කැපකිරීම්

පින්සර අන්තිමේදී අම්මලාගේ වචනේට එකඟ වුණා. සත්සරණිව විවාහ කරගන්න තීරණය කලා. අවුරුදු අටක් තිස්සේ ආදරේ කරපු, ජීවිතේ බෙදා ගත්තු වන්දනාට සමුදුන්නා. 

ඊට පස්සේ සති දෙකක් විතරම පින්සර ජීව්ත් වුණේ පියවි සිහියෙන් පිට. රැකියාවේ කටයුතු පවා මඟ ඇරුණත් පින්සරගේ මානසික තත්වය දැනගෙන හිටපු කාර්‍යාල කාර්‍යමණ්ඩලය පින්සරට ගොඩක් උදව් කරා. විටින් විට  වන්දනාට අමතන්න උත්සාහ කලත් වන්දනා පින්සරගේ අංකය අවහිර කරලා තියෙනකොට පින්සරට දැනුණේ මියෙන්න තරමේ වේදනාවක්. ඔහු අතින් ජංගම දුරකතන කිහිපයක්ම කුඩුපට්ටම් වුණා. 

“අම්මලාගේ  අකමැත්තෙන් මේක කරගෙන අපිට සැනසීමෙන් ඉන්න වෙන්නේ නෑ පින්සර…. මම අක්කා ලඟට ගිහින් හිත හදාගන්නම්.. ඔයා සුදුසු දේ කරන්න…”

අන්තිමේදී ඇස් වල කඳුළු පුරවගෙන වන්දනා කියපු විදිය පින්සරට තවම අමතක නැහැ.

“ඔයාලගේ අම්මලා ඇවිල්ලා අපේ ගෙදර අයට  හරියට කෑ ගහලා… දික්කසාද ගෑණියෙක් ඔයාගේ කරේ එල්ලුව කියලා … අපේ අම්මලා කොච්චර කිව්වත් ඒක දවසකට සීමා වුණ ලියමනක් විතරයි කියලා ඔයාලගේ අම්මලා අහලාම නෑ.. අපිට මෙහෙම ජීවත් වෙන්න ලේසි වෙන එකක් නෑ..”

වන්දනාට එතකොට නම් ඇඬුණ බව පින්සරට මතකයි. අවුරුදු විසි එකේදී, අම්මලගේ උවමනාවට කෝටිපති තරුණයෙක් එක්ක විවාහ වෙන වන්දනා පහුවෙනිදාම ගෙදර එන්නේ ඔහුගේ අනියම්, අසම්මත සම්බන්ධතා මධු සමය දවසේ හෝටල් කාමරයටම රැගෙන ඒම හින්දා. ඉන් අවුරුදු දෙකකට පස්සේ තමයි වන්දනාට පින්සරව මුණ ගැහෙන්නෙ. ඒ ආදරේ  ඇරඹුණේ, ගලාගෙන ගියේ නොසෑහෙන්න අවබෝධයක් එක්ක. 

මාස දෙකකට පස්සේ වන්දනා විදෙස් ගත වුණ ආරංචිය ආවම පින්සරගේ ජීවිතේ ආයෙම අවුල් වුණා. ඒ කෝපය හැමවෙලේම පිට වුණේ සත්සරණී පිටින්.

“මොන විකාරයක්ද ඕයි  පැයෙන් පැයට කෝල් කරන්නේ…”

ඉඳලා ඉඳලා දවසටම එක ඇමතුමක් ගන්න සත්සරණීට පවා පින්සර එහෙම බැණ වැදුණා. 

ඒ වෙනකොට සත්සරණි හිටියේ පින්සර ගැන ආදරේ ඉපදෙන කාලෙක. ඔහුගේ ජීවිතයට ආදරේ කරන්න සත්සරණි පටන් අරගෙන තිබුනෙ. 

“අවුරුදු අටක සම්බන්ධතාවයක් නේ දුව… ඒ ළමයා මෙයාව දාලා ගියයින් මෙයා පිස්සු වැටුණා…”

පින්සරගේ අම්මලා සත්සරණි ට කිව්වේ එහෙමයි. 

කාලේ ටික  ටික ගෙවෙනකොට පින්සර සාමාන්‍ය ජීවිතේ පිළිගන්න හුරු වුණා. අවුරුද්දක් ගෙවුණා. සත්සරණිගේ අම්මලා විවාහ කටයුතු ගැන හදිසි කලත් පින්සර කිව්වේ තවත් කල් අවැසි බව. සත්සරණි ත් පින්සරට එකඟ වුණා. අවුරුදු දෙකක් ගෙවුණා. හදිසියේම පින්සරගේ අම්මා අසනීප වුණා.

“තවුසේගේ මැරේජ් එක ගැන වද වෙලාමයි අම්මට ප්‍රෙශර් එන්න ඇත්තේ…”

අක්කා චෝදනා කලා. පින්සර විවාහයට දින දා ගත්තා. ඒත් හරියටම විවාහ දිනයට සති දෙකකට කලින්, බීමතින් සත්සරණිව මුණ ගැහුණ දවසක පින්සර වන්දනා සහ තමාගේ කතාව සත්සරණි ට කිව්වා. ඇතැම් තැන්වල පින්සරට ඇඬුණා. සත්සරණි හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. අම්මලා කීව කතා එක්ක පින්සරගේ කතාවේ නොගැලපීම් ලිහා ගන්න බැරුව.

සත්සරණි රෑ තිස්සේම කල්පනා කලා. වන්දනාගේ ඊමේල් ලිපිනය හොයාගන්න එක අපහසු වුණේ නැහැ. සියලු විස්තර කියලා වන්දනාට දිග ඊ මේල් සටහනක් යොමු කලා. අවුරුදු දෙකක ඒකපාර්ශ්වික ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් සුදුසුම කැපකිරීමට සූදානම් වුණා.

ඒත්, දින යොදාගත්ත විදියට දෙන්නාගේ විවාහට සිදු වුණා. එදත් පින්සර හැසිරුණේ සත්සරණි රිදවමින් මයි. පිරිස ඉදිරියේ පෙන්වමින් උන්න ව්‍යාජ ආදරයෙන් පවා ඔහු ඇයව රිදෙව්වා. 

එදින රැයත් සත්සරණි ට වේදනාකාරීව ගෙවුණා. ඒත් ආයෙම කවදාවත් පින්සර සත්සරණි ළඟකටවත් ආවේ නැහැ. අලුත් ගෙදර දෙන්නා වෙනම කාමර දෙකක නිදාගන්නත් හුරු වුණා. සත්සරණි ඉස්කෝලේ ගියේ පාසැල් කුලි රථ සේවාවකින්. පින්සරගේ යතුරු පැදියෙන්, මෝටර් රියෙන් ඉස්කෝලේ ළඟින් බහින හීන සත්සරණි මරලාම දැම්මා. 

විවාහ වෙලා මාස හයක් යනකොට දෙන්නම ඒ ජීවිතේ ට හුරු වෙලා උන්නේ. එකට ඉඳගෙන වෙන්ව ජීවත් වීමේ පාලුව නිසා සත්සරණි පීඩාවකට ලක් වුනත් ඇය හැකි උපරිමයෙන් ඇයගේ ජීවිතය පාලනය කරගත්තා. පින්සරගේ ජීවිතය පහසු කලා.

“මට චුට්ටක් ලැප් එක ඕනි. මගේ ලැප් එක ඔන් වෙන්නේ නෑ…”

දවස සත්සරණි රෑට උයමින් ඉන්න අතරේ පින්සර ඉල්ලුවා. සත්සරණි හිස වැනුවා. 

ඒත් හැමදේම කණපිට ගැහෙන්න ඒ හිස සැලීම හේතු වේවි කියලා සත්සරණි හිතුවේ නැහැ.

පින්සරට දැනෙන්නේ මුලු ගතම ගිණි ගන්නවා වගේ. 

සත්සරණි ගේ ඊ මේලයට පණිවිඩයක් ඇවිත් තිබුණේ වන්දනාගේ ඊමේලයෙන්

පින්සර දෙවරක් නොහිතාම එය විවෘත කලා.

“බබා ලැබුණා සත්සරණී… ඔයා කිව්ව විදියටම හැමදේම හොඳින් උනා…ඉස්කෝලේ ගියාම වීඩියෝ කෝල් එකක් ගන්න.. එයා පුංචව බලන්න ආසාවෙන් ඇත්තේ…”

පින්සර ඊටයටින් තිබුණ ඊමේලය විවෘත කලා.

“ඔයා අම්ම කෙනෙක්ගේ හැඟීම් වෙනුවෙන් ඔයාගේ ආදරේ පරිත්‍යාග කල කෙනෙක් අක්කේ … ඔයාගේ අම්මා කමට කිසිම රිදවීමක් වෙන්නේ නෑ… එයා කිසිම කරදරයක් නැතුව අපේ ළඟට ඒවි…”

පින්සර ඒ පණිවිඩ ගොනුවේ අගම පණිවිඩය බැලුවා. මීට අවුරුදු තුනකට විතර කලින් සත්සරණි යවපු පණිවිඩයක්.

“වන්දනා…, මම සත්සරණි .. මම තමයි පින්සරට යෝජන් කරලා තියෙන්නෙ… ඊයේ තමයි මම ඔයාලා දෙන්නාගේ ඇත්තම කතාව දන්නේ..  මෙච්චර කාලයක් පින්සරලගේ අම්මා මට කියලා තිබුණේ වෙනම කතාවක්… මට ඔයාලා දෙන්න අතරේ ඉන්න ඕනි නැහැ… මම උදව් කරන්නම්.. ඔයා ඉන්න රට කියන්න… මම පින්සරව එහෙට එක්කන් එන්නම්… දැන් වෙඩින් එකට ඩේට් ෆික්ස් නිසා අපිට ඒක මුකුත් කරගන්න බැරි වේවි.. ඒත් අපිට ඩිවෝස් වෙන්න් පුලුවන් … මං ඒ ඔක්කොම බලාගන්නම්…ඔය මට පිළිතුරක් එවන්න….”

පින්සර ඇස් දෙකම පොඩි කරලා කඳූලු වේලගත්තා. 

“සත්සරණී නංගී … ඔයාගෙන් කවදාහරි මෙහෙම පණිවිඩයක් ඒවි කියලාත් මට හිතුණා.. ඔයාගේ ලොකු මාමාගේ දුව , චාරු මගේ යාලුවෙක් කියලා දැනගත්තේ මෙහෙ ට ආවම.. එයා කිව්වා මේ හැමදේම  ඔයාට කිව්වොත් ඔයා අපි දෙන්නා මැදට එන එකක් නෑ කියලා … ඒත්, ඔයා පින්සරට ආදරේ කරන තරමත් එයා කිව්වා … 

මං දැන් ජීවිතේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ නංගී … මෙහෙදී මට ආදරණීය කොලුවෙක් මුණ ගැහුණා.. ඩේව්… පින්සරගේ මතක එක්ක මම  අඬනකොට මාව හිනස්සවන්න අයිස්ක්‍රීම් කරත්තයක් දාපු කෙනා එයා… දැන් මට අයිස් ක්‍රීම් ශොප් එකක් තියෙනවා … හැමදේම හරිගියාම දවසක ඔයා එන්න ඕනි මෙහෙ… ඔයාට පුදුම කිරීමක් තියෙනවා ….

ගිය ක්‍රිස්මස් වලට් ඩේව් මට ප්‍රොපෝස් කලා.. අපි ජනවාරි වල මැරි කලා… මං සතුටින් ඉන්නේ නංගී … “

පින්සර හැම පණිවිඩයක් ම කියවගෙන සංවාදයේ ඉහලටම ආවා. 

  ” “සරණි අයිස්ක්‍රීම් පාලර්..”

එක පණිවිඩයක් ඇතුළේ,  එහෙම පින්තූරයක් තිබුණා. 

“පින්සරගේ ආදරෙන් මිදිලා මගේ ජීවිතේට ආදරේ කරන්න මට පුලුවන් වුණේ, පින්සර ගේ පස්සෙන් ඔයාගේ ආදරේ තියෙන බව දන්න නිසා. එහෙම නොවෙන්න  සමහරවිට මට  පිස්සු හැදෙන්නත් තිබුණා… මගේ ජීවිතේ හැම වටිනා තැනකම මම ඔයාව මතක් කරනවා…”

පින්සර ලැප් එක එහෙමම අරගෙන කාමරේ ට ගිහින් දොරත් වහගෙන ඇඳට වැටුණා. සත්සරණි රෑට කෑවෙත් නැහැ. 

පහුවෙනිදා සත්සරණි ඉස්කෝලේ යන්න එළියට බහිනකොට පින්සරගේ මෝටර් රිය මිදුලේ නවත්තලා තිබුණා. වෙනදාට සත්සරණි පිටත් වෙන්න කලින් පින්සර පිටත් වෙනවා. සත්සරණි ඇවිදගෙන එනකොට ඉදිරිපස අනෙක් දොර ඇරුණා. සත්සරණි පහලට නැවිලා පින්සර දිහා බැලුවා.

“නඟින්න.. මම ඉස්කෝලේ ලඟින් දාගෙන යන්නම්…”

සත්සරණි එහෙමම ගල් වෙලා වගේ බලාගෙන හිටියා. පියවි සිහියට ආවේ හෝර්න් එකේ හඬින්

“මොකද ?”

පින්සර් අවුරුදු ගානකින් හිනා වුණා. සත්සරණි කිසිත් නැති වග කියන්න හිස සැලුවා. මෝටර් රියට නැග්ගා. අසුන් පටි පැළඳගන්නවත් සිහියක් තිබුණේ නැහැ. පින්සර මුකුත් නොකියාම අසුන් පටිය පැලඳෙව්වා.

එදා දෙන්නාම හිටියේ වෙනම ලෝකවල..

“ඒ..සරණි.. අන්න පින්සර ගේට් එක ලඟ…සිකුරිටි අංකල් කිව්වා එකයි කාලට විතරලු ආවේ…”

සත්සරණි වෙලාව බැලුවා. දෙකයි පනහයි. බෑග් දෙකත් අරගෙන ගේට්ටුව දිහාවට දුවගෙන ගියා.

“කීයටද ඉස්කෝලේ ඇරෙන්නේ ?”

“එක හමාරට ..”

පින්සර වෙලාව බැලුවා. 

“ගෙදර ගියාත් තනියෙන් නේ මම…ඔයා එන්නෙත් දහයට විතරනේ.. ඉතින් ම්ම්ම හ්වස අකුරු අපහසු ළමයින්ට උගන්නවා…හතරට වගේ ගෙදර යන්නේ….. අද ඒ ළමයි නෑ..හෙට මෙහෙ සීල ව්‍යාපාරේ.. ඒකට සූදානම් වෙන්න වේලාසන ගෙදර ගියා…”

සත්සරණි ගිරවියක් ගානට කියෙව්වා. පින්සර හිනාවෙවීම ඔලුව වැනුවා.  සත්සරණි ව නිවෙසට බස්සලා පින්සර ආයේම කාර්‍යාලයට ගියා.

“මම වේලාසන එනවා… එළියට යන්න සූදානම් වෙලා ඉන්න…”

එහෙම පණිවිඩයක් ලැබුණේ හවස පහට විතර.

සත්සරණි ගේ ලැප් එක තවම පින්සර ළඟ. 

සත්සරණි වන්දනාට ඇමතුමක් අරගෙන පින්සරගේ වෙස් පෙරළීම ගැන කිව්වේ, ඒ ගැන කියන්න වෙන කිසිම කෙනෙක් නැති නිසා.

“ලෝකේ විශාලම ආදරේ ඔයාගේ පස්සෙන් වැටෙන්න යන්නේ නංගී … ඔයාගේ ඉවසීමට ආදරේට , කැපකිරීම් වලට විශ්වයේම ආශිර්වාද එකතු වෙලා … දැන් ඉතින් ඔයාට ආදරේ අඩුවක් දැනෙන එකක් නෑ…”

සත්සරණි දෙන්නාගේ විවාහ ඇල්බමය එකින් එක පෙරලන්න ගත්තා. ජීවිතේ වස්සාන සුවඳ ඇයට දැනෙන්න ගත්තා..

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles