“තෑග්ග එතුව නේද පුතේ හොඳට?” කියාගෙනම මධූ දරුවන්ගෙ කාමරේට ආවෙ ඇඳ පැලඳගෙන උන්නු ඒවයි අඩු පාඩු හද හද. අද මධූගෙ පුතා චිවන්ත ගෙ හොඳම යාලුව තේනුකගෙ දහ අටවෙනි උපන්දිනේ. ඉතින් ගෙදර උපන්දින උත්සයවයක් නිසා මධුල මේ ලෑස්ති වෙන්නෙ එහෙ යන්න.
පුතා චිවන්ත, දූ මහිමනී වගේ මධුයි මධුගෙ හස්බන්ඩ් කසුන්තයිත් යන්න තමයි සූදානම් වෙන්නෙ.
මධූ දරුවො එක්ක ලෑස්තිවෙලා පල්ලෙහට එද්දිත් කසුන්ත කාමරෙන් එලියට ඇවිල්ල උන්නෙ නැ. උදේම කසුන්තට අඳින්න කියල ඇඳුම් හෙම මැදල තිබ්බ එකේ කසුන්තට පරක්කු වෙන්න හේතුවක් නෑ නේද කියලත් මධුට හිතුනා.
උඩ තට්ටුවට ගිහින් කසුන්තට කතා කරනව කියල හිතාගෙන පඩියකට අඩිය තිබ්බ ගමන්ම වගේ කසුන්ත පල්ලෙහට ආව. මධුගෙ කට ඇරුණෙ කසුන්ත ඇඳන් උන්නු එක දැකල.
“මොකද අනේ මේ කඩේට අඳින ඇඳුමෙන්? යන්නෙ නැද්ද අපි? පරක්කු වෙනවනෙ කසුන්ත?”
“සොරි මධු පොඩි හදිසි වැඩකට එලියට යන්න වෙලා. අපි වෙන දවසක යමු. ඔයා කතා කරල කියන්න අද එන්න වෙන්නෙ නෑ කියල හොඳේ.”
එහෙම කියාගෙනම කසුන්ත එලියට යන්න හැදුවට පුතාගෙ දුක පිරිච්ච මූන දැකපු මධූ මේ වතාවෙනම් ඉවසන්නෙ නෑ කියලමයි හිතුවෙ.
“ඔයාට එන්න බැරිඋනාට කමක් නෑ. මම හරි යනව දරුවො එක්ක. මොකද්ද කසුන්ත මේක තේරුම? කොහෙ හරි යන්න ලෑස්ති උනොත් ඔයා කවදාවත් ඒ ගමන හිත සතුටෙන් යන්න දෙන්නෙ නෑනෙ.එක්කො පරක්කු කරනව. එහෙම නැත්තම් නොයා ඉන්න හදන්නෙ. මොකද්ද මේකෙ තේරුම?”
“අනේ මධූ තේරුම් ගන්නකො. හදිසි වැඩක් ආ නිසානෙ මට යන්න උනේ. අනික ඔයා දන්නවනෙ මම ඔයාලාව තනියෙන් කොහෙවත් යවන්න ආස නෑ කියල. ඒ නිසා අදට විතරක් මාත් එක්ක තරහ වෙන්න එපා” කියල කිව්ව කසුන්ත වාහනේ නැගල නොපෙනී ගියා.
ඇඳන් උන්නු ඇඳුම් පිටින්ම සාලෙ තිබ්බ පුටුවකට වැටිච්ච මධූ කල්පනා කරේ මේ මෙහෙම වෙච්ච කීවෙනි වතාවද කියල.
කොහේ හරි යන්න යනවනම්, ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවනම් කසුන්ගෙ වැඩේම ඒ ගමන කැන්සල් කරගන්න මහන්සි වෙන එක. එයාට යන්න බැරි නම් අපිත් යන්න බෑ කියන කසුන්තගෙ මතය තමන්ට විතරක් නෙවෙයි තමන්ගෙ දරුවන්ට පවා මානසිකව මොනතරම් කරදරයක්ද, ප්‍රශ්නයක්ද කියන එක මධූ දැනගෙන උන්න.
“ඇයි අම්මෙ තාත්තා අපිට කොහෙවත් යන්න දෙන්නෙ නැත්තෙ? තේනුක මට ඉස්කෝලෙදි කීප සැරයක්ම කිව්ව බර්ත් ඩේ එකට එන්න එන්න කියල. අනික මම විතරයි අම්ම එක්ක එහෙ යන්න හිටියෙ, අනිත් හැමෝම එන්නෙ තනියම. ඇයි අපේ තාත්තා අපිට එහෙම යන්න දෙන්නෙ නැත්තෙ?”
මේ චිවන්ත මෙහෙම දෙයක් අහන පලවෙනි වතාව නෙවෙයි. අවුරුදු දහ අටක් වෙන කොල්ලො ගේ අස්සෙම හැදෙන එකම ගෙදර මේක වෙන්නැති කියල මධූට හිතුනෙ දහස් වෙනි වතාවට වගේ.
කසුන්ත ලමයිව තමන් නැතුව එක මොහොතකටවත් ගෙදරින් එලියට යවන්න කැමති මනුස්සයෙක් නෙවෙයි.කසුන්ත මේ විදියට හැසිරෙන්නෙ කසුන්තට තමන්ව සැක හන්දද කියන කාරණාව මධූට හරි වේදනාවක්. හොඳට හරි හම්බ කරන නිසා ගෙදර ඕන තරම් සැප සම්පත් තියෙනව උනත් කසුන්තගෙ මේ හැසිරීම් නිසා හිතට කිසිම සැනසීමක් ලැබුනෙ නැති වග මධූට ස්තුතියි.
මධූ මම ලඟට ආවෙ ඒ ප්‍රශ්නෙ එක්ක.
“මට තේරෙන්නෙ නැත්තෙ කසුන්තගෙ හැසිරීම පිටිපස්සෙ තියෙන හේතුව පදනම මොකද්ද කියන එක. එයා මාව සැක හින්ද නම් එහෙම කරන්නෙ එයාට සැකයක් ඇතිවෙන්න කිසිම දෙයක් මම කරල නෑ. එහෙම එකේ මාව සැක කරන්න හේතුවක් එයාට නෑ.
අනික අපේ ලමයි පොඩි ලමයි නෙවෙයි. එයාලා දැන් තරුණ ලමයි. අවුරුදු දහ අටක පිරිමි ලමයෙක් අම්මයි තාත්තයි එක්කම එලියට යන කොට ඒ ලමයට යාලුවො උනත් අරව මේව කියනවනෙ. කසුන්තට ඒක ගැන කිසිම හැඟීමක් නෑ. එයා එක්ක ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක එයා අපිට එලියටවත් යන්න දෙන්නෙ නෑ.
දරුවො උනත් ඇවිල්ල අහනව ඇයි තාත්තා මෙහෙම? අනිත් ගෙවල්වල තාත්තල එහෙම නෑනෙ කියල”
“මේ දේවල් නිසා ඔයාලා කවදහරි ගෙදර රණ්ඩු වෙලා තියෙනවද?”
“අනේ නෑ, කසුන්තවත් මමවත් කවදාවත් එහෙම රණ්ඩු වෙලා නෑ. එහෙම රණ්ඩු වෙන්න හේතුවක් අපිට ඇවිල්ල නෑ. ප්‍රශ්න ආවත් අපි කතා බහ කරල විසඳගන්නව මිසක රණ්ඩු වෙන්නෙ නෑ. ඒ උනාට මේ දේ නිසා දරුවො උනත් කසුන්තගෙන් ටිකෙන් ටික ඈත්වෙනවනෙ. එයා ඇත්තටම හොඳ මනුස්සයෙක්. අපිට හරි ආදරෙයි. ඒ උනාට මෙහෙම හැසිරෙද්දි මොන සැප සම්පත් දුන්නත් වැඩක් තියෙනවද? දරුවෙක්ට තනියෙන් ගෙදරින් එලියට යන්න ඉඩක්වත් නෑ”
නව යොවුන් වියට එද්දිම දරුවන් තනියම නිවෙස් වලින් එලියට යන එක, සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම පිටරටවල දරුවන්ට ඒ අවස්තාව ඉක්මනට හමුවෙනව. ඒ උනාට තවමත් ලංකාව වගේ සංස්කෘතිය මූලික කරගත්ත රටවල දරුවන් විවාහ වෙලා ගෙදරින් යන තුරුම තමන්ගෙ මව් දෙමව්පියන් එක්ක තමයි ඉන්නෙ.
කසුන්ත සහ මධු අතර වෙලා තිබුන ප්‍රධාන ගැටලුව කසුන්ත පමණට වඩා දරුවන්ගෙ නිදහස සීමා කිරීම. මධූට අනුව කසුන්ත එහෙම කරන්නෙ මධූව සැක නිසා කියල උනත් අපිට නොපෙනෙන කතාවක් මෙතන තියෙනව.
කසුන්ත රට තොට ගැන හොඳට දන්න මනුස්සයෙක්. ඒ නිසාම දරුවන්ට සමාජයෙන් සිදු වෙන්න පුලුවන් අනතුරු ගැන කසුන්ත හොඳට දැනගෙන හිටියා. ඒ නිසාම එයා දරුවන්ට නිදහස නොදෙන්න හැම තිස්සෙම කටයුතු කරා. කොහෙ හරි යද්දි කසුන්ත එක්කම දරුවන්ට යන්න උනේ කසුන්ත ඒ දරුවන්ට දක්වපු ආදරේ නිසා.
දරුවන්ව නිතර නිතර හුරතල් නොකරට කසුන්ත දරුවො ගැන නිතරම හිතපු තාත්තා කෙනෙක්. නව යොවුන් වයසෙදි යාලු මිත්‍රයො එක්ක එලියට යන්න. කෙලි සෙල්ලම් කරන්න, අම්මල තාත්තලා කරන්න එපා කියල තියෙන දේවල් කරල බලන්න දරුවො කටයුතු කරනව. ඒක තරුණ වයස කියල අපිට අමතක කරල දාන්න පුලුවන් ඒ දේවල් වලින් දරුන්ට හානියක් නොවෙනවනම් විතරයි. ඒත් වරදක් උනොත් ඒ වරද ආපහු හරිගස්සන අපිට බෑ.
Prevention is better than cure කියන කතාවක් තියෙනව. කසුන්ත අරගෙන තිබුනෙත් ඒ තීරණේ. දෙයක් වුනාට පස්සෙ හරිගස්සනවට වඩා දෙයක් නොවෙන විදියට වැඩ කරන එක හොඳ බව කසුන්තගෙ ආදරේ විදියට එලියට ආව. ඒ උනාට දරුවො සහ මධූ ඒක දැක්කෙ කසුන්ත කිසිම ආදරයක් නොදෙන මනුස්සයෙක් විදියට.
කසුන්ත කල දේ සම්පූර්ණ නිවැරදියි කියන්න අපිට බෑ. ඒත් ඒක වැරදියි කියන්නත් අපිට බෑ. ඕනම දෙයකට යම් සීමාවක් තිබිය යුතු බව ඇත්ත. ආදරයට වුනත් එහෙමයි.
ඒ වගේම තමයි එක එක පුද්ගලයන් අපිට ආදරේ පෙන්නන්නෙ එක එක විදියට. සමහර අවස්තාවල අපිට ඒ ආදරේ ලැබෙන විදියෙන් තේරුම් ගන්නත් අපහසුයි.
ඒත් මේ වගේ මොහොතකදි අපි ඒ හැමදෙයක් දිහාම හැම පැත්තකින්ම බලන්න කටයුතු කලොත් ප්‍රශ්න වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න වගේම ඕනම ගැටලුවක් හොඳින් ව්සඳගන්න අපිට පුලුවන්කම ලැබෙනවා!