සයූ’ස් කිචන් යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට සහයෝගය දක්වන්න කියමින් පාරමී රාමනායක ඇගේ ෆේස් බුක් පිටුවේ බෙදා ගෙන තිබූ සයුරංගනා ගේ වීඩියෝවක් ඇස ගැටීමෙන් පස්සේ තුලන ටීවී වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වන නිරංග වහා එතැන නතර විය. ටික දිනෙක සිට උදෑසන වැඩසටහනක් සඳහා ඔවුහු අලුත් මුහුණක් ගැන කතා කරමින් ද විපරම් කරමින් ද සිටියහ. සයුරංගනා ගේ මූණත් හඬත් විලාශයත් කියන සියල්ල ඔවුන් සෙවූ වැඩසටහන් ඉදිරිපත් කරන්නිය හා සසැඳුණේ ය.
පාරමී කටයුතු කළේ හඬ ශිල්පිනියක සේ ය. නිරංග සේවය කළ මාධ්‍ය ආයතනයේ වැඩ වලට පැමිණෙන නිසා ඔහු ඇයව දැන සිටියේ ය. පාරමී ට කතා කොට සයුරංගනා ගේ දුරකතන අංකය ඉල්ලා ගත් ගමන් ම ය ඔහු සයුරංගනා ට කතා කළේ. පාරමී යෙහෙළිය ට පණිවිඩය කියන්නට එන්න හැදුවා විතර ය. සයුරංගනා ගේ අදහා ගත නො හැකි බවෙහි හඬ තානය නිසා ම එය සිදු වී ඇති බව පාරමී හැඳින්නා ය.
“කතා කළාද නිරංග…”
ගුරු පාර මැදදී ම පාරමී සයුරංගනා ව වැළඳ ගත්තා ය.
“අනේ…ඔයාද එයාට මං ගැන කිව්වෙ…”
“නෑනෑනෑ. මං මුකුත් කළේ නෑ. මෑන් දැකල මං සයූ’ස් කිචන් එකේ වීඩියෝ එකක් ශෙයා කරල තියෙනව. ඒකෙන් ඔයා ගැන සැටිස් වෙලා මේ දැන් මට කතා කරල කන්ටැක්ට් නම්බර් එකක් ඉල්ලුව. ඉතිං මං දුන්න. වැඩේ ගොඩ කෙල්ලෙ. දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ…අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ…”
සයුරංගනා ගේ අත් දෙකෙන් අල්වා ගෙන පාරමී පාර මැද්දේ ම කැරකෙන්නට වූවා ය.
“ඒයි…පිස්සි…වැ…ටෙ..යි අනේ…”
ඔවුන් ගේ සිනා හඬ හාත්පස සිසාරා පැතිර ගියේ ය. බලාපොරොත්තු කෝටි ගණනක ඉසියුම් කැබලිති ඒ සිනහ අතරේ පැටලී තිබිණ.
“මං කිව්වෙ මොකක් හරි හොඳ දෙයක් වෙන්න තියනවමයි කියල. කවුද හිතුවෙ ඒක මේ තරංම ලොකු දෙයක් වෙයි කියල…මට හරිම සතුටුයි රංගි. නිරංග අයියට හා කිව්ව නේද…ආව් ආව් අපේ කෙල්ල ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටර් කෙනෙක් වෙන්නයි යන්නෙ…”
“මං හා කිව්වෙ නෑ පාරි. මට හිතා ගන්නත් බැරි වුණා. අනිත් එක මට එච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයිද…”
“රංගනා…ඒ මිනිස්සු පාරෙදි හම්බෙන හැම කෙල්ලෙක්වම ගෙනත් ප්‍රසන්ටර් කෙනෙක් කරන්නෑ. ඒක කරන්න පුළුවන් කියල ඇඟේම තියන අය කවුද කියල ඒ මිනිස්සු ඉවෙන් වගේ අඳුරගන්නව. මං අවුරුදු ගාණක් තිස්සෙ වොයිස් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන්නෙ…මං ඔය ටීවී එෆ් එම් චැනල් හැම එකකම කරක් ගහනවනෙ…ඔය ප්‍රෝග්‍රෑමින් ඩිරෙක්ටර්ස්ලවයි ප්‍රඩියුසර්ලවයි හැමදාම හම්බවෙලා කතා කරනවනෙ. උං මට කතා කරල තියනවද ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න එන්න කියල…නෑනෙ. හැම කෙනෙක්ටම ඒ වාසනාව නෑ රංගි. මේ ඔයාගෙ වාසනාව. කොහේ කොහොම හැංගිලා තිබුණත් ඒක එළියට එන වෙලාවක් එනව. ඒක නතර කරන්න දෙයියන්ටවත් බෑ. ඔයා මේකට යන්න ඕනෙ. ඔයාට පුළුවන්ද බැරිද කියල බලාගන්න ස්ක්‍රීන් ටෙස්ට් එකට හරි යන්න ඕනෙ. මේක අතෑරගන්න එපා. දෙයියො වුණත් චාන්සස් ගොඩක් දිදී ඉන්නෑ. එකක් දෙකක් දීල බලනව. ඒවයිං වැඩක් ගන්නෑ වගේ පේනවනං කරන්නෙ වෙන කෙනෙක් දිහා බලන එක. මොකද තව හුඟක් අය දෙවියන්ගෙන් චාන්සස් ඉල්ල ඉල්ල ඉන්නෙ”
පාරමී ගේ වදන් සයුරංගනා ගේ සිතේ තදින් කාවැදිණි. එදා හැන්දෑවේ යශෝදර එන තුරු ඕ නො ඉවසිල්ලෙන් බලා සිටියා ය. යශෝදර ගේ යතුරුපැදියේ හඬ ඈතින් ඇසෙත්දී ම මුළුතැන්ගෙයි සිට බරාඳයට ආවා ය. ඇය යශෝදර දෙස බැලුවේ දිළිසෙන දෑසකිනි. ඒ ඇස් කතන්දර වල වෙනසක් ඔහු ට දැනිණ. එසඳි ව වඩා ගත්ත ද නැවතත් ඔහු ඇය වෙත නෙතු නතර කළේ ය.
“මාර වැඩක් වුණානෙ. ටීවී චැනල් එකකින් කතා කරල මෝනිං ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න කැමතිද කියල ඇහුව”
ඇගේ ඇස් වල වූයේ බලාපොරොත්තු සහගත අනාගතයක් ගැන කතාවකි. යශෝදර තත්පර කිහිපයක මුණිවතක් දැරුවේ ය. නමුත් ඒ මුණිවත අනවශ්‍ය ලෙස දිගු වීම ඇගේ හිත රිදවනු ඇති බව සිහිපත් වී ඔහු මඳහසකට පිපෙන්නට හැරියේ ය.
“ගියාට කමක් නැද්ද යශෝදර…”
ගියාට කමක් නැද්ද කියා ඇසුවාට ඇය වඩාත් සතුටු වන්නේ කමක් නෑ කියා පිළිතුරු දුනහොත් ය. ගියාට කමක් නැද්ද කියා ඇසුවාට සැබවින් ඇයට විමසන්නට අවශ්‍ය ගියාට කමක් නෑ නේද කියා ය.
“යන්න. ඒක ඔයාව හොයාගෙන ආපු ඔපචුනිටි එකක්නෙ”
ඇගේ මුව මත ලස්සන සිනහ මලක් පිපිණි. යශෝදර ගේ වදන් මුළු අනාගතයක් වෙනුවෙන් දුන් නියත විවරණයක් සේ ඇයට දැනිණි. ආශීර්වාදයක් සේ හැඟිණි. ඇය හා කියන්නට හිස දෙපසට සැළුවා ය.
ඒ වනතුරුත් සයුරංගනා හිතමින් සිටියේ නිරංග ට කතා කොට කුමක් කියනවා ද කියා ය. දැන් ඇයට කියන්නට දෙයක් තිබේ. පරීක්ෂණය සඳහා මුහුණ දෙන්නට සූදානම් බව ඇය කීවා ය. ඒ වෙලාවේත් ඊට පස්සේත් ඇයට දැනුණ සමස්ථ හැඟීම කුමක් දැයි වෙන් කොට හැඳින ගන්නට ඈ දන්නේ නැත. මොන දේ කළත් හෘද ස්ඵන්දනයෙහි උස් බවක් වූයේ ය. ඒ වුණත් දෙතොල් මත්තේ මන්දස්මිතයක් ද නළියෑවේ ය.
“වෙන කාටවත් ඔය ගැන දැන්ම කියන්න යන්න ඕන නෑ දුව. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහිං…ඒ වැඩේ කෙරුණොත් කියන්න බැරියෑ.. අනිත් එක ඕක අපි කිය කිය ඉන්නවට වඩා දුව වැඩසටහන කරනව කවුරු කවුරුත් ටීවී එකෙන්ම බලා ගන්නවනං තමයි මං කැමති”
ජයරත්න සිය ලේලියට උපදෙසක් දුන්නේ ය. අන්න අරක යයි ඇඟිල්ල දිගු කොට පෙන්විය නො හැකි හේතුවකට ඔහු ගේ පපුව ආඩම්බරයෙන් පිම්බී ගෙන එමින් තිබිණ.
“ඒත් අප්පච්චි…අම්මල දොස් කියයිද දන්නෑ…”
“දෙයක් වෙන්න කලින් එක එක්කෙනාට කිව්වහම…ඒක වෙන්න තියන ඉඩ අඩු වෙලා යනව ළමයො. මං දන්නෑ ඒ ඇයි කියලනං…අපි ඉතිං වුණාට පස්සෙම කියමුකො…ම්…”
රූපවාහිනී නාලිකාවෙන් එන්නට කියා ලබා දුන් දිනයට පාරමී ට පැමිණිය නො හැකි ලෙස ඇයට වැඩ වැටී තිබිණ.
“එෆ් එම් ඩ්‍රාමා එකේ ප්‍රඩියුසර් ට්‍රිප් එකක් යනව කියල දවස් දහයක ඩ්‍රාමා රෙකෝඩින් එදාට දාල තියෙන්නෙ. උදේ ම පටන් අරන් එපිසෝඩ් දහයම රෙකෝඩ් කරල ඉවර වෙනකල් කීය වෙනකල් හරි රෙකෝඩින් කියල කලින්ම කියල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ ඉතිං…”
“ඔය කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තෙ පාරවල් හොයං යන්න මං දන්නෑනෙ පාරි”
පාරවල් නො දන්නවා සේ ම එවන් අධි නාගරික පෙදෙසක රිය පදවන්නට ද ඇය පසුබෑවා ය.
“අපි අයියගෙන් අහමුද ඔයාව එක්කං යන්න එයාට පුළුවන්ද කියල…”
එපා කියා අහංකාරකම් පෙන්වන්නට සයුරංගනා ට ඕන වුණේ නැත. මේ වෙලාවේ ඇයට උදව් ලැබිය හැක්කේ රාමනායක පවුලේ කෙනෙකුගෙන් පමණි. ජයරත්න ද කොළඹ නගරයේ එවන් තැනක් සොයා යන්නට තරම් මං සලකුණු පුරුදු අයෙකු නො වීය.
“ඒත් යශෝදර වැඩනෙ…”
නමුත් නිවාඩුවක් දමා සයුරංගනා ව රූපවාහිනී නාලිකාව වෙත කැටිව යන්නට ඔහු කැමැත්ත ප්‍රකාශ කළේ ය. සයුරංගනා කලින් දා හැන්දෑවේ සිට ම අල්මාරිය විවර කර ගෙන ඇඳගෙන යාමට සුදුසු ඇඳුමක් ගැන සිතුවා ය. ඇඳුම් බොහෝ තිබිණි. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක් එක වතාවකට වඩා හැඳි ඒවා නොවේ. ඇඳුම් ගෙනැවිත් ගොඩ ගැසුවාට ඒවා ඇඳගෙන යන්නට තැනක් ඇයට වූයේ නැත. ඉඳහිට ගමේ යත්දී මිස හොඳ ඇඳුමක් ඇන්දේ ඉතාමත් කලාතුරකිනි. ඉඳහිට ගෙදරට බඩු ටිකක් ගන්නට හන්දියට යත්දී ඇය තෝරා ගත්තේ සාමාන්‍ය ඇඳුමකි. ඒ නිසා හොඳ ඇඳුම් අල්මාරියේ අසරණ වී සිටියේ ය. සතියේ දින වල වැඩට යන නිසා ගිම්හාන් කැමති වූයේ සති අන්තයෙහි ගෙදරට ම වී ඉන්නට ය. ඔහු ගේ නිවන ඔහු ගේ නිවහන ම විය. පෝය දවසකට නම් පන්සලකට ගියහ. එතකොට අඳින්නේ සුදු ඇඳුමකි. එසඳි ව පාක් එකකට වැනි තැනකට කැටිව යන්නේ ද බොහෝ විට ඒ පන්සල් ගමනක් එක්ක නිසා සයුරංගනා ගේ හොඳ ඇඳුම් අඳින්නට ඇයට අවස්ථාවක් උදා වූයේ කලාතුරකිනි.
ඇය අත් දිගට දමා මැසූ ලා රෝස පාට දිග ගවුමක් තෝරා ගත්තා ය. එහි රෝස පාට පසුබිමේ සුදු මල් වැටී තිබූ නිසා වූයේ චාම් සුන්දරත්වයකි. අනිත් අතට මිල දී ගත්තාට පස්සේ ඇය එක වරක් හෝ එය ඇඳ නො තිබිණි. රාත්‍රියේ එසඳි ගේ නිල ඇඳුම් මදිනා අතරේ ම සයුරංගනා ඒ ගවුම මැද්දා ය.
ඒ රාත්‍රියෙහි ඇය නිදි ලැබුවේ කඩින් කඩ ය. එසඳි පෙර පාසල නිම වී එන වෙලාව වන විට ගෙදර පැමිණිය හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. යම් හෙයකින් එසේ නො හැකි වූවොත් දැරිය භාර ගන්නැයි සයුරංගනා දහ දොළොස් වතාවක් ම ජයරත්න ට සිහිපත් කළා ය.
“හරි හරි ළමයො. මං පොඩි ළමයෙක් නෙවේනෙ. දුව ඔය අනං මනං හිතන්නැතුව ඒ වැඩේ හරියට කරගෙන එන්න”
එසඳිව පාසල් සේවා වෑන් රථයට භාර දී සයුරංගනා ඇගේ ගමන යාමට සූදානම් වූවා ය. මේ වාගේ ගමනක් මීට පෙර කිසි දාක ඇය ගොස් නැත. ඇය වෙනුවෙන් මෙහෙම ගමනක් යන ප්‍රථම වතාව ය. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවන් ව ඇය ඕනෑ තරම් දැක තිබේ. එවන් කෙනෙකු ප්‍රිය මනාප විය යුතු ය. කතා බහ ද ආකර්ෂණීය විය යුතු ය. එවන් පෙනුමක් ඇය වෙත වේ දැයි පිරීක්සමින් ඕ කැඩපත ඉදිරියේ ප්‍රවේසමෙන් ලක ලැහැස්ති වූවා ය. කණ්ණාඩි මේසයක් පිරෙන්නට ආලේපන වර්ග තිබිණි ද ඒවා ගල්වා ගෙන යන ගමන් ඇයට හිමි වූයේ කලාතුරකිනි. මේ අවස්ථාවේ ඇය ඉතා සියුම් ලෙස ඒ ආලේපන වලින් තමන් හැඩ කරවූවා ය. චාම් බවත් වැදගත් පෙනුමත් ඉස්මතු වන සේ පවතින්නට ඇයට උවමනා විය.
සයුරංගනා සූදානම් වී එන තුරු යශෝදර ජයරත්න සමග කතාවක් දමා ගෙන මෝටර් රථය පිටතට ගත්තේ ය. ඇය පිටතට ආවේ තවත් විනාඩි පහ දහයකට පස්සේ ය. කාන්දම් බලයකින් වාගේ යශෝදර ගේ ඇස් සයුරංගනා මත නතර විය. ඒ තරම් ප්‍රියමනාප ලෙස මීට පෙර ඔහු ඇයව දැක නැත. ඇඳුම් පැළඳුම් කිරීමෙහි පමණක් නොව ඇගේ ඇස් වලින් හා අංග චලනයන්ගෙන් පවා විද්‍යමාන වූයේ සුන්දර ගැහැනියකි. පෞරුෂයෙන් අනූන ගැහැනියකි. අරමුණක් කරා ගමන් ගන්නා වැදගත් ගැහැනියකි. හිස කේ උනා දමා ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සොඳුරු ස්ත්‍රියක සේ ඔහු ඉදිරියේ සිටියා ය.
“යමුද එහෙනං…”
යශෝදර ට වචනයක් සිහි කර ගත හැකි වූයේ මඳ වෙලාවකට පස්සේ ය.
“ගිහින් එන්නං අප්පච්චි”
සයුරංගනා ගිම්හාන් ගේ පියා ගේ දෙපා වැන්දා ය.
“හොඳයි හොඳයි බුදු සරණයි. යන වැඩේ කිරි ගහට ඇන්න වගේ හරියන්න ඕනෙ”
මොන හේතුවකට ද මන්දා සයුරංගනා ගේ ඇස් වලට කඳුළු ඉස්සර වූයේ ය. ඇය ඉක්මන් ඇස්පිය කිහිපයක් ගසා ගොස් රියෙහි නැගුණා ය. හිත් වල වූයේ බරක් ද සැහැල්ලුවක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි ය. යශෝදර ට යමක් කතා කරන්නට උවමනා විණි ද ඊට මුල පුරන්නට හෙතෙම පසුබාමින් සිටියේ ය.
“මාත් එක්ක…තරහෙන්ද යශෝදර ඉන්නෙ…”
අවසන බෝ දිගු වූ ඒ නිහැඬියාව බින්දේ සයුරංගනා ය. ඇගේ කටහඬ ඇයට ම නුහුරුයි වාගේ ක්ෂණිකව ඇය ට දැනිණ. යශෝදර ඉදිරි කැඩපත මඳක් හැරවූයේ ය. දෙව්දුවක් සේ ඇය බිමට ඇස් හරවා ගෙන සිටියා ය.
💜️ආදරය තියා යන්නට අමතක නොකරන ඔබට ආදරයෙනි!