ගැහැණු…

මිතිලා ගේ ප්‍රොමෝශන් එක ගැන තමන්ව සන්සුන් සිතුවිල්ලකින් බලන්න පුලුවන් වූනේ නැත්තේ අම්මාගේ ඉගැන්නුම් බස් නිසා කියලා දැන් සාරදට හිතෙනවා. තමන්ව අභිභවාගෙන යන ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක කිසිම පිරිමියෙක්ට පහසු නැති වුණත්, මිතිලා එක්ක ජීවත් වෙන්න තමන්ට අපහසුවක් තිබුණේ නැති බව සාරදට මතක් වුණා. තුන්දාහක විතර පිරිසක් පාලනය කරන හය්‍ ය  ගෑණියෙක් වුණ මිතිලා හැමදාම තමන් ඉස්සරහට ආවේ ඉස්සරම කාලේ හුරුතල් වුණ පොඩි කෙල්ල වගේම බවත් සාරදට මතකයි. හැබැයි අම්මාගේ ඉගැන්නුම් බස් එක්ක තම්න් ටික ටික විසුල්‍යාට කිට්ටු වෙනකොට මිතිලාගේ ඒ හුරුතලේ අඩු වෙලා ගිය බවත්, ඊටත් පස්සේ තමන් ඇයව ඍජුවම ප්‍රතික්ශේප කලහම ඒ හුරුතලේ නැත්තටම නැති වෙලා ගිය බවත් සාරදට මතකයි.

අන්තිමේදී අම්මයි, විසුල්‍යායි එක පැත්තක හිටගෙන මිතිලාට ගෙදර ඉන්න එක එපා කරාම මිතිලා හරි ලේසියෙන්ම ඇනෙක්ස් එකක් අරගෙන වෙන් වෙලාත් ගියා. එතකල් මොන දීපංකරේ ගියත් සාරදගේ කාර් එකේම ඉස්සරහ සීට් එකේ ආව ගිය මිතිලා  කුලී රත වල යන එන ආරංචිය ලැබුණා. ඊටත් පස්සේ රියැදුරෙක් එක්ක යන එන ආරංචිය ලැබුණා. මිතිලාගේ දෙමාපියන් මිය ගිහින් තිබුනේ රත වාහන අනතුරකින් නිසා රියැදුරු අසුනේ ඉඳගන්න මිතිලා ඉස්සර ඉඳලාම බය බව සාරදට ඒ හැම වෙලාවකම මතක් වෙනවා.

“මෙච්චර කල් උඹව ඩ්‍රයිවර් කමට තියාගෙන උන්න ගෑණි අන්න දැන් ඩ්‍රයිවර් කමටයි, සහේටයි දෙකටම එකෙක් අරගෙන……”

අම්මා හැම තිස්සේම එහෙම කිය කියා මිතිලාගෙන් දික්කසාදය ගන්න සාරදට  හදිසි කලා. විසුල්‍යා සාරදගේ  ඇඟේ දැවටෙන්න එන පැය ගානත්, අම්මා ඒ දෙන්නාව තනි කරන්න උත්සාහ කරන වාර ගානත් වැඩි වෙන බවත් සාරදට වැටහුණා. ඒත් මිතිලා එක්ක තිබුණ බැඳීමේ තද ගතිය ඉක්මවන්න විසුල්‍යාට පුලුවන් වුනේ නැහැ.

“ආපෝ.. මෙන්න මෙයාට උණ ආන්ටි… මටත් හැදේවි… මගේ ලබන සතියම ඉවරයි එහෙම වුනොත්..”

විසුල්‍යා එහෙම කියලා ගෙදරින්ම ගියා.

සාරද මිතිලාව මුණ ගැහෙන්න මිතිලාගේ ඇනෙක්ස් එකට ගියේ  පර්ස් එකයි, ෆෝන් එකයි විතරක් අරගෙන. ඇඟට දැනෙන අසනීප ගතිය එක්ක අම්මගේ  කියවිල්ල දරාගෙන ඉන්නම බැරි තැන තමයි සාරද රෑ දහයට විතර එහෙම එලියට බැස්සේ.  අනෙක් අතට තවදුරටත් මිතිලාව තනි කරන්න බැරි කම සාරදට තදින්ම දැණුණා.

සාරදගේ ඇමතුමට තත්පරෙන් පිළිතුරු ලැබුණා.

” දොර අරින්න මිතිලා..”

ඊළඟ තත්පරෙන් දොර ඇරුණා. සාරද මිතිලාට වාරු වෙලා සෙටියෙන් ඉඳගත්තා. කිසිම දෙයක් අහන්නේ නැතුව මිතිලා කලේ සාරදගේ කමිසේ ගලවලා සෙටියේ ඇල වෙන්න හදලා දුන්න එක. ඊට පස්සේ සුප් කෝප්පයක් ඇණවුම් කලා.

“මං ඉව්වේම නෑ මෙහෙ ආවත් හරි. ඉතින් උයන්න කරන්න මුකුත් නෑ… චුට්ටක් ඉන්න හොඳේ.. අපි සුප් එකක් බීලා පැනඩෝල් දෙකක් බොමු ඉස්සෙල්ලාම…”

මිතිලා දිහාව පුදුමෙන් බලාගෙන ඉන්න සාරදට ඊට පස්සේ මිතිලා කිව්වේ පපුව කුඩු පට්ටම් වෙන කතාවක්.

“රූපා කිව්වා ඔයා අසනීපෙන් කියලා… ඔයා ඒවි කියලා මම අද ඔෆිස් ගියෙත් නෑ… නිදන්නේ නැතුව බලාගෙන හිටියේ දැන් ඒවි, දැන් ඒවි කියලා… මං දන්නවනේ උණ හැදුනම ඔයාට අමාරු කොහොමද කියලා…”

අසනීප හුවමාරු වෙන එක ගැනත් හිතන්නේ නැතුවම මිතිලාව තමන්ගේ පපුව උඩට ඇදලා ගන්න සාරදට ඕනි වුණේ තව තත්පරය යි.

“ඇයි ගෙදර දාලා ආවේ මිතිලා… මාව නැතුව සති තුනක් හිටියා ඔයා…”

“ඔයා මට ඉන්න කිව්වෙත් නෑනේ… අනෙක විසුල්‍යා වගේ අහිංසක, නිවුණ ළමයෙක් ඔයාගේ ජීවිතේට ඕනි කිය කියා අම්මා හැම  විනාඩියකම මට දෙස් තියනකොට මම කොහොමද එහෙ ඉන්නේ… “

සාරද ඒකට කිසිම දෙයක් කිව්වේ නෑ.

“ඔයා මට ලොකු මිනිහෙක් සාරද… මං දන්නේ නෑ මං ලෝකෙට කොච්චරක් ලොකු ගෑණියෙක්ද කියලා… ඒත් මං ආස ඔයා ළඟ කූඹු ගෑනියෙක් වගේ වෙලා ඉන්න. මට සැනසීමක් තියෙන්නේ එහෙම…  ලෝකෙම බර මගේ ඔලුවෙ තිබුනත්, ඔයා ළඟට ආවම ඒ බර පැත්තකට ඉන්නයි ඕනි… මගේ රස්සාව අපි දෙන්නගේ ජීවිතේට , ආදරේට, විශ්වාසෙට මෙච්චර ප්‍රශ්නයක් වේවි කියලා දන්නවා නම්, මම අතිශය සාමාන්‍ය විදියෙන් වැඩ කරලා ජීවත් වෙනවා කියලත් මට හිතෙනවා සාරද.. එහෙම වුනා නම් බොස් ලා මට ඔච්චර වටිනාකම් දෙන්නේ නෑ….”

සාරදට පැහැදිළි කරගන්න ඕනි දේ දැනුනත්, වචන ගැලපුනේ නැහැ.

“මුලු ලෝකෙක වටිනාකම් තිබුණත්, මගේ වටිනාකම ඔයාගේ වටිනාකමක් නොවුණේ කොහොමද හිතලාම මට මහන්සියි.. ඇත්තටම මට ලොකු හීන වල එල්ලිලා වද විඳින්න ඕනි නෑ සාරද.. ඔයා එක්ක පොඩි හීන වල ලස්සනට ජීවත් වෙන්නයි ආස….”

සාරදගේ සුප් කෝප්පේ ඉවර වෙනකල්ම බීලා ඉවර වෙනකල් මිතිලා මුකුත් කිව්වේ නැහැ.

“මං එනකොට ඔයාගේ සරමකුයි, ටී ශර්ට් එකකුයි හොරකම් කරගෙන ආවා.. ඒක ඇඳගමු…”

සාරදව හිනාගසාලා එහෙම කියපු මිතිලා ඇග සෝදකගන්නකල් දැවටි දැවටිම උන්නා. දවස් තුනක්ම සාරද උන්නේ මිතිලා එක්ක. මිතිලා රැකියාවට ගිහින් දඩි බිඩියේ ආයෙම සාරදව බලන්න ආවා. අන්තිම දවසේ සාරද මිතිලාව ගන්න ඔෆිස් එක ලඟට ඇවිල්ලා හිටියා. මිතිලා මෝටර් රියට ගොඩ වුණේ ඇස් ලොකු කරගෙන.

“ගේට් එකෙන් කියනකොට මාව ගන්න ඔයා ඇවිල්ලා කියලා මට හිතාගන්න බැරි වුනා…”

මිතිලාගේ ඇස් ඒ තරමට දිලිසෙන්න තරම් දෙයක් තමන්ගේ ඇතුලේ තියෙනවද කියලා සාරදට හිතන්න ඕනි. මිතිලා සාරදගේ නළලට අත තියලා උණ බැලුවා. කම්මුල් පිරිමැද්දා. කම්මුලයි, උරිස්සයි අතරට මිතිලාව හිර කරගත්තේ සාරද.

“අම්මට මේක පැහැදිළි කරන්න මට තේරෙන්නේ නෑ මිතිලා. .. අම්මා තේරුම් ගන්නේත් නෑ…. මං  ගෙයක් ගත්තා.. අපි සඳුදා එහේ පදිංචි වෙමු… අක්කට කිව්වා මම, අම්මාව බලන්න කියලා ටික කාලයක්.. රූපාත් ඉන්නවනේ… අනෙක විසුල්‍යාත් ඉතින් එහෙ පැල් බැඳන් නේ ඉන්නේ…”

සාරද එහෙම කියනකොට, මිතිලගේ ඇස් නළලේ. සාරද තමන් තීරණය කරලා අවසන් වග පෙන්වන බැල්මෙන්ම හිටියා.

“ගෙයක් ගත්තා කිව්වට ගත්තේ නෑ… නෝනාගේ ඕකේ එක නැතුව ගන්න බෑනේ.. මේමම බලන්න යමු…:

සාරද ඊට පස්සේ කිව්වා. මිතිලා සාරදගේ අතින් අල්ලා ගත්තා.

“ඇත්තටම  ඔයා සෑහෙන්නම ලොකු ගෑණියෙක් මිතිලා… සෑහෙන්නම දේවල් හැන්ඩ්ල් කරන හය්‍ ය තියෙන ගෑණියෙක්…. ඒත් මං දන්නවා, මට දැනෙනවා ඒ හැම ලොකු කමක්ම අස්සේ මගෙන් විතරක්ම පිරෙන හිස් තැණක් තියෙන බව… මම ඒ හිස් තැන් වලින් එපිටට රිංගන්නේ නෑ තවත්… එහෙම ගියොත් ඔයා බිඳෙනවා… මම දන්නවා… මට සමාවෙන්න… මට ඔයාව දරාගන්න බැරි වුනාට….. ආයේ කවදාවත් එහෙම වෙන්නේ නෑ..”

“මං ආදරේ ඔයාට විතරයි සාරද…. ඒ ආදරේ හය්යෙන් තමයි මගේ මුලු ජීවිතේම ගොඩ නැගෙන්නේ…”

මිතිලා එහෙම කියනකොට සාරද මිතිලාගේ හිස පිරිමැද්දා. ඇස් ආදරෙන් හිනා වුණා.

More Stories

Don't Miss


Latest Articles