කසුනි රෑට නොකාම නිදාගත්තා. දිලාන්ගේ හැසිරීම නිසා කසුනි හිටියේ දුකින් වගේම ලැජ්ජාවෙන්. දිලාන් බීමතින් ඇවිල්ලා හැමෝම ඉස්සරහ තමන්ට කෑ ගහපු විදිය තවම කසුනිට මතක් වෙනවා. දිලාන්ගෙන් කවදාවත් එහෙම හැසිරීමක් අත් දැකලා නොතිබුණ නිසාත් කසුනි උන්නේ තෝන්තුවෙන් වගේ. දෙන්නාගේ ගෙවල් වල අය ඉස්සරහ එහෙම අවස්ථාවක් ඇති වුණ එක කසුනිට දරාගන්න පුලුවන් කමක් නැහැ.
“ඕනේ නෑ මට තමුසෙව… යනවා යන්න.. ලැජ්ජ කරා මාව…”
තමන් එහෙම කෑගහද්දී දිලාන් තමන්ට ගහන්න සූදානම් වුණ බව මතක් වෙනකොට කසුනිට තරහකුත් මතුවෙනවා. ඒ මදිවට කේක් එක පෙරළලා දාලා, කෑම මේසෙත් තල්ලු කරලා දිලාන් නැටුවේ වෙනමම නාඩගමක් කියලා මතක් වෙන එක කසුනිට වදයක්.
අම්මයි, අප්පච්චියි, මල්ලියි ආපහු යනකොට මූණු තිබුණේ පුදුමාකාර කෝපයක බවත් කසුනිට මතකයි. ඒත්, ඒ පහු වුණ රාත්‍රිය නිවැරදි කරන විදිය කසුනි දන්නේ නැහැ. හිතාගන්නවත් බැහැ.
කසුනි ඇහැරුණේ දිලාන්ගේ අම්මා කාමරේ දොරට ගහන හඬින්. ගෙදරින් ඈත් වෙලා දිලාන්ගේ ගෙදර ආවත් හරි, අම්මාගේ අඩුවක් නොදැනුනේ දිලාන්ගේ අම්මා නිසා. අසනීප වුන දවස්වලට කවලා පොවලා ඇඳුම් පවා සෝදලා දෙන්න අම්මා දෙපාරක් හිතුවේ නැහැ.
කසුනි දොර ඇරගෙන එලියට ආවා.
“තේ බීලා ඉන්න දුව… ඊයෙත් හිස් බඩට නේහ්…”
කසුනි අම්මා පස්සෙන් කුස්සියට වැටුණා. ඒ යන ගමන් සාලේ දිහා බැලුවා. මුලු සාලෙම අස් කරලා. ඊට පස්සේ කුස්සියට ගියාම මුලු කුස්සියමත් අස් කරලා. කසුනි අම්මාගේ දිහාවට හෙලුවේ අමනාප බැල්මක්
“ඩොක්ටර් කිව්වා නේද අම්මේ මාස තුනක් යනකල් බර වැඩ මුකුත් කරන්න එපා කියලා .. ඇයි මේවා අස් කරේ .”
“මම නෙවෙයි ..දිලාන් අස් කලේ .”
කසුනිගෙන් මූණ ඉවතට හංගගෙන කිව්ව අම්මා කසුනිට තේ කෝප්පයක් දුන්නා. කසුනි ඒකට මුකුත්ම නොකියා තේ එක තොළ ගෑවා
“තාත්තා කෝ අම්මේ ?”
“නංගීට අද සෙමිනා දාලා..ඇරලවලා එන්න ගියා…”
ඒ ගමන්ම දිලාන් ගැනත් විස්තරයක් කියාවි කියලා කසුනි හිතුවත් අම්මා කිසිම දෙයක් කිව්වේ නැහැ. කසුනි ආයෙම ඇහුවෙත් නැහැ. කසුනි මිදුල අතුගාන්න බලනකොට මිදුලත් අතු ගාලා. උදේට ඉඳි ආප්ප ගෙනල්ලා තියලා. කසුනි ඇඟ සෝදගෙන අම්මා එක්ක උදේට කෑවා.
ඊට පස්සේ ජංගම දුරකතනය අතට අරගෙන අන්තර්ජාලය ට සම්බන්ධ වුණා. වට්සැප් පණිවිඩ ගොඩක් අතරින් මල්ලි එවෙලාවෙම එවපු පණිවිඩය විවෘත කලා.
“ඒ.. මෙන්න මස්සිනා කාරයා ඇවිල්ලා අම්මලාට සොරී කියන්න… “
කසුනි දඩිබිඩියේ මල්ලීට ඇමතුමක් ගත්තා. පලවෙනි ඇමතුම විසන්ධි වුණා . මල්ලී ඇමතුමක් ගන්නකල් කසුනි ඉවසගෙන බලාගෙන හිටියා. පැය භාගෙකින් ආයෙම ඇමතුමක් ආවා.
“අක්කේ.. මෙන්න අම්මා…”
මල්ලී කසුනිට එහෙම කිව්වා. ඇමතුමේ ඉන්න අම්මා කියන්න යන දෙයක් ගැන කසුනිට හිතාගන්නවත් පුලුවන් වුණේ නැහැ.
“අම්මා…”
“ඔයා ඇහැරිලාද ලොකූ…”
“ඔව් අම්මා…නැගිට්ටා…”
“ලොකූ… ඊයේ දිලාන් පුතාව ජොබ් එකෙන් අස් කරලා. මොකක්ද මන්දා වංචාවකට විරුද්ධ වුණා කියලා … දිලාන් පුතාට විරුද්ධව ඒගොල්ලෝ විනය පරීක්ෂණයකුත් තියන්නලු යන්නේ… ඒ දරුවා ඒ වෙලාවේ ඉඳන් ඔයාට කෝල් කරලා, මෙහෙ පාර්ටිය සිහියෙන් ඔයාට ෆෝන් එක මිස් වෙන්න ඇති.. අන්තිමේදී වාහනේත් ඔෆිස් එකේම දාලා ගිහින් බීලා තියෙන්නේ… “
කසුනිට ඇඬුණා. අම්මා ඊට පස්සේ කිව්ව කිසිම දෙයක් කසුනිට ඇහුණේ නැහැ. කසුනි දිලාන්ගේ අම්මාව හොයාගෙන දිව්වා. අම්මාව බඳාගෙන අඬන ගමන් හැම දෙයක්ම ආයෙම ඇහුවා.
“දිලාන් කරපු දේ වැරදියි දුව… ඒකෙන් ඔයාලා දෙන්නා අතර ලොකු හිඩැසක් හැදුනා….. ඒත් මේ හිඩැස වහලා දාගන්න. දුව…..”
කසුනි දිලාන්ට ඇමතුමක් ගත්තත්, ජංගම දුරකතනය විසන්ධි වෙලා තිබුණේ. ඇස් රිදෙනකල් මඟ බලාගෙන හිටියා. සැරෙන් සැරේට දිලාන්ගේ හිනාවෙන, ඉඹින ඇස් මතක් වෙලා කසුනිගේ පපුව රිදෙන්න ගත්තා.
දිලාන් ගෙදර ආවේ හවස් වෙලා. ඒ ආවේත් කුලී රථයකින්. ගෙදර කිසිම කෙනෙක්ට මුහුණ නොදී කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තා.
දිලාන් එහෙම කරාවි කියලා නිකමට හිතුණ නිසා කසුනි බැල්කනිය පැත්ත දොර අඟුළු අයින් කරලා තිබුණේ. ඉතින්, එහා කාමරෙන් බැල්කනියට ගිහින් දොර විවෘත කරගෙන කාමරේට ඇතුළු වුණා.
දිලාන් හිටියේ ඇඳේ දිගෑදිලා. කසුනි නිහඬවම ඇඳේ පැත්තකින් වාඩි වුණා. ඒත් ඇය ඉන්න වගක්වත් දිලාන්ට දැනුණේ නැහැ. කසුනි දිලාන්ගේ ඇඟිල්ලක් අග්ගිස්සෙන් අල්ල ගත්තා.
“මට සමාවෙන්න කසූ…”
ඉන් එහා කසුනිට කියන්න කිසිම දෙයක් ඉතුරු නොවීම දෙන්නම වැළඳගෙන විනාඩි ගානක් යනකල් හෙල්ලෙන්නවත් නැතුවම හිටියා.
“මං ආඩම්බරයි ඔයා ගැන… හැම විනය පරීක්ෂණයකට මූණ දෙන්න.. එතකල් ශක්තිමත් වෙලා ඉන්න… ඊට පස්සේ ඔයා වැරදි නැති බව ඔප්පු වේවි ..”
කසුනි දිලාන්ගේ කම්මුල් දෝතින් පුරවගෙන කිව්වා.
“රස්සාවක් හොයාගන්න ලේසි වෙන්නේ නෑ…”
දිලාන් ඊට සෑහෙන්නම වෙලාවකට පස්සේ කිව්වා. රැකියාවක් නැතිව මාසයක් දෙකක් වුනත් ජීවත්වෙන එක ප්‍රශ්නයක් නොවුනත්, ඒකෙන් දිලාන්ගේ මානසිකත්වය බින්දුවෙන් පහලට වැටෙන බව කසුනි දන්නවා.
“මං දෙන්නම් රස්සාවක්..”
කසුනි දිලාන්ගේ ඇස් වලට එබුණා.දිලාන් කසුනි දිහාව බලාගෙන හිටියේ පුදුමෙන්.
“මාත් එක්ක මගේ ප්ලාන්ට් නර්සරි එකේ වැඩ කරමුද ?”
කෘෂිකර්ම උපාධියක් අරගෙන පෞද්ගලික ආයතනයක විධායක තනතුරක් දරන තමන්ගේ ස්වාමිපුරුෂයා ට කසුනි මුල් ඇදපු තැන මතක් කලා.
විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඉඳන්ම හීන දැකපු විදියට කොළ පාට ලෝකෙක ජීවත් වෙන තමන්ගේ බිරිඳගේ යෝජනාවට වඩා එහා යමක් දිලාන්ටත් එවෙලේ පෙනුනේ නැහැ. කොහොමටත් මේ තියෙන ගිණි මැද වෙනත් ආයතන තමන්ව සේවයට බඳවාගන්නේ විවිධාකාර අරමුණු මුදුන්පත් ගන්නටත් එක්කම බව දිලාන්ට වැටහෙනවා.
“මට සමාවෙන්න, මගේ අවධානේ ඔයාගෙන් පිට තිබුණේ.. මම ෆෝන් එක රින්ග් වෙන එක ඒ තරම් හිතුවේ නෑ…මට ඕනි වුණේ ඇනවසරි පාර්ටි එකෙන් ඔයාව පුදුම කරවන්න….”
“ඒකට කමක් නෑ කසු… ඔෆිස් ඇරිලා එහෙමම ගෙදර ආවානම්, මගේ ආතතිය නිවෙන්නත් තිබුණා…”
දිලාන් කසුනි ට හාදුවක් දුන්නා. කසුනි ඒ හාදුවට පෙරළා හාදු දෙකක් දුන්නා.
“කමක් නෑ.. අසිහියෙන් ඉන්නකොටත් ලස්සනයි …”
කසුනි එහෙම කියලා හය්යෙන් හිනා වුණා. ඒ හිනාව අස්සෙන් තියෙන වේදනාව දිලාන්ට පෙනුණත්, ඔහු ඒ වේදනාවේ පැහැය හිතේම හංගගත්තා. ආයේම කිසිම දාක එහෙම අවස්ථා උදා වෙන්න නොදෙන්න හිතා ගත්තා..
| අපේක්ෂා ගුණරත්න |