ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනයට නිවසේදීම කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක්

ඔබේ පොඩිත්තගෙ බුද්ධි වර්ධනයෙන් 70% ක් ඔවුන්ට අවුරුදු තුන සම්පූර්ණ වෙද්දී සෙල්ලම් කිරීමෙන් ඔවුන්ට ලැබෙනව කියල ඔබ දැනන් හිටියද? 

ඔබ හිතනව නම් ඔවුන්ගෙ බුද්ධි වර්ධනය සිදුවෙන්නෙ පොත් කියවීමෙන්, අකුරු ලිවීමෙන් එහෙමත් නැත්නම් කතා කරවීමෙන් පමණක් කියල ඔන්න පොඩ්ඩක් ඉන්න. 

ඔබ සහ ඔබේ දරුව එකතු වෙලා නිවසේදීම කරන, ඔබ සමහරවිට අඩු සැළකිලිමත් බවක් දක්වන සමහර ක්‍රියාකාරකම් සෘජුව සහ ඉක්මනින් ඔබේ දරුවගේ බුද්ධි වර්ධනය කරන්න උපකාරී වෙනව කීවොත් ඔබ විශ්වාස කරනවද? 

එහෙනම් බලන්නකෝ මොනවද මේ සරල නමුත් ඉතාම වැදගත් වටිනා ක්‍රියාකාරකම් මොනවද කියල.  

කණ්ණාඩියෙන් බලන්න

මුලින්ම තවත් පුංචි දරුවෙක් කියල ඔවුන් ඔවුන්ගේම රුව සමඟ සිනහ වෙද්දී, අල්ලන්න උත්සහ කරද්දී, හැංඟිමුත්තන් සෙල්ලම් කරද්දී ඒ පෙනෙන රූපය සමඟ මානසික සහ සාමාජීය සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පටන් ගන්නවා. 

ටික දවසකට පස්සෙ මේ ඉන්නෙ තමන්මයි කියන ඔවුන් පුදුමයට පත්කරන සොයාගැනීම ඔවුන් විසින්ම කරනව. 

තමන් කොහොම කෙනෙක්ද කියන වැටහීම ඔබේ පොඩිත්තට ලැබෙන්න ඒ ලස්සන සුන්දර සහ ඔවුන් පුදුම කරනව රුව කණ්ණාඩියෙන් දකිද්දියි. 

ඒ නිසා කණ්ණාඩියෙන් පේන කෙනා එක්ක හිනාවෙන්න, කතා කරන්න, අල්ලන්න, හැංඟිමුත්තන් කරන්න ඔබේ දරුවව පෙළඹවීම කරන්නම ඕන. 

කෑම කලබල

කෑම කන වෙලාවට ඇඟ පුරාම කෑම ගාගෙන බඩට වඩා කෑම වලින් වැහිල ඉන්න පොඩිත්තෙක් ඔබට ඉන්නවද? 

කමක් නෑ. 

ඔබ දන්නවද කෑම අල්ලද්දී, කෑම පොඩිකරද්දී, කෑම ඇගේ ගාගද්දී සහ කෑම වල සුවඳ දැනෙද්දී ඒවා සොයාබලා ගවේෂණය කිරීමට ඔවුන් ඔවුන්ගේ මොළයේ උදව්ව ලබා ගන්නවා. 

විවිධ රස, සුවඳ, සියුම් සහ රළු බව, තද සහ මෘදු බව සහ ඇලෙන සුළු බව ගැන ඔවුන්ට ලැබෙන මේ වැටහීම මොළයේ වැදගත් ස්නායු මාර්ග ශක්තිමත් කිරීමට උදව් කරනවා. 

බිම ඉන්නවට වඩා උඩ ඉන්න කැමති බබාලා

එක්වරම අතුරුදහන් වුනු ඔබේ පොඩිත්තව ඔබට සොයාගන්න ලැබෙන්න කුස්සියෙ මේසයක් උඩ නැත්නම් මිදුලෙ ගසක අත්තක එල්ලිලා ඉන්නකොට නම් ඔබේ පොඩිත්තගෙ ඒ උත්සහය ඔබව බය කරන්න නම් නෙමෙයි ඔන්න. 

සමබරතාව සහ සම්බන්ධීකරණය පිළිබඳ ඔවුන් අවබෝධය ලබාගන්නෙ මේ උස් තැන් වලට නඟීමට කරන උත්සහයන් වලදීයී. 

උඩට නැඟීමේදී කලින් පය තබාගෙන සිටි  ස්ථානය සෙමින් අතහරින්න කලින් ඊළඟට පය තබන ස්ථානය ගැන හොඳ අවබෝධයක් ඔවුන් ස්වභාවයෙන්ම  ලබාගන්නවා. ඒ මඟින් සම්බන්ධීකරණ පිළිබඳ වැටහීම ඔවුන් ලබාගන්නවා. 

ඒ නිසා ඔබ ලඟ සිටින විට ආරක්ෂාකාරීව සාමාන්‍ය උස් ස්ථානවලට නඟින්න සහ බහින්න ඔබේ දරුවාට අවස්ථාව ලබාදෙන්න අමතක කරන්න එපා. 

බෝල සෙල්ලම්

ඔබේ දරුවාගේ ගණිත, විද්‍යා සහ නිර්මාණාත්මක චින්තනය සඳහා සබන් බෝල සෙල්ලම උපකාරී වන බව ඔබ දැනන් හිටියද? 

අල්ලන විට සබන් බෝල පිපිරෙන බව, සුළඟට එහෙමෙහෙ යන බව, පරිස්සමට ඇල්ලීමෙන් අතට ගැනීමට උත්සහ කිරීම සහ පිඹීම වගේ සියුම් ක්‍රියාකාරකම් සබන් බෝල සමඟ කිරීමට ඔවුන් උත්සහ ගන්නව. 

මේ නිසා ඇස් සහ අත් අතර හොඳ සම්බන්ධයක් ඇතිවෙනවා. 

ඔබට පුළුවන් නම් ආහාර වර්ණක සහ දිළිසෙන ද්‍රව්‍ය සබන් බෝල සෑදීමට මිශ්‍රකර ගන්න. එය වඩා වෙනස් අත්දැකීමක් ඔබේ දරුවාට ලබාදෙන්න උපකාරී වීම අනිවාර්යයි. 

පින්සල් පැත්‍තක තියල ඇඟිලි වලින් චිත්‍ර අඳින බබාලා

පින්සල් අල්ලනවට වඩා ඇඟිලි වලින් මුළු ඇඟම පාට කරගන්න ගමන් චිත්‍ර අඳින බබාල දැකල ඇතිනෙ.

ඇඟිලි තුඩු වලට දැනෙන සංවේදනය වැඩි කරන්න ඇඟිලි වලින් පාට මිශ්‍ර කරමින් චිත්‍ර ඇඳීමෙන් සහ කඩදාසිය, බිත්තිය වැනි විවිධ මතුපිටවල් වල චිත්‍ර ඇඳීමෙන් ඔබේ දරුවාට ලැබෙනව. 

ඒ වගේම විවිධ වර්ණ මිශ්‍ර කරද්දී ලැබෙන වෙනස් වෙනස් පාට ගැන අවබෝධයක් ලබාගන්නත් පුළුවන්. 

විවිධ පාට කළ සහල් ඇට හෝ වැලි ලබාදීමෙන් ඇඟිලි තුඩු වල සංවේදී බව තවත් වැඩිකරන්න ඔබට පුළුවන්. 

පස් ගවේෂණය කරන්න කැමති පුංචි විද්‍යාඥයෝ 

ස්වභාවික පරිසරය කියන්නෙ කිසිසේත්ම අවතක්සේරු කල නොහැකි අද්විතීය පරයේෂණාගාරයක් කියල ඔබ දන්නවද? 

වැලි, පස්, ගල් කැට, කුඩා සතුන් ගැන අවබෝධයක් ලබා ගන්න, ඒව අතින් අල්ලද්දි දැනෙන මෘදු සහ රළු බව ගැන අවබෝධයක් ඔබේ දරුව ලබාගන්නවා. 

ඒ නිසා බිම හාරන්න, පස් එකතු කරන්න ඔවුන්ට අවස්ථාව ලබාදෙන්නත් බිම හාරද්දි හමුවෙන සතුන් ආරක්ෂිතව නිරීක්ෂණය කරන්න විශාලනය කර පෙන්වන වීදුරුවක් හෝ කාචයක් භාවිතා කරන්නත් ඔබට පුළුවන්. 

කොට්ට මාළිඟා

කොට්ට සහ රෙදි වලින් හදන ගෙවල් වල සදහටම ජීවත් වෙන අපිත් පුංචි කාලෙ බලාපොරොත්තුවෙන් හිටිය නේද? 

ඇත්තටම මේ හරි අපූරු ක්‍රියාකාරකමක් කියල ඔබ දැනන් හිටියද? 

තමන්ට හෝ කීපදෙනෙක්ට රැඳී සිටීමට අවශ්‍ය වන අවකාශය පිළිබඳ දැනුවත් බව, සැලසුම් කිරීම, ගැටළු විසඳීම, නැවත සැකසීම, සමබරතාව සහ ඉවසීම වගේ ගොඩක් කුසලතාවයන් මේ හරහා වර්ධනය කරගන්න ඔබේ දරුවාට අවස්ථාව ලැබෙනව. 

ඒ නිසා ඔවුන්ගෙ කොට්ට මාළිඟා ඔබේ පහසුව වෙනුවෙන් කඩල බිඳල දාන්න කලින් පොඩ්ඩක් හිතන්න හොඳද? 

කුරුටු බලි ලස්සනද ?

පැස්ටල් කූරක්, පින්සලක් හෝ පැන්සලක් භාවිතයෙන් කුරුටු බලි ඇඳීම ඔබේ දරුවාගේ ලිවීම ආරම්භ කරන ප්‍රධාන පියවර කියල ඔබ දන්නවද? 

ඇස් සහ අත් අතර සම්බන්ධීකරණය ඇති කරන්න වගේම කුඩා මාශපේෂී ක්‍රමවත්ව වර්ධනය කරන්නත් කුරුටු බලි ඇඳීම හොඳ උදව්වක් වෙනවා. 

ඒ නිසා කඩදාසි සහ මහත පැන්සල් සහ මහත පාටකූරු ඔබේ දරුවට ගෙනල්ල දෙන්න අමතක කරන්න එපා. 

ඉතිං බලන්නකෝ, ඔබේ දරුව එක්ක මේ සරල ක්‍රියාකාරකම් කරන්න කොයිතරම් පහසුද කියල. 

එහෙනම් ආරක්ෂිතව සතුටින් දරුව එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම් කරමුද? 

ඔබේ දරුවගෙ බුද්ධි වර්ධනයට උදව් කරන්න එතකොට ඔබටම පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles