න දෙයක් නැතිම තැන නිශී කවුන්සලින් වලට තුන් හතරදෙනෙක් ළඟටම් ගියා. ඒත් ඒ හැම කෙනෙක්ම කිව්වේ “නිශී ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා ලඟ නෙවෙයි. ඔයාගෙ ඔෆිස් එකේ අය ළඟ. ඔයාට කිසිම මෙන්ටල් ඉශූ එකක් නෑ” කියල. ඒ උනාට ඔෆිස් එකේ මිනිස්සු කියන කතා ඇහෙද්දි නිශීට ඒ කවුරුවත් කියන කිසිම දෙයක් එක හිතකින් පිලිගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
ඒ විදියට තමයි එයා මගෙ ලඟට ආවෙ. මම එයාගෙ හතරවෙනි හෝ පස්වෙනි කවුන්සලර්. මම මුලින්ම කරේ ප්‍රශ්නෙ වෙච්ච විදිය ගැන නිශීගෙන්ම අහපු එක.
“ඒ බෝයි මගෙන් කැමතිද ඇහුවම මම පලවෙනි පාරම බෑ කිව්ව. මොකද මට හොඳ අෆෙයාර් එකක් තියෙනව. අපි මැරේජ් එකටත් රෙඩි වෙන ගමන් හිටියෙ. මට එහෙම වෙන කෙනෙක් එක්ක යාලුවෙන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.
මට හිතාගන්න බෑ එයා ඒ හැමදේම වෙනස් කරල ඔෆිස් එකේ අයට මෙහෙම බොරු කිව්වෙ ඇයි කියල. මම එහෙම එයා දිහා බලාගෙන හිටියෙ නෑ. මට එහෙම බලන් ඉන්න හේතුවක් තිබුනෙ නෑ.එහෙම එකේ අර වගේ කතාවක් ඇහුනම මට ඇත්තටම මානසික ලෙඩක් තියෙනවද කියල හිතෙන එකේ වරදක් නෑ නේද?
මට මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක මේව කියන්න බෑ මැඩම්. අපි දෙන්නම වෙඩින් එකට රෙඩි වෙන ගමන් ඉන්නෙ. කොහොමද කියන්නකො මෙහෙම දෙයක් කියන්නෙ.මගෙ ඔලුවට හරි කරදරයි. මට හරි ලැජ්ජයි ඔෆිස් එකේ අයගෙ මූන බලන්න. කොටින්ම මම වෙන ඩිවිශන් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලුව. ඒ උනාට ඔය කතා පැතිරෙන්නෙ නැත්තෙ නෑනෙ”
ලංකාව තාමත් තියෙන්නෙ සියලුම මානසික රෝග “පිස්සුවක්” කියල හිතන් ඉන්න තැනක. මානසික රෝග කියන්නෙත් තවත් එක් සාමාන්‍ය රෝග වර්ගයක් කියල තේරුම්ගන්න තරම් අපි දියුණු වෙලා නැහැ තවමත්. මේකටත් වඩා බරපතල ගැටලුව අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න ඇතැම් කරුණු වලින් “අරයට තියෙන්නෙ මානසික ලෙඩක්, මෙයාට තියෙන්නෙ මේ මානසික ලෙඩේ” කියල ලේබල් කරන්න තරම් අපේ මිනිස්සු දරුණු වෙලා ඉන්න එක.
සමහර වෙලාවට කෙනෙකුගේ සාමාන්‍ය හැසිරීමක් වුනත් අපි “මෙයාට මානසික ප්‍රශ්නයක් තියෙනව” කියල ලේබල් ගහන තැනකට ඇවිත් තියෙනව. මේ ලේබල් ගැසීම කෙනෙකුගෙ ජීවිතයට මොනතරම් නපුරු විදියට බලපානවද කියන ප්‍රශ්නෙ අපි කවදාවත් හිතල නෑ.
මානසික ලෙඩක් කියන්නෙ කිසිම වෙලාවක කෙනෙකුව ලේබල් කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේම තමයි කෙනෙකුට මානසික ගැටලුවක් තියෙනවද කියල තීරණය ගන්න පුලුවන් ඒ පිලිබඳව මනා හැදෑරීමක් කල අයෙක්ට විතරයි. ඒ පිලිබඳ ඉගෙන ගත්ත, වැටහිමක් තියෙන, පලපුරුද්ද තියෙන, සුදුසුකම් ලැබූ කෙනෙක්ට විතරයි.
කෙනෙකුගෙ හැසිරීම් රටාවක් බලල එයාට මානසික ප්‍රශ්නයක් තියෙන බවවත්, කල යුතු දේ මොකද්ද කියන එක ගැනවත් තීන්දු තීරණ ගන්න සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න බැහැ. එහෙම කරන්න අයිතියකුත් අපිට නැහැ.
ඉතින් අපි හොඳින්ම මතක තබාගතයුතු කාරණාවක් මෙතන තියෙනවා. ඒ තමයි කෙනෙක්ව ලේබල් කරන්න කලින්, කෙනෙක්ව හංවඩු ගහන්න කලින් හොඳින් හිතන්න “එහෙම කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද?” කියන එක ගැන.
සමහරවිට අපි වෙන කෙනෙකුට ගහන ලේබල් එකක් ඇත්තටම ඇලවෙන්න ඕන අපේ ඇඟේ වෙන්නත් පුලුවන්!